Home » IMF දෙවැනි වාරිකය හරහා ආර්ථික මූල්‍ය විනයක් ඇති වී තියෙනවා

IMF දෙවැනි වාරිකය හරහා ආර්ථික මූල්‍ය විනයක් ඇති වී තියෙනවා

සමගි ජන බලවේගයේ පාරිලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

– වැට් නිසා ජනතාවට විශාල පීඩනයකට මුුහුණ දෙන්න සිදු වෙනවා
– වැට් විවාදයට අවස්ථාවක් දුන්නේ නැහැ. වරප්‍රසාද කඩ කළා

අය වැය වැඩි ඡන්ද 41 කින් සම්මත වුණා. නමුත් මේ අසීරු අවස්ථාවේ විපක්ෂය අය වැය පැරුද්දවීමේ සූදානමකින් පසු වුණා?

නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයක් ආණ්ඩුවට තියෙනවා. මෙය රාජපක්ෂ පාර්ලිමේන්තුවක්. එය වෙනසක් නොවී තිබුණත් රටේ ජනමතයේ වෙනසක් ඇති වී තියෙනවා. මේ පාර්ලිමේන්තුව නීත්‍යනුකූල වුවත් පිළිගැනීමක් නැහැ. ජනාධිපතිවරයාත් එසේමයි. ඒ නිසා බහුතරයකින් අය වැය සම්මත කර ගන්නට පාර්ලිමේන්තුවට පුළුවන්. නමුත් අපි විපක්ෂයක් ලෙස කරුණු කාරණා පහදා දුන්නා. අපි මෙහිදි හුඟක් කරුණු සම්බන්ධයෙන් වාද විවාද කළා. රජයට තීන්දු තීරණ ගැනීමට පසුබිමක් සකස් කළා. නමුත් රජය තව වැරදි දෙයක් කළා. එනම් වැට් හෙවත් එකතු කළ අගය මත බද්ධ වැඩි කළා. වැට් අදාළ නැති හුඟක් ක්ෂේත්‍ර මෙයට ඇතුළත් කළා. එවිට එය විශාල වෙනසක් වුණා. උදාහරණයක් ලෙස පොදු ප්‍රවාහනය. අද බස් රථයක් ගේනවා නම් එයට වැට් එක වදිනවා. වක්‍රව එය වදින්නෙ පාරිභෝගිකයාට. රෝහලක යන්ත්‍ර උපකරණවලට වදින වැට් එක වදින්නේ සාමාන්‍ය ජනතාවට. දරුවා පාසලට ගෙනියන පොතකටත් වැට් එක වදිනවා. නමුත් මේවාට වාද විවාද කරන්න අවස්ථාව දුන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමක්. වරප්‍රසාද පනතේ අංශ 3 න් සඳහන් වන්නේ භාෂණයේ හා විවාදයේ අයිතිය. පාර්ලිමේන්තුවට පනතක් ගෙනා ආ හැකි වුවත් විපක්ෂයට මේ සඳහා විවාදයට අවස්ථාවක් දිය යුතුයි. නමුත් ඊට අවස්ථාව දුන්නේ නැහැ. එය වැරදි දෙයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337 ක දෙවැනි ණය වාරිකය සඳහා අනුමැතිය හිමිව තියෙනවා. මේ ගැන සඳහන් කළොත්?

IMF ගිය එක හොඳයි. ආදායම වැඩි කර ගත යුතුයි. එහි විවාදයක් නැහැ. නමුත් විවාදය ඇත්තේ ආදායම ගන්නේ කොතැනින් ද යන වගයි. ඒ වගේම දෙවැනි ණය වාරිකය ලැබෙයි කියා අපි ප්‍රාර්ථනා කරනවා. විපක්ෂයක් ලෙස අපි හිතන්නේ රට ගැනයි. මගේ මතය වන්නේ දෙවැනි ණය වාරිකය ඉතා ඉක්මනින් ලැබෙයි කියලයි. විපක්ෂයක් ඉල්ලා සිටින්නේ ද එය ලබා දිය යුතුයි බවයි. නමුත් වැට් ආදි බදු වැඩි කළ පසු අනිවාර්යයෙන්ම පුද්ගලයන්ට විශාල ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙනවා. උදාරණයක් ලෙස පර්යේෂණ නිලධාරියකුගේ 2020 වැටුප රුපියල් 58,875 ක් පමණ වුණා. 2023 එය රුපියල් 60,000ක් විතර වුණා. දීමනා එකතු වූ විට 118,000 ක් විතර වෙනවා. මේ වසරේ අය වැයෙන් රුපියල් 10,000 ක් විතර වැටුප වැඩි වෙනවා. ඒ අනුව වැටුප 136,000ක් විතර වෙනවා. නමුත් ඇත්තටම උද්ධමනය 2020දී 70% කින් වැඩි වුණා. ඔහුගේ විවෘත වැටුප 40% කින් අඩු වුණා. මේ රුපියල් 10,000 වැඩි වීම කළත් විවෘත වැටුප පහළ අඩියකයි තියෙන්නේ. වැට් වැඩි කිරීම මේ තත්ත්වයට තවත් බලපෑමක් ඇති කරනවා.

