Home » ඉතිහාසයේ වරද්ද ගත්ත සන්ධාන ආයිත් එන්නෙ නෑ

ඉතිහාසයේ වරද්ද ගත්ත සන්ධාන ආයිත් එන්නෙ නෑ

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment

ආණ්ඩුව පැහැදිලිව කිවුවා අය වැයෙන් වැටුප් වැඩි කරනවා කියලා. ඒ වගේම වැඩි කළා

අය වැය කාලෙට ආණ්ඩු එක එක කතා කියනවා. ගණන් මිනුම් හදනවා, ඒකෙන් ජනතාවට ප්‍රමාණවත් දෙයක් තිබ්බොත් උද්ඝෝෂණ සටන් නතර වෙනවා. නැත්නම් සටන් අරගල තවත් වැඩි වෙනවනෙ. දැන් වෘත්තීය සමිති ව්‍යාපාර ඉල්ලුවෙ මොකක්ද? රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක්. ආණ්ඩුව මොකක්ද කළේ. රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් කළා. ඒකත් අප්‍රේල් මාසෙ ඉඳලා, ඔක්තෝබර් ඉදල දෙසැම්බර් දක්වා හිඟ රුපියල් 30,000 ජනවාරි මාසෙ ඉදල රුපියල් 5000 ගානෙ වාරික 6කින් දෙන්න තීරණය කරලා.

රුපියල් 20,000ම ඉල්ලා සිටින්නෙ ඇයි? මේ අවස්ථාවෙ හැටියට ආණ්ඩුව 10,000කින් වැටුප් වැඩි කිරීම ප්‍රමාණවත් ලෙස දකින්නේ නැත්ද?

ආණ්ඩුව සිදු කරන බදු වැඩි කිරීම දෙස බැලීමේදී අපට එයින් සෑහීමට පත් වෙන්න බැහැ. ආණ්ඩුව දැනටමත් එක් පවුලකින් රුපියල් 18‍,000ක් විතර වක්‍ර බදු අය කරනවා, ආණ්ඩුව අලුතින් බලාපොරොත්තු වන බදු ඉලක්කය අනුව එක් පවුලකින් තවත් රුපියල් 12,300ක් විතර බදු අය කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව එක් පවුලකින් රුපියල් 30,000කට අධික බදු මුදලක් අය කරමින් රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ආණ්ඩුව වක්‍ර බදු බලපොරොත්තු වන ප්‍රමාණය පවුල් සංඛ්‍යාවෙන් බෙදල බැලුවහම මේ බදු මුදල් ප්‍රමාණය පැහැදිලියි.

නමුත් ආණ්ඩුව ඍජු බදු ගෙවිය යුතු අය සොයා ගෙන ඔවුන්ගේ බදු ලබා ගැනීමට විධිමත් ක්‍රමවේද ගනිමින් ඉන්නේ.

ඒ විදිහට ලබා ගන්නෙත් රජයේ හා පෞද්ගලික අංශයේ වැටුප් ලබන අයගේ වැටුපෙන් ඍජුව අය කරන බදු නෙ. මේ ආණ්ඩුවේ පැහැදිලි ක්‍රමවේද 3යි දකින්න තියෙන්නෙ.

එකක් බදු වැඩි කිරීම, අනික රටේ සම්පත් විකිණීම තුන්වැන්න ණය ගැනීම. එයින් බාහිර වෙන දෙයක් අය වැයට පෙරත් නැහැ දැනුත් නැහැ.

ඒ වෙනුවෙන් ජනතාව කුමක් කළ යුතුයි කියා ද ඔබ සිතන්නේ?

ජනතාව අනිවාර්යයෙන්ම නැඟී සිටීවි, අරගල කරාවි, විවිධ ක්‍රියාමාර්ග ගනීවි.

නමුත් මේ අරගල මෙහෙයවන්නෙ ඔබතුමාල නේද?

ඔව්, ජනතාව වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටින්නෙ නැති නිසා අපි ජනතාව වෙනුවෙන් ඉන්නවා.

සරල කතාවක් ගන්නකො, එදිනෙදා කුලී වැඩ කරන කෙනෙක් ගනිමු. බඩු මිල වැඩි නිසා එයාගෙ දවසෙ කුලිය වැඩි කරා, පොල් ගස් නගින කෙනා ගන්නකො, එයත් ගහකට ගන්න ගාණ වැඩි කරලා, සැලුන් එකේ කොණ්ඩෙ කපන කෙනා ගාණ වැඩි කරලා. තෙල් මිල වැඩිවුණ නිසා ත්‍රිරෝද රියැදුරා ගාණ වැඩි කරා.

එතකොට තමන්ගෙ ආදායම වැඩි කර ගන්න බැරිව ඉන්න කට්ටිය කවුද? අර අතපය බැඳල ඉන්න රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් හා වතු අංශයේ සේවකයන්. අවුරුදු 4ක් තුළ ඒ අයට කිසිදු ආකාරයක සහනයක් නැහැ.

