Home » රටේ ප්‍රශ්නවලට විපක්ෂයට විසඳුම් නෑ

රටේ ප්‍රශ්නවලට විපක්ෂයට විසඳුම් නෑ

විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment

ජනාධිපතිවරයා පසුගියදා විදෙස් සංචාර කිහිපයක නිරත වුණා. මේ වන විට ජාත්‍යන්තරය හරහා අපිට ලැබී ඇති යහපත් ප්‍රතිචාර ගැන සඳහනක් කළොත්?

මේ වන විට අපිට ලැබී ඇති විශාලම ජාත්‍යන්තර යහපත් ප්‍රතිචාරය වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පැරිස් කලබ් එකේ රටවල් 14 ක් මෙන්ම ඉන්දියාව, ජපානය, චීනය වැනි රටවල් ඊට එකඟ වීම. එය ජාත්‍යන්තරය දකින්නේ ප්‍රාතිහාර්යයක් වශයෙන්. දිගු කාලයක් ගත වන ක්‍රියාවලියක් ඉතා කෙටි කාලයකින් අහවර කරන්නට අපිට හැකි වුණා. එය අපේ රට ලබා ගත් විශාල ජයග්‍රහණයක්. ඊට අමතරව ප්‍රංශය, ජර්මනිය වැනි බටහිර රටවල් මෙන්ම මැද පෙරදිග, ඉරානය, සවුදි ආරාබිය, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, සමඟ හොඳ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඇති කර ගැනීමට අපිට හැකිවී තිබෙනවා. ඒ හරහා රැකියා අවස්ථා බිහි වී තිබෙනවා. ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කෙරීගෙන යනවා. සංචාරක කර්මාන්තයට පසුබිම සකසන ගුවන් ගමන් සඳහා අවස්ථා විවර වෙමින් පවතිනවා. ජනාධිපතිවරයා ජාත්‍යන්තර වශයෙන් මේ කටයුතු ඉතා හොඳින් කළමනාකරණය සිදු කරගෙන යනවා. ඔහුගේ නායකත්වයෙන්, ජාත්‍යන්තර නීතිය පිළිබඳ දැනුම හා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ඔහුගේ අත්දැකීම් මේ සියල්ල නිසි කළමනාකරණය කිරීමට විශාල පිටිවහලක් වුණා.

පසුගියදා ඩුබායි රටේ ජනාධිපතිවරයා සිදු කළ සංචාරයෙනුත් විශාල ප්‍රගතියක් අත්වුණා. ඒ ගැන සඳහනක් කළොත්?

මේ සංචාරයේදි අපිට ලැබුණු ප්‍රතිලාභ රාශියක් තියෙනවා. දැඩි ප්‍රශ්නකාරි දෙයක් වන දේශගුණ විපර්යාස පිළිබඳ බොහෝ දෙනා සාකච්ඡා කළාට විසඳුමක් ලබා දෙන්නේ නැහැ. අපි යෝජනා කළා දේශගුණික විපර්යාස යුක්ති කේන්ද්‍රයක්. ඒ තුළින් සියලුම රටවල් එකතු කරගෙන ඒ සඳහා හඬ නංවන්න. අපි 1983 ට පෙර සිටම විශාල හඬක් ගෙන ගිය රටක්. ඒ වගේ දෙයක් නැවත ලබා ගැනීම සඳහා මේ සංචාරයේදී අපිට හැකියාවක් ලැබුණා. එහිදි ලෝක ප්‍රජාවට හොඳින් අපිව දර්ශනය වුණා. ද්විපාර්ශ්වික නායකයන් වන බ්‍රසීලයේ ජනාධිපති, ප්‍රංශයේ ජනාධිපති, කලාපයේ ජනාධිපතිවරු, ග්‍රීසියේ ජනාධිපති වැනි නායකයන් රාශියක් සමඟ සාකච්ඡා කළා. අමතරව ඩුබායි රාජ්‍ය මැදි කරගත් ආයෝජන ප්‍රජාවන් සමඟ සාකච්ඡා කර ලංකාවේ ඔවුන්ට ඇති අවස්ථා පැහැදිලි කර දීමට හැකි වුණා.

