Home » මේ වනවිට රට අර්බුදයෙන් ඉවත්ව යමින් සිටිනවා

මේ වනවිට රට අර්බුදයෙන් ඉවත්ව යමින් සිටිනවා

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැති අනූප පැස්කුවල්

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

– විරුද්ධ පක්ෂයෙන් සහයක් නොලැබීම ජාතික ප්‍රතිපත්තියක් බවට පත්වෙලා
– විදුලිය හා ජල ප්‍රශ්නයේදී රජයෙන් කරන සියලු දේ සියයට සියයක් හරියි කියලා කියන්න බැහැ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිව තියෙනවා. මේ ගමන් මඟ ගැන සඳහනක් කළොත්?

පසුගිය කාලයේ රටේ ඇති වුණේ බරපතළ තත්ත්වයක්. ඛනිජ‍ තෙල් අර්බුදය මෙන්ම ආර්ථික උද්ධමනය නොසිතු පරිදි ඉහළ ගියා. මේ තත්ත්ව සමඟ අරගල ඇති වුණා. රටේ ඇති වූ තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට භාර ගැනීමට සිදු වුණා. පියවරෙන් පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනත්, වෙනත් ක්‍රියාමාර්ග හරහාත් අද අපි හොඳ තත්ත්වයකට පැමිණ තියෙනවා. ඉන්දියාව, චීනය, අමෙරිකාව ඇතුළු සියලු පාර්ශ්ව නොබැඳි පිළිවෙත හා සමානවම සියලු දෙනාගේ සහය ලබා දුන්නා. ඒ අනුව කෘෂිකර්මාන්ත ප්‍රශ්න විසඳා ගනිමින් උද්ධමනය ඉතාම අඩු අගයකට ගෙන ඒමට හැකියාව ලැබුණා. මේ වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතා හොඳින් සිදු වෙනවා. රට සාධනීය තත්ත්වයකට පැමිණ තියෙනවා. නමුත් ප්‍රශ්නය තවමත් විසඳිලා නැහැ. තව දුරක් අපි යා යුතුව තියෙනවා.

විපක්ෂය පුන පුනා පවසා සිටියේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට රජයට හැකියාවක් නොමැති බවයි?

අපේ ලංකාවේ විරුද්ධ පක්ෂය හැම විටම කටයුතු කරන්නේ සියලු දෙයට විරුද්ධ වීමේ පදනම මත සිටයි. වෙනත් රටවල ප්‍රශ්නයක් ඇති වූ විට සියලු පක්ෂ ඊට විසඳුම් සෙවීමට එකට එකතු වෙනවා. කොවිඩ් වසංගතයේදීත් ලොව පුරා රටවල පක්ෂ එකට එකතු වී විසඳුම් සෙව්වා. නමුත් ලංකවේ කොටසක් අර්බුදය දැක දැක ස්වාධීන වී ගියා. සියලු දෙනා කටයුතු කළේ අර්බුදය තීව්‍ර කරන්නටයි. ඒ අයගේ තීන්දු තීරණ සාධාරණීකරණය කරන්නට ඒ අය සැම විටම උත්සහ කළා. මේ නිසයි හැමවිටම කිව්වේ IMF අපිට සහය දෙන්නේ නැහැ කියලා. IMF සහයෝගයෙන් පමණක් අපේ රට ගොඩදාන්න බැරිවා සේම රටේ ජනතාවගේ ශක්තියත් අපිට අවශ්‍යයයි. ජාත්‍යන්තරය අපිට සහයෝගය දෙන්නේ නැහැ කියලා විපක්ෂය චෝදනා කලාට මේ සියලු අවස්ථාවන්හි ඔවුන් අදටත් හෙටටත් ශක්තිය ලබා දුන්නා. ඒ වගේම ලබා දෙනවා.

ඔබ පවසන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විපක්ෂයෙන් අවැසි සහය නොලැබෙන බව ද?

