කාංචනා කුමාරි දොඩංගොඩ වෘත්තියෙන් ගුරුවරියකි. ඇය නවකතාකරණයට එළැඹෙන්නේ මකරන්ද දඩයම නවකතාව රචනා කරමිනි. ඈ තමා විවිධ අවස්ථාවල වින්දනය කරන අත්දැකීම් ස්වකීය නිර්මාණකරණය සඳහා යොදා ගන්නේ යම්කිසි සවිඥානික සමාජයක් ඇති කිරීමේ අභිලාෂය පෙරදැරි කර ගනිමිනි. කාන්තාව මුහුණ දෙන විවිධ සමාජ ගැටලු ගැන නිරන්තරයෙන් සිය ලේඛනයෙන් විවිධ මාන ඔස්සේ සාකච්ඡා කරන ඇය සංවේදී මිනිස් සිතිවිලි පිළිබඳ සිය බලාපොරොත්තු දල්වා සිටින්නී ය.
සිය හෘදය සාක්ෂියට එකඟ වූවන් වෙනුවෙන් පෙළ ගැසෙන ගිරි හිස ඉඳුවර නවකතාව ඔස්සේ ඇය සිය කම්පන පරාස පාඨකයා වෙත මුදා හරින්නේ කුතූහලාත්මක කතන්දරයක දවටමිනි. මේ ගිරි හිස ඉඳුවර නවකතාව ගැනත් ඇගේ සමස්ත නිර්මාණ වපසරිය පිළිබඳවත් කළ කෙටි සංලාපයෙකි.
ඔබේ සමස්ත නිර්මාණකරණය දිහා බැලුවාම පේන කාරණයක් තමයි ඔබ ලියන්නේ යම්කිසි සමාජ ශෝධනයක බලාපොරොත්තුව හිතේ තියාගෙන කියලා. නවකතාවකින් සමාජ ක්‍රමයක යම් වෙනසක් කරන්න පුළුවන්කමක් තිබේ යැයි ඔබ සිතනවාද?
ලෝක සාහිත්‍ය ගැන විමර්ශනාත්මක ලෙස බැලීමේදී මනුෂ්‍ය සංහතියේ යහපැවැත්මට පොතපෙත් ලැබී ඇති රුකුල අතිමහත්. පතපොත කියවන මිනිසා ඇතුළත, එය පරිශීලනය නොකරන්නාගේ නොතිබෙන යම් සංවේදී බවක් හෝ දැකිය හැකි යැයි මා හිතනවා.
විප්ලවීය නවකතාකාරියක වීමේ බලාපොරොත්තුවක් මට නැහැ. එහෙත් අත්දැකීම් සහ රාමුවෙන් පිට සිතීමට වන මගේ පෙලඹවීමෙන් මගේ පොතක් කියවන්නාගේ සිතේ යම් කිසි වෙනසක් ඇති කිරීමට පුළුවන් නම් මම කැමැතියි. ඔහු හෝ ඇය හුදු රසවින්දනය පමණක් ම නොව, මගේ පොතක් කියවීමෙන් පසු චින්තනයේ වෙනසක් ඔහුගේ හෝ ඇයගේ සිදු වේ නම් මා එයට කැමතියි. කීප දෙනකු හෝ එසේ සිතීමෙන් සමාජමය වෙනසක් අල්ප වශයෙන් හෝ සිදු වෙන්නට පුළුවන්. එවිට එය යම් පමණකට සමාජ ක්‍රමය වෙනස් කිරීමක්.
කාන්තා පාර්ශ්වය ගැන ඔබ නිරන්තර අවධානය යොමු කරනවා සහ ඔවුන්ට ඔබ යම්කිසි සාධාරණයක් ඉෂ්ඨ කරන්න උත්සාහ කරන වගක් ඔබේ නිර්මාණ ඇසුරේ අපට පෙනෙනවා?