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි අදියරේ සාර්ථක අවසානයකට රජය ළඟා වී තිබෙනවා නේද? කවදද දෙවැනි ණය වාරිකය මුදා හැරෙන්නේ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය අනිවාර්යයෙන්ම මේ මාසයේදි ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. එ් හරහා ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශාල විශ්වාසයක් අප රට කෙරෙහි ඇතිවෙයි කියා බලාපොරොත්තු වෙනවා. පසුගිය වසරත් සමඟ සසඳන විට කාටත් පෙනෙනවා, අපි ගිය ගමන් මඟ කොතරම් නිවැරදි ද නැද්ද යන්න. අප්‍රේල් මස අපි රජය බාර ගන්න කොට තෙල් ලබා ගැනීමට දින ගණන් පෝලිමේ සිටින්නට සිදු වුණා. රට පුරාම විවිධ පෝලිම්. පැය 13 ක් විදුලිය කප්පාදු වුණා. කර්මාන්ත කඩා වැටුණා. විදුලිය තෙල් නැති නිසා සංචාරකයන් අපේ රටට නොඑන තත්ත්වයක් උදා වුණා. ඖෂධ පොහොර හිඟ වී තිබුණා. ඩොලර් නැතිව ගෑස් ගෙන්නන්න බැරි වුණා. නමුත් අද පවතින තත්ත්වය ඊට වෙනස්. අද අපි උද්ධමනය පාලනය කර තියෙනවා. පෝලිම් නැතිවෙලා. සංචාරකයන්ට නැවතත් පැමිණීමට අවස්ථාව සලසා දී තියෙනවා. මේ ප්‍රතිඵල සමඟ සංසන්දනයේදී පෙනෙනවා, අපි යන මඟ හරියි කියලා.

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නිල ණය හිමි කමිටුව දක්වා තිබෙන යහපත් ප්‍රතිචාර ගැන සඳහනක් කළොත්? මේ තත්ත්වය IMF දෙවැනි වාරිකයට කොතරම් දුරට සාර්ථක ප්‍රතිචාරයක් ද?

පළමු ණය වාරිකයේ සිට දෙවැනි ණය වාරිකය දක්වා අපි පසු කළේ ඉතාම දුෂ්කර ගමන මඟක්. මෙවැනි දුෂ්කර ගමන් මඟ පසු කළ වෙනිසියුවේලාව, ආර්ජන්ටිනාව, සිම්බාබ්වේ, ලෙබනනය වැනි රටවල් අවුරුදු 10-15 ක් පමණ කඩා වැටුණු රටවල්. තාමත් ඔවුන්ට එළියට ඒමට නොහැකි වී තියෙනවා. ඒ අතින් බලන විට අපි සාර්ථකයි. දුෂ්කර ගමනක නිසි කළමනාකරණය ඇතිව අපි ඒ ගමන් මඟ ආවා.

IMF දෙවැනි ණය වාරිකය හරහා අපේ රටේ ආර්ථිකයට මොන වගේ ශක්තිමත් බවක් ලැබෙයි ද?

පළමු වැන්න තමයි IMF දෙවැනි වාරිකය ලැබීම හරහා ලෝකයට පණිවිඩයක් ලබා දෙනවා, අපි හරි මාර්ගයේ යන බව. මේ මුදල ලැබුණ ගමන්ම ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව තමන්ගේ මුදල් ලබා දීම ආරම්භ කරනවා. ඉන්පසුව යම් ප්‍රමාණයක් භාණ්ඩාගාරයේ අය වැයට සහයෝගය ලබා දීමට එම මුදල් යොදවා ගත හැකි වෙනවා. එසේ කළ හැකි වුවහොත් අධික පොලියට බොන්ඩ් මිලදී ගැනීමට වෙනුවට අඩු වියදමකින් තමන්ගේ ණය ලබා ගැනීමට හැකි වෙනවා. එවිට අපි බලාපොරොත්තු වෙනවා, වෙළෙඳ පොලී ණය පොළි අනුපාත සැලකිය යුතු ලෙස අඩු වෙයි කියලා. පොලී අනුපාත 10-11% කට අඩු කරගත හැකි වුණොත් නැවත ව්‍යාපාරිකයන්ට ණය ලබා ගෙන මූල්‍ය පහසුකම් හරහා ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙනවා. දෙවැනි ණය වාරිකය ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල පිටිවහලක් වෙනවා.

විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ මේ වන විට සිදු වන්නේ කොයි ආකාරයෙන් ද? ජාත්‍යන්තරය ඒ සඳහා දක්වා ඇති ප්‍රතිචාර ගැන සඳහනක් කළොත්?

මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී තියෙනවා. අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කර අවසන්. ප්‍රධාන ජාත්‍යන්තර ණය වර්ග දෙක වන ද්විපාර්ශ්වික ණය කළමනාකරණය අතින් අපිට යහපත් ප්‍රතිචාරයක් ලැබී තියෙනවා. දෙවැන්න අපේ මූල්‍ය උපදේශක වන ලසාඩ් ආයතනය විසින් ලංකාවේ පෞද්ගලික අංශයෙන් ලබා ගත් ණය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් යනවා. ලබන වසරේ මුල් කාර්තුව වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කර නැවත ණය ගෙවන තත්ත්වයට රට පත්කර හැකි වෙනවා. එවිට බංකොලොත්භාවයෙන් මිදීමට හැකිවෙනවා. මට දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව ජපානය ඉතාමත්ම කැමැත්තෙන් සිටිනවා, අපේ රටේ විශාල වශයෙන් ආයෝජනයන් සිදු කිරීමට.