ඔබ පවසන්නේ වැට් බදු වැඩි වීම හරහා ජනතාවට ඉදිරියේදී තවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව ද?

ඔව්. ජනතාවට විශාල පීඩාවකට මුහුණ දීමට සිදු වෙනවා. අපේ තර්කය වන්නේ මුදල් ගත යුතුයි. නමුත් ගන්නේ කාගෙන්ද? මුදල් අමාත්‍යාංශයේ 2022 වාර්ෂික කාර්යසාධන වාර්තාවේ පවසන්නේ නොගත් බදු වටිනාකම රුලියල් බිලියන 531 ක් බව. එයට පොලිය ආදිය එකතු වූ විට රුපියල් බිලියන 900 කට වැඩියි. මේ කරුණ හරිම තර්කානුකූලයි. අපේ තර්කය වන්නේ ගත හැකි අයගෙන් මේ බදු එකතු කළ යුතු බවයි.

IMF දෙවැනි ණය මුදල හරහා ලංකාවට ලැබිය හැකි වෙනත් වරප්‍රසාද හා ප්‍රතිලාභ තිබේද?

ඉන්දියාව, ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව විවිධාකාරයෙන් මැදිහත් වී තියෙනවා. මේ IMF දෙවැනි ණය වාරිකය ලැබීම හරහා වෙළෙඳපොළට සිග්නල් එකක් ලබා දෙන්නේ යම් ආර්ථික මූල්‍ය විනයක් අපිට ඇති වී ඇති බවට. නමුත් දකුණු ආසියාවේ රටකට IMF වැඩ පිළිවෙළේදී දූෂණය හා විනය යන දෙක කතා කළ පළමු රට ලංකාවයි. පසුගියදා දුන් වාර්තාවට අනුව අපිට කළ යුතු දේවල් තවත් තියෙනවා. විශේෂයෙන්ම දූෂණය ගැන කියූ දේවල් රාශියක් තියෙනවා. ඊට මුල් තැන දිය යුතු වෙනවා. ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිසි කළමනාකාරිත්වය ගැන මේ අය කතා කරනවා. තාක්ෂණය මේ සඳහා භාවිතා කළ යුතුයි. ප්‍රසම්පාදනය ගැන කතා කරනවා. මගේ ඇස්තමේන්තුව අනුව දූෂණය වසරකට රුපියල් බිලියන 300 ක් පමණ වෙනවා. නමුත් වෙන වෙන අයගේ ගණන් හිලව් වෙනස් වෙන්න පුළුවන්. මේ කරුණුත් මේ වාර්තාවේ සඳහන් වෙනවා.

IMF දෙවැනි ණය වාරිකය විය පැහැදැම් කිරීමේ රජය ප්‍රමුඛතාව දිය යුතු අංශ හඳුනාගෙන තිබේද? ඒ සඳහා විපක්ෂයේ යෝජනා කවරේද?

හොඳ ප්‍රශ්නයක්. උදාරණයක් ලෙස රජය රුපියල් බිලියන 354ක් ප්‍රවාහනයට හා මහාමාර්ග සඳහා වෙන් කළා. එයින් 85%ෙක්ම මහාමාර්ග සඳහා වෙන් වුණා. පොදු ප්‍රවාහනයට මේ 85%න් යන්නේ 5% යි. මම දන්න තරමට ලොව කිසිම රටක් නැහැ මාර්ග සංවර්ධනයට මෙපමණ ප්‍රමාණයක් මුදල් වියදම් කරන්නේ නැහැ. මේ කටයුත්ත කරන්නේ නොතේරෙන කමට ද නැතිනම් දූෂණයට ද? යන්න ප්‍රශ්නයක්. දියුණු රටක පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තුවට පොදු ප්‍රවාහනයෙන් යනවා නම් අනිවාර්යයෙන්ම ඒ රට දියුණු රටක් කියලා දන්නවා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෞද්ගලික ප්‍රවාහනයකින් එනවා නම් ඒ දුප්පත් රටක්. මේ මානසිකත්වයෙන් ඔවුන් මුදල් දාන්නේ පොදු ප්‍රවාහනයට. නමුත් ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ එයට නෙමෙයි. වැඩි බර දැමිය යුත්තේ පොදු ප්‍රවාහනයට.

