Home » ගෝලීය උණුසුම මෙපමණ වැදගත් ඇයි?

ගෝලීය උණුසුම මෙපමණ වැදගත් ඇයි?

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment

ලංකාවේ ජනතාව අලුත් මාතෘකා දෙකක් ගැන 1980න් පසු කතා කරන්නට පටන් ගත්හ. ඉන් පළමුවැන්න globalization හෙවත් ගෝලීයකරණයය. දෙවැන්න climate change හෙවත් කාලගුණ විපර්යාසය ය. Globalization පටන් ගන්නේ සන්නිවේදනය සහ ගමනාගමනය හේතුවෙනි. ලෝකයේ ගමනාගමන ක්‍රම දියුණු වීම නිසා එක රටකින් තවත් රටකට යෑම වහා කළ හැකි විය. එසේම සන්නිවේදනය දියුණු වීම නිසා එක රටක සිදු වන දේවල් තප්පර කිහිපයකින් මුළු ලෝකයටම දැන ගැනීමට හැකි විය. මෙය හඳුන්වන ලද්දේ පෘථිවිය විශ්ව ගම්මානයේ ග්‍රාමසේවක කොට්ඨාසයක් බවට පත්වීමක් ලෙසය.

එනම් පෘතුවිය තවදුරටත් කුඩා විය. ලංකාවේ අල්ලපු ගෙදර බවට ඉන්දියාව පත් වූ අතර එංගලන්තය යනු අනෙක් ග්‍රාම සේවා වසමක පිහිටි ගොඩනැඟිල්ලක් විය. කාලගුණ විපර්යාසය යන කාරණයෙහි ප්‍රමුඛතම සංරචකය වූයේ ගෝලීය උණුසුමය. මේ කාරණය සම්බන්ධයෙන් තිස් අවුරුද්දකට වැඩි කලක් තිස්සේ විවිධ සමුළු පැවැත්වෙයි. විවිධ ප්‍රායෝගික පියවර ගැනීම් සිදු වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා සහභාගී වූ ඩුබායි කාලගුණ සමුළුව ද එවැන්නකි. කාලගුණය යනු අපේ ජීවිතය සඳහා වඩාත්ම වැදගත් වන උපකරණය වේ. ඔක්සිජන්, පරිසරය, ගංගා ඇල දොළ අව්ව සහ වැස්ස යන සියල්ලම කාලගුණයට යටත්ය.

ලෝක විනාශය සිදු වන්නේ කවදා ද? මේ ප්‍රශ්නයට එක එල්ලේ උත්තරය දීමට නොහැකි නමුදු ලෝක විනාශය පටන් ගත්තේ කවදා ද යන කාරණයට උත්තරයක් ඇත. ලෝක විනාශය පටන් ගන්නා ලද්දේ ශිෂ්ටාචාරය ඇරඹුණු දවසේය. ශිෂ්ටාචාරගත වූ ජනයාට වාසස්ථාන සහ උණුසුම අවශ්‍ය විය. මෙයට අවුරුදු දස දහසකට පෙර අවසන් වූ මහා හිම යුගයෙන් පසු ලෝකය මහත් සේ සීතල විය. එක් වකවානුවක ලංකාව පවා අයිස්වලින් වැසී තිබූ බවට සාධක තිබේ. අයිස් සමඟ ජීවත් වෙන මිනිසාට උණුසුම අත්‍යවශ්‍යය. ඒ සඳහා ඔහු වැඩි වැඩියෙන් ගින්දර පරිහරණය කළේය. ගින්දර නිකන්ම පත්තු නොවේ. ඒ සඳහා ඉන්ධන අවශ්‍යය ය. පෙට්‍රෝලියම්, ගල් අඟුරු, ගෑස් හෝ ජල විදුලිය නමැති ශක්ති ප්‍රභව සොයා ගෙන නොතිබූ අවුරුදු දහස් ගණනකට පෙර යුගයේදී උණුසුම ලබා ගැනීම සඳහා ගින්දර පත්තු කිරීමට දර යොදා ගන්නා ලදි. දර සඳහා ගස් කැපිය යුතුය. මනුෂ්‍ය ශිස්ටාචාරය වික්ටෝරියානු යුගය ද පසුකර ඉදිරියට ගිය එක් අවස්ථාවකදී ලෝකයේ පළමුවන කාර්මික විප්ලවය ඇති විය.