විපක්ෂයෙන් අවශ්‍ය සහය ලැබෙන්නේ නැහැ. කොවිඩ් කාලයේ ඔවුන් දිගින් දිගටම කිව්වේ රට වසා දමන්න කියලා. ආර්ථිකය බිඳ වැටීමට මෙය ප්‍රධාන හේතුවක් වුණා. මේ අය නිරන්තරයෙන් කරන්නේ ආර්ථික අර්බුදයක් ඇති වීමට අවශ්‍යය කරන දේවල් පමණයි. කිසිමදාක විරුද්ධ පක්ෂය සාධනීය අදහසක් ලබා දෙන්නේ නැහැ. රට ගොඩදාන්න දේශපාලනයෙන් තොරව කටයුතු කළ යුතුයි. ඒ සඳහා රජයේ කිසිදු වැඩ සටහනකට විරුද්ධ පක්ෂයෙන් සහයක් නොලැබීම ජාතික ප්‍රතිපත්තියක් බවට පත් වෙලා.

IMF කොන්දේසි කියමින් ජනතාව දැඩිව පීඩාවට පත් කරන බවත්, වැට් බදු හරහා ජනතාවට දැඩි පීඩනයකට මුහුණ දෙන්නට සිදුව ඇති බවටත් විවිධාකාර චෝදනා එල්ල වුණා. මෙය සත්‍යක්ද?

IMF කොන්දේසියක් තමයි දූෂණය නතර කිරීම. එය IMF කොන්දේසියක් පමණක් ද? දූෂිත දේශපාලනය නැති කරන්න රටක්ම ඉල්ලන දෙයක්. එයට අනුව දූෂණ විරෝධී පනත ගෙනාවා. මේවා රටේම අය ඉල්ලන දේවල්. දියුණු රටවල් දූෂණයට තිත තිබ්බා. දුෂ්කර අවස්ථාවකදි අපි කැමති හෝ අකමැති වුවත් බදු ක්‍රමයකට යාමට සිදු වෙනවා. දුෂ්කර අවස්ථාවකදී වියදම් කපා හැරීම සාමාන්‍ය දෙයක්. IMF කොන්දේසිවල කියන්නේ ආදායම වැඩි කර ගැනීමයි. මේ නිසා යම් යම් තීන්දු තීරණ අකමැත්තෙන් හෝ ගැනීමට සිදු වෙනවා. එසේම ආර්ථික වශයෙන් පීඩාවට පත්වූ අය හඳුනා ගනිමින් අස්වැසුම හරහා රුපියල් බිලියන 205 ක් ලබා දෙනවා. එසේ නොවුණහොත් බරපතළ අර්බුදයකට පත් වෙනවා. මේ සියලු ආදායම් ලබා ගන්නේ අපේ සාක්කුව පිරවීමට නෙමෙයි, දුෂ්කරතාවන්ට පත්වූ ජනතාවටම ලබාදීමයි. විදේශ ණය දිගින් දිගටම ගන්නවාට වඩා බදු ප්‍රතිපත්තිය වැඩි කරන්නට රජයට සිදු වෙනවා.

බදු අය කිරීම හරහා ජනතාව පීඩාවට පත් නොකර රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බවත්, තවමත් රජය ඒ සඳහා නිසි සූදානමක් නොමැති බවත් පැවැසෙනවා?

නැහැ, ආණ්ඩුව මේ වන විට හොඳ පියවරක් තබා තියෙනවා. අද ඉඩමක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම බදු අංකයක් තිබිය යුතුයි. එය කලින් තිබුණේ නැහැ. මෙය අද නීතිමය අවශ්‍යතාවක්. වාහනයක් ගන්නවා නම් වුවත් එසේමයි. මේ හරහා බදු ජාලය පුළුල් වෙනවා. මේ වන විට සුරාබදුවල අඩුපාඩුත් සකසමින් යනවා. ක්‍රමානුකූලව බදු ජාලය ශක්තිමත් කිරීමේ මාර්ගයට රජය අවතීර්ණ වී තියෙනවා. රජය ක්‍රමානූකූලව බදු ජාලය පුළුල් කරමින් පවතිනවා.