රට බංකොලොත් වුණෙත් මේ නිසයි. කොළඹ සිට මාතරට අධිවේගී මාර්ගයක් කළ යුතු වුණා. නමුත් එය මාතර සිට හම්බන්තොටට ගෙනයාමට කිසිදු ආර්ථික විශ්ලේෂණයක් තිබුණේ නැහැ. මේ වසරේත් කොළඹ රත්නපුර පැල්මඩුල්ල අධිවේගි මාර්ගයට මුදල් වෙන් කළා. එහි ශක්‍යතා වාර්තාව ප්‍රතික්ෂේප කළ පසුව රුවන්පුර අධිවේගී මාර්ගය නමින් මේ අය වැයෙන් නැවත ගෙනාවා. මේ සඳහා 2024 දී රුපියල් බිලියන 2.4 ක් වෙන්කර තියෙනවා. පොතුහැර සිට ගලගෙදර මධ්‍යම අධිවේගි මාර්ගය තවත් උදාරණයක්. එය මිල අධික බව කියමින් ආධිකරණයට ගියා. ආර්. ඩී. එක හකුලා ගත්තා. නමුත් මෙවර අය වැයෙන් රුපියල් බිලියන 20.8 ක් වෙන්කර තියෙනවා, වෙනත් නමකින්. මෙයත් ප්‍රතික්ෂේප වූ දෙයක්. මේ සඳහා මුළු වියදම ඊට වැඩියි. මේ මුදල අධ්‍යාපනට වෙන් කළා නම් තමයි නිවැරදි. ණයට මුදල් අරගෙන මේ ණය වසර 5-7 කින් ගෙවිය යුතු වුවත් මෙහි ප්‍රතිලාභ ලැබෙන්නේ වසර ගණනාවක් එහාට. එවිට රට බංකොලොත්. නමුත් පාඩමක් ඉගෙන නොගෙන මේ අය වැයෙනුත් මේ දෙයම සිදු කරනවා. මේ මුදල් අධ්‍යාපනයට වැය කරනවා නම් ප්‍රතිලාභ ඉක්මන්. දෙවැනුව සෞඛ්‍ය ගැන අවධානය යොමු කළ යුතුයි. දරුවන්ට හා වැඩිහිටි ජනතාව වෙනුවෙන් වෙන් විය යුතුයි. අනිකුත් අංශවලට ඉන්පසුව එනම් කාර්මික වෘත්තීය පුහුණු ආදියට යොමු විය යුතුයි. අපනයනයට මුල් තැනක් දිය යුතුයි.

විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා, තම රජයක් යටතේ මේ IMF එකඟතාව යළිත් වරක් සාකච්ඡාවට බඳුන් කරන බවට. ඒ ඇයි?

මේ අදහස පැහැදිලි කරන්න ලැබීම හොඳයි. අපිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියනවා. IMFඅපිට ලබා දෙන්නේ පොදු ප්‍රතිපත්ති. නැවත සාකච්ඡා කරන්නේ ඒ කරුණු කාරණා. උදාරණයක් ලෙස වැට් කාරණාව විය හැකියි. මේ කරුණු සාකච්ඡා කරමින් අපි ඉදිරියට පවත්වා ගෙන යනවා.

වි‍දෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව සිදු කිරීමට රජයට හැකියාව ලැබී තියෙනවාද, මේ සඳහා රජයට ඇති අභියෝග මොනවාද?

ණය ප්‍රතිව්‍යුගතකරණය සිදු කළ යුතුමයි. එවිටයි අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියූ ඉලක්කට ආ හැකි වන්නේ. පැරිස් ක්ලබ් හා යුරෝපීය රටවල් එකඟ වී තියෙනවා. චීනයේ එක්සීම් බැංකුවක් ප්‍රකාශයක් සිදු කර තියෙනවා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බවට ගිවිසුම් අත්සන් කර නැහැ. සාකච්ඡා හරහා සිදු කළ යුතුයි.

රජයේ බදු එකතු කිරීමේ ක්‍රියාදාමය තවමත් නිසි ලෙස සිදු වී නොමැති බවට චෝදනා එල්ල වෙනවා?

මෙහි අඩුපාඩු බොහෝමයක් පවතිනවා. ඒ නිසා තමයි මම කිව්වේ IMF එක බදු එකතු කිරීමේ ගැටලුව ගැන අවධානය යොමු කරන බව. ආදායම් බදු දෙපාර්තමේන්තුව 2017දී පනතක් ගෙනාවා. එය ගෙනත් ක්‍රියාත්මක කළා. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%-13% දක්වා වසර දෙක තුනක් තුළ වැඩි කර ගත්තා. බදු එකතු කිරීමේ ටැක්ස් ෆයිල් 690,000 ක් තිබුණා. 2019 වන විට ලක්ෂ 17 කට වැඩි වුණා. 2022 වන විට 4, 37,000 යි. ලොකු ගැටලුවක්. අපි තාක්ෂණය හරහා මේ කටයුත්තේදී ක්‍රියාත්මක වන්නේ නැහැ. රේගුව, සුරාබදු එකේ පවා මේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා බදු එකතු කිරීමේ අධිකාරියක් ඇති කළ යුතුයි. වෙනත් රටවල් මේවා සාර්ථකව කර තියෙනවා. අද රටේ ජනතාවට පෙන්වීමට නොහැකි දෙයක් වන්නේ හොරකම හා වංචාව. එදා පිච්චුවේ මන්ත්‍රීන්ගේ ගෙවල්. නමුත් ඉදිරියේදී ජනතාව වෛර කරන්නේ රාජ්‍ය නිලධාරීන්ටයි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division