මොන සංස්කෘතියක් දිහා බැලුවත් කාන්තාව අසාධාරණයේ විශාල පංගුවකට හිමිකම් කියනවා. ඒ ගැන මම විශේෂයෙන්ම අවධාරණය කරන්නේ ඒ නිසයි. එතැනදී ඇය අපේක්ෂා කරන දිරිගැන්වීම් හෝ එතනදී ඇයට අවශ්‍ය පිටිවහල පවුලෙන් හෝ සමාජයෙන් අවංකවම සිදුවීමක් වෙන බවක් බොහෝ විට අපට පෙනෙන්නේ නැහැ.මා කම්පනයට පත් කරන්නේ මෙන්න මේ කරුණයි.
කුතූහලාත්මක අවසානයකට හා ගොඩනැඟීමකට යන්න ඔබ නිරන්තරයෙන් උත්සාහ දරනවා. ඒගැන?
පොතක් කියවීමට උනන්දු වන සාමාන්‍ය පාඨකයා, නීරස, දියාරු, එක තැන පල් වෙන, ගලා යෑමක් නැති පොත් ඉවතලනවා. එවිට ලියන්නාගේ අභිමතය ඉටු වෙන්නේ නැහැ. ඉතින් ඕනෑම කතාවකට කුතූහලයක් එක්වීම එය වැඩි වැඩියෙන් පාඨකයන් අතරට යාමට රුකුලක් යැයි මා සිතනවා.
ගිරි හිස ඉඳුවර හෘදය සාක්ෂියට එකඟ වූවන් වෙනුවෙන් කතා කරනවා. ඔවුන්ගේ ජයග්‍රහණය ගැන ආඛ්‍යානය ගොඩනඟනවා. චරිත ගොඩනැඟීමේදී කළු හා සුදු අන්ත දෙක ස්පර්ශ කෙරෙනවා. නිර්මාණකරණයේදී එවැනි රේඛාවක් අඳින්න පුළුවන්ද?
ඇත්තෙන්ම අමාරුයි. මා හිතන්නෙ නෑ එහෙම. අප කා ඇතුළතත් කළු හා සුදු සම්මිශ්‍රණය වූ අළු පාටක් තමයි තියෙන්නේ. මම වගේම ඔබත් එහෙමයි. ගිරිහිස ඉඳුවර හි ලාමි දෙස බලන්න. ඇය අළු පාට චරිතයක් වුණත් අවසානයේදී ඇගේ අනන්ත වූ බලාපොරොත්තු සහ තරගකාරී බව ඇය කළු පාටට වැඩිපුර තල්ලු කරනවා.
කාලිඩ් හොසෙයිනි, මයිකල් ඔන්ඩච්චි පමණක් නොව චිංගීස් අයිත්මාතොව් පවා ඔවුන්ගේ කෘති ඇතුළත මෙවැනි රටා මවනවා. චරිත, අවසානයේදී එක පැත්තකට වැඩිපුර තල්ලු කරනවා. පොතපතේදී එසේ කළ හැකියි. එයම නොවේ ද යථාර්ථය?
එහෙත් සිනමාව, නාට්‍ය මෙන්ම ලේඛනයේදී ද අප යථාර්ථයට ඔබ්බෙන් සිටිය යුතුයි. මන්ද යත් එය ජීවිත කාලයක සිදුවීම් හෝ දිගු කාල පරාසයක සිදුවන බොහෝ ජවනිකා එක මිටට ගෙන නිමවන්නක් බැවින්.
සමස්තයක් වශයෙන් ඔබ ලියන්නේ කාටද?
මා ලියන්නේ කතාන්දර කියවීමට අසා කරන අය වෙනුවෙන්. එ් ඔස්සේ ජීවන ගමන් මඟට කුමක් හෝ ගුණාංගයක් එක් කර ගන්නා අය වෙනුවෙන්. එවැනි පාඨකයන් බලාපොරොත්තුවෙනුයි මම ලේඛනයේ, නිර්මාණකරණයේ නිතර වෙන්නේ.
මා සිටින්නේ ද මානව වර්ගයා වෙනුවෙන් හදවත් වීණාවේ එක් තතක් හෝ කම්පනය වන සංවේදී මිනිසුන් සමඟයි. විෂමාචාරවලින් පිරුණු මේ ලෝකය තවමත් පවතින්නේ එවන් සංවේදී හදවත් ඇති සැබෑ මිනිසුන් නිසා. මා ලියන්නේ ඔවුනටයි.
සුමුදු චතුරාණී ජයවර්ධන