Home » කෝටි 500ක් රජයට අහිමි කළ වාහන ජාවාරමක් හෙළි වේ
සුඛෝපභෝගී වාහන 200ක් හොරට ගෙන්වා

කෝටි 500ක් රජයට අහිමි කළ වාහන ජාවාරමක් හෙළි වේ

by Mahesh Lakehouse
December 9, 2023 12:40 am 0 comment
නිමන්ති රණසිංහ

රජයට අයවිය යුතු බදු මුදල් රුපියල් බිලියන 5කට අධික මුදලක් අහිමි කරමින් මෙරටට ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන 200ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ 8 වැනිදා සිකුරාදා ප්‍රකාශ කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය නොකොට මෙරටට ගෙන්වා ඇති මෙම සුඛෝපභෝගී වාහන 200 සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී එක් එක් වාහනය මෙරටට ගෙන්වා ඇත්තේ විවිධ ආකාරයෙන් වෙනත් ද්‍රව්‍යය සහ වෙනත්ම වාහන වර්ග මෙරටට ගෙන්වන මුවාවෙන් බවට ද තොරතුරු හෙළිවී ඇත.

ශ්‍රී ලංකා රජයට අය විය යුතු රුපියල් මිලියන 50ක බදු මුදලක් රේගු වංචාවක් සිදු කරමින් කේ ඒ 1141 දරන අංකය යටතේ අනිසි ලෙස ලියාපදිංචි කර ඇති ටොයෝටා වර්ගයේ ජීප් රථයක් සහ ජී එෆ් 8409 දරන අංකය යටතේ ලියාපදිංචි කර ඇති ලෑන්ඩ් කෘෘසර් වර්ගයේ ජීප් රථයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය 08දා අධිකරණයට කරුණු වාර්තා කළේය.

2001 වර්ෂයේදී මෙරටට ගෙන්වා ඇති ජී එෆ් 8409 දරන අංකය යටතේ ලියාපදිංචි කර ඇති ලෑන්ඩ් කෘෘසර් වර්ගයේ ජීප් රථය අංක 81, බාන්ස් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පිහිටි යුරෝපා සංගමයට ගෙන්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්තේ වර්ෂ 2022දී වෙනත් සාමාන්‍ය පුරවැසියකුගේ නමින් බවත් එම ඒකකය අධිකරණයට කරුණු වාර්තා කළේය.

2005 වර්ෂයේ ජූලි මස 04 වැනිදා ලියාපදිංචි කර ඇති කේ. ඒ. 1141 දරන අංකය යටතේ ටොයෝටා වර්ගයේ ජීප් රථය 2015 වර්ෂයේ දෙසැම්බර් මස 22 වැනිදා සිට අාදායම් බලපත්‍ර හෝ සුඛෝපභෝගී වාහන බදු හෝ අංක තහඩු හෝ නිකුත් කිරීමක් සිදු කර නොමැති බවත්, මෙම වාහනය ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාෂණය වී ඇත්දැයි පරීක්ෂා කිරීමේදී එහි සටහන්ව ඇත්තේ එනයින් මෙරටට ගෙන්වා ඇත්තේ රබර් ආශ්‍රිත නිෂ්පාදන බවත් එම ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම මෝටර් රථ දෙක මෙරටට ආනයනය කිරීමේදී 235 වන අධිකාරියේ රේගු ආඥා පනෙත් 136 සහ 137 වන වගන්ති සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මේ වන විට සිවිල් පුද්ගලයන් භාරයේ ඇති මෙම වාහන ශ්‍රී ලංකා රේගුව භාරයට ලබා දෙන ලෙසට කළ ඉල්ලීම අධිකරණය පිළිගනු ලැබීය. ඒ අනුව අදාළ නියෝග නිකුත් කළ අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන දෙසැම්බර් 26 තෙක් කල් තැබීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division