මේ වන විට තෙල් විදුලිය පාඩු නොලබන තත්ත්වයක් ඇතිව තිබියදීත්, රජය ඒ සහනය ජනතාවට ලබා නොදෙන බවට පැවැසෙනවා. ජනතාව වෙනුවෙන් ඒ සහනය ලබා දිය නොහැකිද?

විදුලිය හා ජල ප්‍රශ්නයේදී රජයෙන් කරන සියලු දේ සියයට සියයක් හරියි කියලා මට කියන්න බැහැ. පසුගිය කාලයේ විදුලි බල මණ්ඩලය දිව්වේ ණයවලින්. නමුත් වෘත්තීය සමිති නිලධාරීන් ගෙවල්වල ඉඳලා වැටුප් ගත්තා. කොහොම වුණත් දැන් විදුලි බල මණ්ඩලය සිය ආදායමෙන්ම දිවිය යුතුයි කියන ප්‍රතිපත්තියේයි අපි ඉන්නේ. ශ්‍රී ලන්කන් එයාර් ලයින් මෙතරම් කාලයක් දිව්වේ ණයට. ජීවිතයට ගුවන් යානයක නොගිය ජනතාවත් එයට මුදල් ගෙව්වා. හද්ද ගම්දනව්වල ජනතාවත් ජල බිල්පතට මුදල් ගෙව්වා. පයින් යන අයත් පෙට්‍රල්වලට බදු ගෙව්වා. මේ ක්‍රමය දැන් නැති කරලා තියෙන්නේ. මේ ආයතන පවත්වාගෙන යාමට දැන ගත යුතුයි. මෙහිදී දුප්පත්ම කොටස ඉවත් කළ යුතුයි. කර්මාන්තවලට යම් වැඩිවීමක් තියෙනවා. යම් ප්‍රශ්නයක් තියෙනවා තමයි. නමුත් තිබුණු ප්‍රශ්නය දෙස බැලූ විට අද තිබෙන තත්ත්වය ඉතා හොඳයි. සියල්ල යහපත් තත්ත්වයට පත් වන්න යම් කාලයක් ගතවේවී.

අය වැය ජයග්‍රහණය කිරීමට රජයට හැකියාව ලැබුණා. මෙවර ආණ්ඩුව දුෂ්කර අවස්ථාවේ යම් සහනයක් ලබාදීමට කටයුතු කළා?

අද ජනතාවගේ ජීවන මට්ටම පවත්වා ගෙන යාමට වැටුප් වැඩි වෙලා තියෙනවා. රුපියල් 10,000 කින් වැටුප් වැඩි වීම විශාල සහනයක්. ආබාධිත විශ්‍රාම හා වැඩිහිටි දීමනා වැඩි කළා. විදේශ ණයවලින්ම මේ සියල්ල කිරිමට නොහැකියි. ජනතාවටත් යම් කැප කිරීමක් කිරීමට සිදු වෙනවා.

මෙවර අය වැය 2022 කොපියක් බවත්, කලින් අය වැයේ යෝජනාවලින් වැඩි කොටසක් ඉටු නොවූ ඒවා බවත් චෝදනා කරනවා. ඉදිරි අය වැයටත් මේ තත්ත්වයම ඇති වෙයිද?

අය වැයක් ගත් විට උද්ධමනය 99% සිට 1% දක්වා අඩු වෙලා තියෙනවා. අය වැයේ ඇති සියයට සියයක් ඉෂ්ට කරන්න බැහැ. ප්‍රමුඛතාව හරහා කළ යුතුයි. සමස්ත ප්‍රතිඵලය දෙසයි, අපි බැලිය යුත්තේ. එසේම සමස්ත ප්‍රතිඵලය සාර්ථකයි. එය ඍණ පැත්තකට ගිහින් නැහැ. අය වැය යෝජනා ක්‍රියාත්මක වුණා ද කියා මගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු නැහැ.

නමුත් විශාල ආර්ථික පිම්මක් පැන තියෙනවා. උද්ධමනය, බැංකු පොලී අඩු වෙලා තියෙනවා. අස්වැසුම් ප්‍රතිලාභීන්ට සහනයක් ලැබිලා තියෙනවා.