ඒකෙන් අදහස් කරන්නෙ නැහැ. එදිනෙදා වැඩ කරන අය සුරපුරයක ජීවත් වෙනව කියලා, රාජ්‍ය හා පෞද්ගලික හා වතු අංශයේ අය වෙනුවෙන් තමයි වෘත්තීය සමිති පෙළ ගැහිලා ඉන්නෙ.

වෘත්තීය සමිති පෙළ ගැස්සවීම හා වර්ජනය කියන්නෙ දෙකක්නෙ.

වර්ජනය කරන්න වෙනවනෙ. ජනවරමක් නැති විධායක ජනාධිපතිවරයෙක් නිලධාරින්ට එරෙහිව පාවිච්චි කළ හැකි බලය දැඩි ලෙස හසුරවනකොට, ඒ නිලධාරින්ට ‘තග දාන‘ කොට.ආයතන බලහත්කාරයෙන් විකුණන්න හදනකොට පළමුව වේදනාව දැනෙන්නෙ එහි සේවකයන්ට, දෙවනුව ඒ ආයතන ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව එයාලට දැනෙනවා. තුන්වෙනුව මේ ලෙසින් අණ දෙන්නෙ ජනවරමක් නැති කෙනෙක් නේද කියල එයාලට දැනෙනවා.

ඒ සියල්ල හමුවේ වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම වෘත්තීය ක්‍රියාමාර්ග නොගෙන ඉන්නෙ ජනවරමක් ඇති පාලකයෙක් ‘සිස්ටම් එකට‘ අනුව කටයුතු කළොත් පමණයි. දැන් තියෙන්නෙ ආර්ථික අරාජිකත්වයක් විතරක් නෙමේ දේශපාලන අරාජිකත්වයක් විශාල වශයෙන් මෙරට ස්ථාපිත වෙලා. ඒ අරාජිකත්වය නැති කරන්න පුළුවන් වෙන්නෙ ජනවරමක් ඇති පාලනයක් බිහි කිරීමෙන් පමණයි.

එවැනි පාලනයක් බිහි කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

අපි ඒ වෙනුවෙන් ජනතාව සමඟ එකතු වී අරගල කරනවා, රටක ජනතාව දන්නෙ නැත්නම් මැතිවරණ තියන දිනයක් ගැන එතනම දේශපාලන අරාජිකත්වය තියෙනවනේ, ජනතාවගේ මූලික අයිතිවාසකම් එතනම උල්ලංඝනය වෙලානෙ.

ලෝකෙ කිසිම දියුණු රටක ඡන්ද කල් දාන්නෙ නැහැ. ජනතාවට ව්‍යවස්ථානුකූලව නියමිත කාලයේ මැතිවරණයකට යන්න නොදීම තුළ අරගල මතු නොවී තිබෙයි ද? ආණ්ඩුව මොන වංගුවක් ගහල හරි මැතිවරණ මඟ අරිනවනම් අපිට ඒ වෙනුවෙන් දැඩි අරගලයක් අරඹන්න සිදු වෙනවා. විශාල ජනතා නැඟී සිටීමක් සිදු වේවි. අපි ඒ වෙනුවෙන් මුල් තැන ගන්නවා.

නමුත් ඔබ මහනුවරදී පවසා තිබුණා අරගලයකින් එහා ගිය සන්නද්ධ අරගලයක් ගැන.

ආණ්ඩුව ජනතාව රවටමින් සින්නක්කර ඉඩම් දෙන්නම් පඩිය ටිකක් වැඩි කරන්නම්, පස්සෙ තවත් මොනව හරි කරන්නම් කියල ජනතාවට ‘ ‘ෆැන්ටසි‘ මවලා ‘සිම්බොලික්‘ මවලා කරන රඟපෑම නවත්වන්න අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපි ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව වැඩිදියුණු කරන්න කටයුතු කරනවා. ඒ වැඩිදියුණු කිරීම වෙනුවෙන් පීඩිත ජනතාව සන්නද්ධ කළ යුතුයි.

ඔබ හිතනවාද ජනතාව සන්නද්ධ අරගලයක් කරා ගෙන යන්න පුළුවන් කියලා

ජනතාව දැනුමෙන් සන්නද්ධ කිරීමයි ගිනි අවිවලින් සන්නද්ධ කිරීමයි කියන්නෙ දෙකක්. ජනවරමක් නැති පාලකයන්ට විරුද්ධව ජනතාව සන්නද්ධ ක්‍රියාමාර්ග ගත යුතුයි. අපි ඒ වෙනුවෙන් පෙරමුණ ගන්නවා, නායකත්වය දෙනවා. ඒ වෙනුවෙන් අපි දැනටමත් කටයුතු කරනවා. අපි ගම් මට්ටමින් ජනතාව දැනුම්වත් කර තියෙන්නෙ, කොට්ඨාස මට්ටමින් අපි අවශ්‍ය පියවර ගෙන තියෙනවා.

