තානායමේ ලන්දේසි ආකෘතියේ පැරණි පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කර නවීකරණය කරන්නට තානායම් බලධාරීන් ගත් තීරණය යථාර්ථයක් බවට පත් කරමින් ඊයම් පැහැති සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි මහත්වරුන් සිව් දෙනෙකු පසුගියදා හාපුරා කියා තානායම් මිදුලට පය තැබුවා.
තානායම් සමාගම සමඟ ඔවුන් ඇති කරගත් පූර්ව සම්මුතීන්ට අනුව පැරණි හුනු බදාම කුඩගලෙන් ඉදිවූ තානායම් බිත්ති කඩා බිඳ නව මුහුණුවරකින් ඉදිකිරීම සිදු කරනා ආකාරය පිළිබඳව අප දීර්ඝ සාකච්ඡාවක නියැළුණා.
අවසානයේ සුපිරි පෙට්රල් දැවීයන සිහින් දුමාරයක් තානායම දෙසට මුදා හරිමින් නැවතත් එම මොටෝරිය කොළඹ දෙසට ඇදී යද්දී තානායම් උද්‍යාන සේවක කරුණෙ අයියා බය පක්ෂ ලීලාවෙන් මදෙසට ඇවිද ආවා.
“. මොකද සර් ඒ මහත්තුරු කියන්නේ..”
තානායම් ක්ෂේත්‍රයේ පැරණි ගොඩනැඟිලි ආකෘතිය සේම පැරණි පරම්පරාවට අයත් කම්කරු මුහුණුවරෙන් යුතු කරුණෙ අයියා එසේ විමසන්නේ සිදුවීමට යන නවීකරණ පරිවර්තනය අවසානයේ තමා වැනි පැරණි සේවක පරම්පරාව ද එකී පැරණි මුහුණුවර මෙන්ම තානායම් පරිසරයෙන් අතුරුදහන් වීමේ අනතුර ඉවෙන් මෙන් අවබෝධ වූ නිසාද?
තානායම් සමාගමේ නඩත්තු අංශයෙන් ඊට පසුදින මාගේ ජංගම දුරකතනයට පැමිණි වට්ස්ඇප් පණිවුඩයෙන් දැනුම් දුන්නේ තානායම් කාර්යාල පරිශ්‍රයේ මෙන්ම ගබඩා කාමරවල ද ඇති අනවශ්‍ය සියලුම බඩු බාහිරාදිය තෝරා වෙන්කොට ඒවා කොළඹ පිහිටි තානායම් ප්‍රධාන කාර්යාලයේ අබිලි බඩු ගබඩාව වෙත එවීමට සූදානම් කරනා ලෙසයි.
ඒ අනුව තානායමේ අමතර ලට්ට ලොට්ට ඉවත් කිරීමේ මෙහෙයුම මගේ කාර්යාල කාමරයේ කෙළවරක ඉබි යතුරු දමා තිබෙනා පරණ තාලේ අල්මාරිය අස්පස් කිරීමේ කාරියෙන්ම මා ආරම්භ කළා.
එම පරණ බඩු භාණ්ඩ සහිත අල්මාරියේ ඉහලම තට්ටුවේ තිබුණේ තානායම්වල මුල්ම යුගයේ භාවිත කළ නොලියා ඉතිරිවූ බිල් පොත් කීපයකි.
එම බිල් පොතක් පෙරලා බැලූ මට පෙනී ගියේ මීට වසර සියයකට ආසන්න සමයේ මෙම තානායමේ භාවිත වී ඇති බිල්පොත්වල උදේ කෑම, දවල් කෑම, රෑ කෑම වැනි වගන්ති පේළි අතරේ “ළමුන්ගේ කෑම” “අශ්ව කරත්ත රික්ෂෝ නතර කිරීමේ ගාස්තු” වැනි අතීත සමාජයට අයත් වගන්ති කීපයකුත් එහි සඳහන්ව ඇති ආකාරයයි.
මා වෙත පැමිණ ඇති වට්ස්ඇප් පණිවුඩයට අනුව මෙම ඓතිහාසික සිහිවටන ද ප්‍රධාන කාර්යාලයේ අබිලි ගබඩාවට පටවා යැවිය යුතු නොවේද?
එක දිගට අශ්ව කරත්තයෙන් ගමන් කළ විට රථයේ ගමන් ගන්නා ප්‍රභූවරයාට මෙන්ම රිය බැඳි අශ්වයාහට ද විවේකයක් අවශ්‍ය වෙයි.
