Home » සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ 13 වැනි පාලක මණ්ඩල රැස්වීමේදී 2024 වර්ෂය සඳහා යෝජිත වැඩසටහන්වලට ඒකමතික අනුමැතිය

සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ 13 වැනි පාලක මණ්ඩල රැස්වීමේදී 2024 වර්ෂය සඳහා යෝජිත වැඩසටහන්වලට ඒකමතික අනුමැතිය

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment

කොළඹ පිහිටි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ 13 වැනි පාලක මණ්ඩල රැස්වීම පසුගිය නොවැම්බර් 28 සහ 29 යන දෙදින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි.

බංගලාදේශය, මාලදිවයින, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාවේ පාලක මණ්ඩල නියෝජනය කරමින් සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි වී සිටි අතර භූතානය, ඉන්දියාව සහ නේපාලය යන රටවල පාලක මණ්ඩල සාමාජිකයින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊට එක් විය.

සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් 2023 වසරේදී ක්‍රියාත්මක කළ සාර්ථක වැඩසටහන් පිළිබඳ එහි අධ්‍යක්ෂ රේණුකා ඒකනායක විසින් මෙහිදී පැහැදිළි කළ අතර 2024 සඳහා යෝජිත වැඩසටහන් ඇතුළත් පාලක මණ්ඩල වාර්තාව ද ඉදිරිපත් කරන ලදී.

රාජකීය ආසියාතික සංගමය සමඟ එක්ව සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්වීම, සාර්ක් කතා මාලාව, විශේෂ සාර්ක් දේශන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කැලණිය විශ්වවිද්‍යාලය සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වැනි ආයතන සමඟ හවුල්කාරිත්වයෙන් යුත් විශේෂ සාර්ක් දේශන සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සහයෝගයෙන් සාර්ක් චිත්‍රපට දිනය පැවැත්වීම වැනි සහයෝගීතා වැඩසටහන් 2023 වර්ෂයේදී සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කර තිබෙන අතර එම ක්‍රියාකාරකම්වල සාර්ථකත්වය පාලක මණ්ඩලයේ පැසසුමට ලක් විය.

2024 වසර සඳහා යෝජිත වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සඳහා මෙහිදී ඒකමතික අනුමැතිය හිමි වූ අතර ඒ සඳහා පූර්ණ සහාය ලබාදෙන බවට සාමාජික රටවල් එකඟ විය.

කොරෝනා වසංගතය හමුවේ යළි නැඟී සිටීමෙන් පසු සාර්ක් කලාපය පුරා සංස්කෘතික පුනර්ජීවනයේ විචිත්‍රවත් වසරක් බවට 2024 වර්ෂය පත් කිරීමට සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය මෙමඟින් අපේක්ෂා කරයි.

2009 වර්ෂයේ පිහිටුන ලද සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සාර්ක් කලාපීය රටවල සංස්කෘතික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාත්මක වේ.

පාලක මණ්ඩල සාමාජිකයන් වන බංගලාදේශයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් (පරිපාලන) එම්ඩී මිසනුර් රහ්මන් (Md. Mizanur Rahman), භූතානයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරී ට්ෂෙරින් චොකී (Tshering Choki), ඉන්දීය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සංස්කෘතික සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ යෂ් වීර් සිං (Yash Veer Singh), මාලදිවයිනේ භාෂාව, සංස්කෘතික හා උරුමය පිළිබඳ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ෂමුන් හමීඩ් (Shamun Hameed), නේපාලයේ සංස්කෘතික, සංචාරක සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ ඒකාබද්ධ ලේකම් ආචාර්ය සුරේෂ් සුරස් ශ්‍රේෂ්තා (Dr. Suresh Suras Shrestha), පාකිස්තානයේ ජාතික උරුමය සහ සංස්කෘතික අංශයේ ලේකම් හුමයිරා අහ්මඩ් (Humaira Ahmed) සහ ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන නිලධාරීහු මීට එක්ව සිටියහ.

හිටපු පාලක මණ්ඩල සාමාජිකයන් මෙන්ම, නේපාලයේ කත්මණ්ඩු නුවර සාර්ක් මහලේකම් කාර්යාලයේ අධ්‍යාපන, ආරක්ෂක සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ඉරෝෂා කුරේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාර්ක් කලාපීය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ටී. පී. ධර්මසේන ද සහභාගී විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division