මෙහිදී ගල් අඟුරුවලින් දිවෙන යෝධ යන්ත්‍ර සූත්‍ර සහිත කම්හල් ලෝකය පුරා ඉදි කරන ලදි. මේ කම්හල් මඟින් ලෝකයේ පළමුවන මිනිසා විසින් සාදන ලද කාබන් මොනොක්සයිඩ් තොගය අහසට මුදා හරින ලදි. ටික කලක් ගත වන විට මේ කාබන් මොනොක්සයිඩ් තොගය මහත්සේ වැඩිවී පෘථිවිය වටා ඇති ඕසෝන් ස්ථරයේ හිලක් හට ගත්තේය. පෘථිවිය හටගත් අවස්ථාවේදී ඒ වටා වායුගෝලයක් තිබුණේ නැත. පෘථිවියේ ජීවයට තුඩු දුන් මේ අගනා වායුගෝලය සකස් කර ගන්නේ පෘථිවිය විසින්මය. එනම් පෘථිවිය හටගත් පසු ඒ මත හටගත් විවිධ භෞතික ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ වායු වර්ග නිකුත් වීමට පටන් ගත්තේය. ඔක්සිජන් ඇතුළු එම වායු වර්ග පෘථිවියෙන් ඉහළ සැතපුම් බොහෝ ගණනක් ඈතට ගොස් පෘථිවිය වටා කවරයක් මෙන් තැන්පත් විය. වර්තමාන පෘථිවි තලයේ ඇති කම්හල් හා වෙනත් දහන හේතුවෙන් නිකුත් වන කාබන් මොනොක්සයිඩ් නිසා මේ වායුගෝලය දිනපතාම දූෂණය වීමට පටන් ගනී. එසේම පරිසරය ද උණුසුම් වේ. එවිට හිම කඳු දියවන අතර පෘථිවිය ඉතාම වේගයෙන් උණුසුම් වීමට පටන් ගනී.

පහුගිය මාස හතරම ලංකාවට වැස්සේය. යල සහ මහ යන කන්න දෙක මේ වන විට විතැන් වී තිබේ. මේ නිසා ගොවිතැන අර්බුදයකට මුහුණ පා ඇත. මහා පොළොව ස්වාභාවිකව විනාශ වන අවස්ථාවේදී සූර්යයා සුපර් නෝවාවක් බවට පත්වන බැවින් එමඟින් හට ගන්නා අධික උණුසුම නිසා මහා සාගර උතුරමින් බුබුළු දමනු ඇතැයි බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ සඳහන් වේ. එසේ වන්නේ තව අවුරුදු බිලියන ගණනකට පසු ස්වාභාවික ක්‍රමයට ලෝක විනාශය සිදුවෙද්දීය. එහෙත් ගෝලීය උණුසුම දවසින් දවස වර්ධනය වන විට අස්වාභාවික ක්‍රමයකට ලෝක විනාශය සිදු වේ. සියලු හිම කඳු දිය වී සාගර ජල මට්ටම් ඉහළ යයි. හිම කඳු දිය වීම නිසා හට ගන්නා අධික උණුසුම නිසා සියලු ගහ කොළ මිය ගොස් මිනිස්සු ද සත්තු ද විනාශ වෙයි. ලෝකය සදාකාලික නැති බව ඇත්තකි. මේ සියලු දේ දිගුකල් නොපවතින අස්ථිර දේය. එහෙත් ගත කරන කෙටි ජීවිත කාලය තුළදී හිරිහැරයක් නැතිව ජීවත් වීමේ අයිතිය මිනිසුන්ටත් සත්තුන්ටත් ගහකොළවලටත් තිබේ.

වැඩිවන ගෝලීය උණුසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙයට අවුරුදු කිහිපයකට පෙර මාලදිවයිනේ එවකට සිටි ජනාධිපති සමුළුවක් පැවැත්වීය. එම සමුළුව පවත්වන ලද්දේ මාලදිවයිනේ මුහුදු පතුලේය. ඔක්සිජන් සහිත ආරක්‍ෂිත මුහුණු පැලඳ ගත් ජනාධිපති ද සෙසු නියෝජිතයෝ ද මුහුදු පතුලේ සිට ඉලෙක්ට්‍රොනික පහසුකම් යටතේ අදහස් හුවමාරු කර ගත්හ. ගෝලීය උණුසුම මේ ආකාරයට තව අවුරුදු 50ක් තිබුණොත් මුහුදු මට්ටම ඉහළ යාම නිසා කොහොමටත් අපට සිදු වන්නේ මුහුදු පතුලේ ජීවත්වීමටය. හැබැයි ඒ සඳහා මසුන්ට හැර මනුෂ්‍යයාට කිසිදු පළපුරුද්දක් නැත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division