Home » විදත් සංචරණ ජාතික ප්‍රතිපත්තිය එළි දකී

විදත් සංචරණ ජාතික ප්‍රතිපත්තිය එළි දකී

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment
ප්‍රවා­හන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන සභාව අම­ත­මින්

සියලු රාජ්‍ය අමාත්‍යාංශවල සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව එළැඹෙන 2024 වසර ශ්‍රී ලංකාවේ විදත් සංචරණ වසර ලෙස ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය. ඒ සඳහා සියලු පාර්ශ්වයන් හි සහයෝගය සහ හවුල්කාරීත්වය ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. විදත් සංචරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පතට පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීම සඳහා පසුගියදා කොළඹ පැවැති වැඩමුළුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

තිරසර සහ කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරමින් ලබන වසරේ මාර්තු මාසයේදි විද්‍යුත් වාහන ප්‍රදර්ශනයක් සහ ගෝලීය අදහස් හුවමාරු කරගැනීමට සහ ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ අවස්ථා පුළුල් කිරීම සම්බන්ධව සංවාද ඇතුළු ඒකාබද්ධ සහයෝගිතා පිළිබඳ සාකච්ඡා කිරීමට සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ද, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා රජය පසුගිය කාලයේදී පොසිල ඉන්ධන මත පදනම් වූ ප්‍රවාහන පද්ධතියේ සිට බලශක්තිය මත පදනම් වූ ප්‍රවාහන පද්ධතිය දක්වා සංක්‍රමණය වීමේ අවස්ථාවන් ගවේෂණය කරමින් සිටි බවත්, ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික ක්‍රමවේද තුළින් සහ විවිධ අධ්‍යයනයන් හා පර්යේෂණ තුළින් විදත් සංචරණ පද්ධතියකට හුවමාරු වීමට අවශ්‍ය මුල පිරීම සිදු කළ බවත් ප්‍රවාහන අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ විදත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට, ප්‍රමිතිගත ආකාරයේ විදත් වාහන නිෂ්පාදනයට සහ එකලස් කිරීමට, ඒ සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට, විදත් වාහන අනුබද්ධිත සැලසුම් සකස් කිරීමට රජය විසින් මේ දක්වා ක්‍රියාමාර්ග රැසකට මුල පුරා ඇති බවත්, ඒ සඳහා දිගුකාලීන දැක්මක් සහිත විදත් වාහන ප්‍රතිපත්තියක් අවශ්‍යව තිබූ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. විදත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති රාමුවක් සහ මාර්ගෝපදේශයන් සහිත උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

විදත් සංචරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පතට පාර්ශ්වකරුවන්ගේ ලැබූ අදහස් ඇතුළත්ව යළි කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කරන බවත්, එය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

ප්‍රවාහන පද්ධතියෙන් කාබන්ඩයොක්සයිඩ් තුරන් කිරීම, පුද්ගලික වාහන භාවිතය අවම කිරීම, මාර්ග තදබදය අවම කිරීම සහ ප්‍රවාහනයේ පාරිසරික බලපෑම් මැඬලීම විදත් ප්‍රවාහන පද්ධතියේ ඉලක්කය බවත්, ලබන මාර්තුවේදී පැවැත්වෙන සමුළුව සාර්ථක කරගැනීමට සහ ඉන් ඔබ්බට මේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට එක්සත් ජාතීන්ගේ ආසියා පැසිෆික් ආර්ථික හා සමාජයීය කොමිසමේ සහයෝගය ප්‍රවාහන අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය.


ආසියා පැසිෆික් කලාපයේ පොදු ප්‍රවාහන සේවය සඳහා විදත් සංචරණය වෙත සංක්‍රමණය වීම කඩිනම් කිරීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආසියා පැසිෆික් ආර්ථික හා සමාජයීය කොමිසමේ ප්‍රවාහන අංශයේ මදන් බන්දු රෙජ්මි කියා සිටියේ එම කොමිසමේ සහයෝගය මත ඇමැතිවරයාගේ නායකත්වය යටතේ මෙම ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා කැපවීමෙන් කටයුතු කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය ගනු ලැබූ විශිෂ්ට මුල පිරීම පිළිබඳ අතිශය සතුටට පත්වන බවය. එමෙන්ම ශ්‍රී ලංකාවේ විදත් සංචරණ වෙත සංක්‍රමණය වීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි විදත් සංචරණය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, මූල්‍යකරණය සහ මෙහෙයුම් ආකෘතීන් සම්බන්ධව ඔහු සතු ගෝලීය හා කලාපීය අත්දැකීම් බෙදා ගත්තේය.

ඉන්දියාවේ ලෝක සම්පත් ආයතනයේ තිරසර නගර හා ප්‍රවාහන උපදේශක කෞස්ටුබ් එස්. ගොසවි විදත් සංචරණ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම, මූල්‍යකරණය සහ මෙහෙයුම් ආකෘතීන් පිළිබඳ සිය ගෝලීය හා කලාපීය අත්දැකීම් බෙදා ගත් අතර, සංක්‍රමණ ක්‍රියාවලිය සඳහා ඉදිරියට යන සියලු ශ්‍රී ලාංකික පාර්ශ්වයන් හි උත්සාහයන් ඇගයීමට ලක් කළේය.

පිලිපීනයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජොයිස් රිවේරා විදත් සංචරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, මහජන උපයෝගිතා වාහන නවීකරණ වැඩසටහන හා ප්‍රජා සහභාගීත්වය සහ පිලිපීනයේ අත්දැකීම් බෙදා ගත්තේය.


ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ විද්‍යුත් සංචරණයට සම්බන්ධ සියලු අංශ ඒකරාශි කිරීමට ඉවහල් විය හැකි නීතිමය පිටුබලයක් සහිත විස්තීර්ණ විදත් සංචරණය ප්‍රතිපත්තිය ලේඛනයක් තිබීමේ වැදගත්කම පැහැදිලි කළේය.

CodeGen ශ්‍රී ලංකා ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය හර්ෂ සුබසිංහ, ලුමාලා බයිසිකල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරීක් මිෆ්ලාල්, ශ්‍රී ලංකා ඔටෝමොබයිල් උපාංග නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිමන්ත ජයවර්ධන, ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (සම්පත් සහ සංවර්ධන) ලක්ෂිත වීරසිංහ, ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින විද්‍යුත් සංචරණය හා සම්බන්ධ කර්මාන්තය පිළිබඳ සිය අත්දැකීම් සහ ප්‍රවීණත්වය මෙහිදී බෙදා ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ විදත් සංචරණ සංක්‍රමණය සඳහා සිය අදහස්, යෝජනා සහ අපේක්ෂාවන් ඉදිරිපත් කරමින් විදත් සංචාරණ ප්‍රතිපත්තීන් කෙටුම්පත් කිරීමට යෝජනා ඉදිරිපත් කළහ.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division