මේ අනුව ණය නැවත ගෙවීම සම්බන්ධයෙන් නිශ්චිත කාල වකවානුවක් රජයට ප්‍රකාශ කළ හැකිවෙයිද?

ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ පසු ඒ ණය ප්‍රථමයෙන් ගෙවීමට සිදු වන්නේ. මම හිතනවා ලබන වසරේ මුල් කාර්තුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර දෙවැනි කාර්තුව වන විට අපි එකඟ කරගත් ණය මුලින් අඩු පොලී ගෙවීමෙනුත් දෙවනුව කාලය ඉකුත් කර ගැනීමෙනුත් ද්වි පාර්ශ්වික ණය ගෙවීම ආරම්භ කිරීමට. එසේම පෞද්ගලික ණයත් ඒ ආකාරයෙන් අඩු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ තුළ නැවත ආර්ථිකය නඟාසිටුවා පුනරාගමනයක් සිදු කළ හැකි යැයි බලාපොරොත්තු වෙනවා.

විපක්ෂය චෝදනා කරනවා ආණ්ඩුව IMF කොන්දේසි කියමින් ජනතාව අසීමිතව පීඩාවට පත්කරන බව. රජය මේ ඉටු කරන්නේ IMF කොන්දේසි නොවන බවත් බවත් පවසනවා?

IMF කොන්දේසි දුන්නත් නැතිවුණත් අපිට වෙන කරන්න දෙයක් නැහැ. වියදමට සරිලන ආකාරයට ආදායම හදා නොගතහොත් අපිට ඇති එකම විකල්පය මුදල් අච්චු ගැසීම පමණයි. ඒ නිසයි රුපියල් 200 ට තිබුණු ඩොලරය රුපියල් 400 ට ගියේ. උද්ධමනය ඉහළ ගිහින් ආර්ථිකය කඩා වැටුණේ. දුෂ්කර තේරීම් අතරින් අපිට ඉතුරු වී තිබුණේ එයයි. විපක්ෂය හැමදේම විවේචනය කළත් ඔවුන් දෙන විසඳුම කුමක්ද?

ආදායම් බදු වැඩි කිරීම හරහා රාජ්‍ය ආදායම වැඩි කිරීමේ ඉලක්කයට රජය සුදානම් වෙනවා. අපේක්ෂිත බදු ඉලක්කයට යාමට ආණ්ඩුවට හැකිවෙයි ද?

අපි උත්සාහ කරන්නෙත් එයයි. ටිකක් අපහසුයි. නමුත් අපේක්ෂිත බදු ඉලක්කවලට යා යුතුයි. තිරසර ආර්ථිකයකට අවශ්‍ය පසබිම සකස් කරන්න බැරි වුණොත් අපේ ආර්ථිකය කඩා වැටෙනවා. අපේ රට බේරා ගැනීමට නම් අපිට යම් යම් කැප කිරීම් කරන්න සිදු වෙනවා.

2027 තෙක් කවුරු හෝ රජයක් බලයට පත් වුව ද යා යුත්තේ මේ ගමන් මඟයි. මීට වඩා වෙනස් ගමනක් යා නොහැකි බව ආර්ථික විශේෂඥයන් පවසනවා. මේ පිළිබඳ ඔබගේ අදහස?

ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ ඒ කරුණයි. වෙන ගමනක් ගියොත් අපිට ඉතුරු වන්නේ නැවත වතාවක් අපි නොසිතනවාට වඩා දරුණු ලෙස ආර්ථිකය කඩා වැටීමයි. එවිට ජනතාව ගිය වසරේ පාරට බැස ඉතුරු කරපු තරමවත් ඉතුරු වන්නේ නැහැ. මේ අමාරු තීන්දු තීරණ ගෙන රට හරි තැනට ගෙන යාමට අපිට සිදු වෙනවා.

ඉදිරියේදි විදෙස් ආයෝජන ලබා ගැනීම සම්බන්ධයෙන් දැනට ගෙන ඇති තීන්දු තීරණ කවරේද?

අපි ආයෝජන සිදු කළ පසු ලාභයක් බලාපොරොත්තු වෙනවා. මුලින් එයට අවශ්‍ය පසුබිම සකස් කර දිය යුතුයි. කවුරුත් මුලින්ම ඇවිත් ව්‍යාපාර කරන්නේ නැහැ. ජනාධිපතිතුමා ඒ තත්ත්වය තේරුම් ගෙන තියෙනවා. මේ සඳහා අවශ්‍ය සංශෝධන සිදු කරමින් යනවා. IMF දෙවැනි වාරිකය හරහා ඊට‍ අවශ්‍ය පසුබිම සකස් වෙයි කියා අපි අපේක්ෂා කරනවා.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division