Home » රට හීන මවා ජනතාව මුලා කර හිරබත් කන ඔලිම්පික් රංග

රට හීන මවා ජනතාව මුලා කර හිරබත් කන ඔලිම්පික් රංග

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

කොරියා රටේ රැකියාවකට යවන බව පවසා රුපියල් දස ලක්ෂ හැට දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියක වරදකරු වූ ජනප්‍රිය ඔලිම්පික් ක්‍රීඩක වරුණ රංග කුමාර විමලවංශට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරනු ලැබුවේ ඉකුත් (05) වැනිදාය.

වසර පහක් පුරා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම දඬුවම නියම කළේ චෝදනා දෙකක් සැලකිල්ලට ගනිමිනි. කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව රංග විමලවංශට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබුවේ විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් දස ලක්ෂ හැට දහසක මුදලක් වංචා කිරීම සහ සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙනි. එම චෝදනා දෙකෙන් පළමු චෝදනාවට රංග විමලවංශ වරදකරු කළ අධිකරණය චුදිතට නියම කළේ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ය.

සිරදඬුවමට අමතරව රුපියල් 1500ක දඩයක් නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම් තවත් සති දෙකක ලිහිල් සිරදඬුවමක් ද චූදිතට නියම කළේය. චුදිතට එරෙහිව නඟා තිබූ දෙවන චෝදනාවෙන් ඔහු නිදහස් කිරීමට ද මෙහිදී අධිකරණය තීරණය කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ අංක 107/17, හඳුන්ගලවත්ත, නාවලපිටිය පදිංචි අක්මීමන සුපුන් චාමර විතාරණගේ යන අය විසින් ඉකුත් 2018 වසරේ දෙසැම්බර් මස 10 වැනිදාය.

රට රැකියාවකට ගොස් ජීවන අරගලයෙන් ජය ගැනීමේ නොතිත් ආශාවෙන් සිටි සුපුන්ගේ රට සිහිනයට පාර කිවුවේ නාවලපිටියේ කරුපයියා ජෙගම් ය.  

“මට ඕන වුණේ කොහොම හරි රට ගිහිල්ලා මගේ පවුලේ අයව ගොඩදාන්න. අපි දුප්පත් මිනිස්සු. ඒ නිසා මම රට යන්න මාර්ගයක් හෙවුවා. අපේ ගමේ ජෙගම්, කොළඹ ගිහිල්ලා ගොඩක් අයව රස්සාවල් හොයලා දීලා තිබුණා. ඒ වගේ ගොඩක් අයට රට රස්සාවලට ඇරියා. ඒ නිසයි මම ජෙගන්ට මගේ අවශ්‍යතාව කිවුවේ.” සුපුන් වංචා විමර්ශන කාර්යාංශයට සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ එලෙසිනි.

” මම හඳුනන මහත්තයෙක් ඉන්නවා කොළඹ කොල්ලුපිටියේ. ඒ මහත්තයා එහෙ ඒජන්සියක් දාගෙන ඉන්නේ. මම ගිහින් කතා කරන්නම්.” ජෙගන් සුපුන්ට පවසා තිබුණි.

කරුපයියා ජෙගන් යන අය සමඟ කොල්ලුපිටියේ අංක 10 /ඒ, 09 වන පටුමඟ පිහිටි “සිල්වර් බර්ඩ්” ආයතනයට සුපුන් ගොඩවන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු සිහින පොදි බැඳගෙන වන්නට ඇත. (එදා සිල්වර් බර්ඩ් ආයතනය අද එම ස්ථානයේ නැත) ඒ, ඉකුත් 2017 වසරේ දෙසැම්බර් මස 29 වැනිදාය. එහිදී ජෙගම් විසින් රංග විමලසේන යන අයව සුපුන්ට හඳුන්වා දෙනු ලබන්නේ සිල්වර් බර්ඩ් ආයතනයේ හිමිකරු ලෙසිනි. කොරියා රටේ රැකියාව ගැන දීර්ඝ විස්තරයක් ඔහු සුපුන්ට කියා තිබුණි. පසුව ඒ සඳහා වැය වන මුදල සම්බන්ධයෙන් ද කතාබහක් ඇති විණි. කොරියා ගමන සඳහා රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් වියදම් වන බවත් එය සූදානම් කර ගන්නා ලෙසත් එහිදී සුපුන්ට උපදෙස් ලබා දුන්නේ රංග විමලවංශය.

“ඔක්කොම විස්තර කතා කරගෙන මගේ සහතිකවල ඡායා පිටපත් වගයකුත් තැනට දීලා මම ගෙදර ආවේ සල්ලි බැංකුවට දාන්න පොරොන්දු වෙලා, මම ඒ අයගේ බැංකු ගිණුම් අංක ඉල්ල ගෙන ආවා . ” යැයි සුපුන් පැමිණිල්ලේ පළමු සාක්ෂිය ලබා දෙමින් අධිකරණයට ප්‍රකාශ කර තිබුණි.

පසුව අවස්ථා දෙකකදී කොල්ලුපිටියේ “සිල්වර්බර්ඩ්” නමැති විදේශ රැකියා ආයතනයේ හිමිකරුගේ නමින් එනම් රංග විමලවංශ යන අයගේ නමින් පෞද්ගලික බැංකුවක තිබූ ගිණුමකට රුපියල් දස ලක්ෂ හැටදහසක මුදලක් සුපුන් විසින් තැන්පත් කරනු ලැබ ඇත. ඒ මුල් අවස්ථාවේදී රුපියල් ලක්ෂ අටක් සහ දෙවැනි අවස්ථාවේදී රුපියල් දෙලක්ෂ හැටදහසක මුදලක් වශයෙනි.