ඒ සන්නද්ධ අරගලය කුමනාකාරයෙන් ක්‍රියාත්මක වෙයි ද?

කාන්තාවන් හට්ටි මුට්ටි, ගෑස් ළිප්, බ්ලෙන්ඩර් ඇතුළු උපකරණවලින් සන්නද්ධ වෙලා පාරට ආවොත්, ගොවි ජනතාව දෑකැති අරගෙන පාරට බැස්සහම මොකද වෙන්නෙ, ඒ ආකාරයට ජනතාව පාරට බහින දවසක් එනවා. අපි දැනටමත් ගොවි ජනතාව, ධීවර ජනතාව සමග සාකච්ඡා කරල තියෙන්නෙ. ඒ වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් අපි සමුළු මාලාවක් තිබ්බා ජනතාව දැනුම්වත් කිරීමට කොට්ඨාස මට්ටමින් කළ සංවිධාන ඉතා සාර්ථකයි.

ඉන්දියාවෙ ගොවි ජනතාව ට්‍රැක්ටර් අරගෙන පාරට බැස්ස වගේ ජනතාව පාරට බසීවි. අපි එහි මුල් තැනක ඉන්නවා.

සන්නද්ධ වීමේ අරගලය නමින් වෙනත් සන්නද්ධ අරගලයක් ගෙන ඒමක් නැද්ද?

ජනතාව දැනුමෙන් සන්නද්ධ කිරීමයි අපේ අරගලය වෙන්නෙ, ඒ අරගලය ගෝල්ෆේස් අරගලයට වඩා හුගක් තීව්‍ර අරගලයක් වේවි. ගෝල්ෆේස් අරගලයට වුණේ කප්පිත්තෙක් නැති නැවක් වගේ තත්ත්වයක්නෙ. අපේ අරගලය එහෙම නෙමේ. අපි නායකත්වය දෙනවා, අපි මෙහෙයවනවා, ජනතාව අපිත් එක්ක දැනුමෙන් සන්නද්ධව දේශපාලන දැනුමකින් එකතු වෙනවා.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ නමින් සන්නද්ධ අරගල කිවුවහම බොහෝ දෙනාට සිහි වෙන්නෙ අතීතය, 1971 සහ 88/89 වගේ භීෂණකාරී වාතාවරණයක් කරා රට ගෙන යාමක් ගැනයි.

ඒ සටන් නිර්මාණය වුණේ ජනතාවට හොරෙන්. නමුත් අප කටයුතු කරන්නේ ජනතාව සමඟයි, ජනවරමක් නැති පාලකයන්ට විරුද්ධව ජනතා නැඟී සිටීම පමණයි එකම පිළිතුර වන්නේ. වෙනත් පිළිතුරු නැහැ. ඒ නැඟී සිටීම ඉතාම ළඟයි කියලත් කියන්න ඕන.

88/89 වගේ වාතාවරණයක් යළි ඔබ පක්ෂය හරහා ඇති නොවන බවට ඔබට වගකීමෙන් පැවසිය හැකිද?

අනිවාර්යයෙන්ම පැහැදිලිවම එහෙම කිසිම අවශ්‍යතාවක් අපට නැහැ, අපෙන් එවැන්නක් ඇති වෙන්නෙත් නැහැ. ඒත් පාලකයන් නම් එවැනි තත්ත්වයක් ඇති වෙනවා නම් කැමතියි. ඒ තමන්ගේ පැවැත්ම උදෙසා.

ඔබ පක්ෂය ඔයතරම් ජනතාවාදී නම් අනෙක් පක්ෂත් සම්බන්ධ විය යුතුයිනෙ, ප්‍රධාන විපක්ෂය ඔබ දේශපාලන ගමන් මඟ හා සම්බන්ධ වන්නේ නැත්ද?

ජනතාවේගී බලවේග අනෙක් පක්ෂ කැමති වුණත් නැතත් ඉදිරියට යනවා, අනෙක් අයටත් සිදු වෙනවා ඒ ජනතා බලවේගයට සහාය දෙන්න. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පසුගිය දවසක කියලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වෙලා පමණයි මේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්න පුළුවන් කියලා. අපි ඒක අගය කරනවා.

ඒත් අපි අනෙක් දේශපාලන පක්ෂවල කිසි කෙනෙක් අපේ වේදිකාවන්ට ගන්නේ නැහැ. එයාලට පුළුවන් එයාලගෙ වේදිකාවලදි කියන්න අපිට සහාය දෙන්න කියලා. අපි පරණ කරපු පරණ මෝඩකම් ආ‍ෙයත් කරන්නෙ නැහැ. ඉතිහාසයේ වරද්ද ගත්ත ‘සන්ධාන ගැහිලි’ ආයිත් වෙන්නෙ නැහැ. එහෙම වුණොත් ජනතාව අපවත් විශ්වාස කරන්නෙ නැහැ. අපත් සමඟ එකතු වෙලා ඉන්න අයත් අප කෙරෙහි විශ්වාසයක් නැති වේවි.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division