එම අවශ්‍යතාව සපුරාලන්නට සුවපහසු කාමරවලින් සමන්විත නිවස්නයක් සමඟ ඉස්තාලයක් සහිත අශ්ව රථ ගාලක් සහ විශේෂයෙන්ම එම ප්‍රභූවරයාගේ ඇඳුම් පැළඳුම් සෝදා පිරිසිදු කරදී, එම ප්‍රභූවරයාට කැමති ආකාරයට කෑමක් බීමක් උයා පිහා පිළියෙල කර දීමේ දැනුම ඇති අප්පේ කෙනෙක් ලෙස එදා හැඳින්වූ සේවකයකු සමඟ රඳවා තබනා සුඛෝපභෝගී නිල නිවාස සංකල්පය තානායම් ප්‍රභවයේ ආරම්භය නොවේදැයි මට එසැනින් සිහියට ආවා.
කල්යත්ම එම රජයේ දිසාපති බංගලා ලෙස පැවති එම සුඛෝපභෝගී නිවස්නයන් ප්‍රභූ පැලැන්තියේ ගමන් වෙහෙස සන්සිඳනා රජය යටතේ පවතින නිවාඩු නිකේතන බවට පත්වීම තානායම් ක්ෂේත්‍රයේ ආරම්භය ආරම්භය බව මට නැවතත් සිහිපත් වුණා.
එලෙස ආරම්භ වූ හෝටල් ක්ෂේත්‍රයේ මූලාරම්භය ලෙස සැලකෙන තානායම් සංකල්පය ඉන් පසුව ක්ෂේත්‍රයට පිවිසි පෞද්ගලික සංචාරක හෝටල් ව්‍යාපාරය හමුවේ අද දක්වා නොනැසී පැවැතීම සැබැවින්ම ආශ්චර්යයක් නොවේද?
ඉන්පසුව මා නොදැනීම එම අල්මාරියේ පහළම තට්ටුවේ ඇති කාඩ්බෝඩ් පෙට්ටි කීපයෙන් එකක් නිරාවරණය කළා.
තානායමට පැමිණෙන අමුත්තන් ඔවුන් සතු බඩු භාණ්ඩ කාමරවල අමතක කර දමා යාම අද මෙන්ම එදින ද සිදුව තිබෙනවා.
එකල භාවිත වූ කටු පෑනකින් තද කළු තීන්තෙන් පැහැදිලි ” වෙද අකුරින්” ලියැවුනු දුර්වර්ණ වී ගිය එම සටහන් පොතේ කඩදාසි පිටු සීරුවෙන් පෙරලන මට එය අතීතයේ මෙම තානායමේ කාමරයක අමුත්තකු විසින් අමතකව දමා ගිය කේන්ද්‍ර පලාඵල ලියූ සටහන් පොතක් බව එසැනින් අවබෝධ වූවා.
“.වෘහජ්ජාතකය හෙවත් වරහා මිහිරය ” ග්‍රන්ථ රාජයාට අනුව සිකුරු පස්වැන්නෙහි සෙනසුරාගේ හෝ අඟහරුවාගේ වර්ගයන්හි වේද, ඒ සිකුරු තෙම ශනි විසින් හෝ කුජ විසින් දකිනු ලබත්ද, එම තැනැත්තා නිතැතින් පර ස්ත්‍රීන් කරා යනු වේ.
කේන්දර පලාඵල පොත දිග ඇරගත් ඉරියවවෙන්ම මා බලාගත් අත බලාගෙන කල්පනාවට වැටුණා.
මෙම කේන්ද්‍ර සටහන් පොත හිමි අතීත ඉරණම්කරුවා කවුරුන් විය හැකිද? මෙම සටහන් පොත තානායමේ අමතකව දමා ගියේ මෙම ඉරණම හිමි පුරුෂයා විසින් ද? නැතහොත් වෙනත් පුරුෂයෙක් සමඟ මෙහි පැමිණි ඔහුගේ බිරිය විසින් විය නොහැකිද?
“.. ඇයි සර් කල්පනාව.. මේ පාර ලයිට් බිල අවුල්ද?…”
එක්වරම මගේ විවෘත කාර්යාල දොරෙන් පිවිසි වේටර්වරයාගේ කටහඬින් මා තිගැස්සී පියවි ලොවට පිවිසියා.
කියවමින් සිටි පලාඵල පොත නොදුටු වේටර්වරයාගේ සිතිවිල්ල සනාථ වන අයුරින් මා මගේ මේසය මත ඇති විදුලි බිල්පත අතට ගෙන නැවත පසෙකින් තැබුවා.
රන්ජන් ගාමිණී ජයවර්ධන