අවසානයේ රට රැකියාව ලබා දීම දිනෙන් දිනම කල් දමමින් සිටී රංග විමලවංශගෙන් සුපුන් ඉල්ලා සිටියේ තමන් ලබා දුන් මුදල් නැවත ලබා දෙන ලෙසය. අවසානයේ රට රැකියාවත් තමන්ගේ මුදලුත් දෙකම අහිමි වී යන බව දැනුණු සුපුන් නතර වූයේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ ය.

එහිදී වසර ගණනාවක් තිස්සේ විභාග වූ එම නඩුවේ තීන්දුව ලබා දෙමින් රංග විමලවංශ වැරදිකරු කළ අධිකරණය ඔහු සිරගත කළේය. පසුව තමන් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට ඉල්ලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඔහු අභියාචනයක් ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 15 වැනිදාය. එම අභියාචනය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත චුදිත මුදාහරින ලෙසය. දැනුම්දුන් විටක මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මෙහිදී අධිකරණයෙන් චුදිතට නියෝග කළේය.

රංග විමලවංශට එරෙහිව එම අධිකරණයේ තවත් නඩුවක් විභාග විය. පෙර නඩුව පරිද්දෙන්ම කොරියා රටේ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ හතක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නො. 27/2, අත්තිඩිය පාර, කවුඩාන, දෙහිවල පදිංචි ජගත් ප්‍රියන්ත බණ්ඩාර යන අයද කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ පැමිණිල්ලක් ගොනු කර තිබුණේ ඉකුත් 2017 වර්ෂයේදීය. එම නඩුව ද අධිකරණය හමුවේ වසර හයක් පුරා විභාග වීමෙන් පසු එම චෝදනාවන් වලට ද රංග විමලවංශ වරදකරු විනී. එම නඩුව ද ඉකුත් පහළොස්වැනිදා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර හඳුනා ගැනීම සහ දඬුවම් සඳහා ලබන 27 වැනිදා නඩුව කැඳවීමට නියෝග කළ අධිකරණය එදින තෙක් සැකකාර රංග විමලවංශ යන අය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. එමෙන්ම මෙහි පැමිණිල්ලට රුපියල් ලක්ෂ හතක මුදලක් ලබා දීමට චුදිත අධිකරණයේදී පොරොන්දු විය. ඒ අනුව එම ලක්ෂ හතක මුදල එදිනම අධිකරණයේ තැන්පත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

1980 අප්‍රේල් 17 වැනිදා කළුතර පයාගල ප්‍රදේශයේ උපත ලබා කළුතර සිරිකුරුස විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ රංග විමලසේන පසුකාලීනව බම්බලපිටිය සාන්ත පීතර විදුහලට ඇතුළත් වී අධ්‍යාපනය හැදෑරීය.

ඔහු මලල ක්‍රීඩාවට යොමු වූයේ තම පාසල භාර ගුරුවරයා වූ රණසිංහගේ මඟ පෙන්වීම අනුව ය. ඔහුගේ නිවෙස ආසන්නයේ ක්‍රීඩා පිටියක් තිබීම අමතර වාසියක් වී ඇති අතර 1994 පොදු පාසල් තරගාවලියේදී ඔහු ලැබූ සාර්ථකත්වය ඔහුගේ වෘත්තීය ජීවිතය පෙරළියක් කළේය.

එතැන් සිට ආපසු හැරී නොබැලූ ඔහු රජයේ පාසල්වල මලල ක්‍රීඩා උලෙළේ අවුරුදු 17න් පහළ, 19න් පහළ සහ 21න් පහළ ශූරතා දිනා ගැනීමට සමත් විය.

1996 දී ඔස්ට්‍රේලියාවේ දී පැවති ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියෙන් ඔහු මලල ක්‍රීඩා පිටියට ඇතුළත් විය.

ඔහු 1998 වසරේ ජපානයේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 සහාය දිවීමේ තරගයෙන් ලෝක කුසලාන පදක්කම දිනූවේ ශ්‍රී ලංකා පිලට එක් වූ පාසල් ක්‍රීඩකයකු ලෙසිනි. 2002 වසරේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වු වී මීටර් 400 තරග ඉසව්වෙන් ලෝක පදක්කම දිනූ රංග විමලසේන 2006 වසරේ දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල උලෙළේ මීටර් 400 සහාය දිවීමේ තරගයෙන් රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු ද විය. ඔහු 2000 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ආසියාතික ක්‍රීඩා උලෙළේ මීටර් 400 සහය දිවීමේ තරගයේ රන් පදක්කම්ලාභියකු වන අතර, එම වසරේම සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 400 සහාය දිවීමේ තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු ද විය. 2007 වසරේ ක්‍රීඩාවෙන් ඉවත්වීමෙන් පසු ඔහු පුහුණුකරු සහ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළේය.

විමලවංශ දැනටමත් IAAF මට්ටමේ පළමු සහ දෙවන මට්ටමේ පුහුණු සහතික ලබා ගෙන ඇති අතර ඕස්ට්‍රේලියාවේ ඉහළ කාර්යසාධන තීරණ ගැනීම පිළිබඳ පාඨමාලාවක් ද හදාරා ඇත.

මෙවන් උපන් හපන්කම් ඇති ජාත්‍යන්තර මට්ටමෙන් කීර්තිය දිනා සිටින රංග, අද වන විට රක්ෂිත බන්ධනාගාරගත වී ඇත්තේ තමන් විසින් සිදු කරනු ලැබූ අකටයුත්තක් නොඑසේ නම් අනීතික ක්‍රියාවක් හේතුවෙන් නිසා නොවේද?

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division