ආබාධිතයන්ට සහන ලැබුණා. අපනයන ක්ෂේත්‍රයේ, විදේශ රැකියාවන්ගේ විශාල වෙනසක් සිදු වුණා. විශාල පිරිසකට අධ්‍යාපනයේ දොරටු විවෘත කෙරෙනවා.

ලබන වසර මැතිවරණ වසරක්. රටේ පවතින ආර්ථික බංකොලොත්භාවය විසඳීමට දේශපාලන විඳුමක් ප්‍රමාණවත් යැයි ඔබ සිතනවාද?

අපි මේ වන විට ආර්ථික අර්බුදයෙන් මිදෙන්න විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය අත්‍යාවශ්‍යයයි. එයත් නැතිනම් තවත් හොඳයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ මැතිවරණයක් තිබිය යුතුයි. එය නියත වශයෙන් අපිට ජය ගැනීමේ හැකියාව පවතිනවා. ගොඩ ආපු එකම රජය මෙයයි. විපක්ෂ නායක ඇතුළු සියලු දෙනාම පැන ගියානේ. වත්මන් ජනාධිපතිතුමා ඒ අභියෝගය භාර ගත්තා.

බළලා මැටියෙන් වුණත් කමක් නැහැ කියලා චීනයේ ඩෙන්ෂියා ඕ පින් කිව්වනේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනප්‍රිය චරිතයක් නෙමෙයි. පොදු ජනතාව හුඟාක් ප්‍රිය කරන චරිතයකුත් නෙමෙයි. නමුත් ඩෙන්ෂියා ඕ පින්ගේ මූලධර්මය වුණේ බළලා මැටියෙන් වුණත් කමක් නැහැ. වැඩ කරනවා නම් කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනප්‍රිය වුණත් නැතත් කරන ක්‍රමවේදය තුළින් ජයග්‍රහණ ලැබිලා තියෙනවා. අපි වත්මන් ජනාධිපතිවරයා යටතේ මේ අර්බුදයෙන් ඉවතට පියමං කරනවා. එහි සාර්ථකත්වය දැනෙමින් පවතිනවා. ඒ නිසා මේ නායකත්වය අපිට පිළිගත හැකියි.

වර්තමානයේ තරුණ තරුණියන් විශාල පිරිසක් රට හැර යනවා. නමුත් ආණ්ඩුව පවසන්නේ එය සාධනීය තත්ත්වයක් බවයි. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

යුද්ධ කාලයේ දෙමළ ජාතිය ලොව පුරා සංක්‍රමණය වුණා. ඒ තැන්වල ජනාවාස පිහිටෙව්වා. නමුත් මේ ආර්ථික අර්බුදය තුළ ගෝලීයව ජනතාව ගමන් කරන එක ගැන අපි පොඩ්ඩක්වත් කලබල නොවිය යුතුයි. එසේ විදෙස්ගත වන අය මුදල් එවනවා. එහි විශාල වර්ධනයක් පවතිනවා. රට යන්න එපා කියන එක යල්පැන ගිය කතාවක්.

සෑම රටකටම ගිහින් ජනතාව එහි ජීවත් විය යුතුයි. ලංකාවට ආයෝජන එවිය යුතුයි. වැදගත් වන්නේ ආකල්පමය වෙනසක්. දකුණු කොරියාවේ සිදු වුණේත් එයයි. ඔවුන් රට වටේ ගිහින් ශිල්පීය දැනුම ලබාගෙන ආවා. අද ඒ අය දැවැන්ත රාජ්‍යයක් බවට පත් වෙලා. රට යන අය බැණ බැණ වෛර කරගෙන යනවා නම් එතැන ප්‍රශ්නයක්. නමුත් සෞඛ්‍ය අධ්‍යාපන වැනි අනිවාර්යයෙන් අවශ්‍ය වන ක්ෂේත්‍රවල අය රට හැරයාම අපිට ප්‍රශ්නයක්.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division