Home » ක්‍රිකට් පිටියේ රන් ස්වරය

ක්‍රිකට් පිටියේ රන් ස්වරය

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment

සුගතමුණි ඥානසිරි ගුරුතුමා පන්තියේ උගන්වමින් සිටියි. හතේ පන්තියේ ළමයෙක් පැමිණ ඥානසිරි සර් අතට පණිවිඩයක් දෙයි. පණිවිඩය කියැවූ ඥානසිරි සර් “ ඈපාසිංහ දැන්ම ගිහින් මිස්ටර් කන්දසාමිව හම්බ වෙන්න.” කියා කීවේය. ඈපාසිංහට එකවර කිසිවක් සිතා ගැනීමට නොහැකි වෙයි. ඔහු නාලන්දාවේ එවක ක්‍රිකට් ක්‍රීඩාව භාරව සිටි කන්දසාමි සර් හමු වෙන්නට යන්නේ දෙගිඩියාවෙනි. ඊයේ තමා නිවාසාන්තර ක්‍රිකට් තරගයේදී ක්‍රීඩා කළ අයුරු ඈපාසිංහගේ මනසේ සිතුවම් සේ මැවෙන්නට වෙයි.

එදා මැවුණු සිතුවම් ගැන අද අප හා ස්මරණය කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ රන් ස්වරය නමින් ආදරයෙන් බොහෝ අය හඳුන්වන ප්‍රේමසර ඈපාසිංහ ය.

මට ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ. චන්ද්‍ර, සූර්ය නිවාස දෙකේ සාමාජිකයන් මාර ගස් පෙළ යට වෙන වෙනම රොද බැඳිලා බලාගෙන ඉන්නවා. මම චන්ද්‍ර නිවාසයේ. ටෙරී, පිටියේ ක්‍රීඩකයන් සකස් කරනවා. ඒ විදියට පිටියේ ක්‍රීඩකයන් සූදානම් කරලා තමයි ටෙරී වේගයෙන් දුවගෙන ඇවිල්ල විදුලි වේගයෙන් ‘ෆුල් ටොස් ’ පන්දුවක් දැම්මෙ. මම කිසිම පැකිළීමක් නැතුව මගේ පා ඉන්න පැත්තට යන්න ඒ පන්දුවට පහරක් එල්ල කළා. පිත්තේ නිසි ආකාරයෙන්ම වැදුණ පන්දුව මම අලුත් ද? ක්‍රිකට් ගහලා නැද්ද කියලා බැලුවේ නෑ. පිත්තේ හරි තැන වැදිලා වේගය උරාගෙන විදුලි වේගයෙන් හතරේ සීමාවට දිවගෙන ගියා. ඒ පහරත් එක්ක මට දුවන්නවත් ඉඩක් තිබුණේ නැති තරම්. යසපාල එහා පැත්තේ ඉඳන් කලබල වෙන්ඩ එපා කියනවා වගේ අතින් මට සංඥා කරනවා. ටෙරීගේ දෙවෙනි පන්දුව වැටුණේ පිට ඉන්න පැත්තෙන්. ඒකටත් මම අර වගේම දෑත බදලා ගහපු පහරට පන්දුව කිසිම බාධාවක් නැතිව හතරේ සීමාව පසු කළා. දැන් අපේ නිවාසේ කොල්ලෝ කෑගහනවා. ටෙරී මට ඔරව ගෙන ඔහුගේ සීමාවට ගියේ හිටපං උඹට දෙන්නම් කියනවා වගේ. තුන්වැනි පන්දුව වැටුණේ පිට ඉන්නට පිටතින්. යසපාල කියපු විදිහට මම ඒ පන්දුවට නිදැල්ලේ යන්න ඉඩ දුන්නා. හතරවැනි පන්දුව පිට ඉන්න දෙසින් මඳක් ඉහළට ඉපිලෙමින් මා වෙත ආවා. මම කිසි දෙයක් නොසිතා එයටත් වැරෙන් පහරක් එල්ල කළා. ක්‍රිකට් භාෂාවෙන් ඒ පහර ‘ස්ක්වෙයාර් කට්’ එකක් බව පසුව තමයි මම දැන ගත්තේ. දැන් පන්දු රකින ක්‍රීඩකයෝ නොසන්සුන් වෙලා.

“කවුද බං මූ? කෙහෙන් ආපු එකෙක්ද?” ස්ලිප් එක පැත්තෙ කතා වෙනවා මට ඇහුණා. ඒ කතාව අහපුවම මට පුංචි හිනාවකුත් ආවා. ඒ අතර යසපාල පිත්තෙන් මැට්න් එකට කොට කොටා මා දිහාවට ආවා.

“අයිසේ තමුසේ ක්‍රිකට් ගහලා නැහැ කිව්වා නේද?” යසපාල ඇහුවෙත් විමතියෙන් වගෙයි.

“ඔව්.” මම කෙටි උත්තරයක් දුන්නා.

“ එහෙනම් ඔය ගහන්නෙ. බලාගෙන හෙමින් ගහනවා.” කියලා ඔහු තමන්ගෙ සීමාවට ගියා. ඒ පන්දු වාරේ ඉතිරි පන්දු දෙක මම නිදැල්ලේ යන්න ඇරියා. තෙවැනි පන්දු වාරේදී යසපාල හුඟක් ප්‍රවේසමෙන් පන්දුවට මුහුණ දුන්නත් ඒක ඔහුට නරකට හිටියා. මොකද සුමිත්ගේ පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදිලා යසපාල පිටියෙන් ඉවත් වුණා. එදා ඇත්තට ම යසපාලගේ දිනය නෙමේ එදා මගේ දිනය වෙලා තිබුණෙ. අහම්බෙන් ක්‍රිකට් ගහන්ඩ ආපු මම අනෙක් සගයන් එක්ක එකතු වෙලා මගේ නිවාසෙට ලකුණු හැත්තෑ නමයක් ලබා දුන්නා. මගේ ලකුණුත් එක්ක අපේ නිවාසය මුළු ලකුණු 148 යි. තරගය අපි දිනුවා‘

කන්දසාමි සර්, ඈපාසිංහව කැඳවන්නේ ඒ ඉනිමේ ප්‍රතිඵලයක් ලෙස ය. තාත්තාත් අම්මාත් විතරක් ම සිටි ප්‍රේමසර හැමදාම හවසට කොළඹ විශ්වවිද්‍යාලෙ ක්‍රීඩා පිටියේ අයියලා සෙල්ලම් කරනු බලා සිටියේ ය. ටෙනිස් බෝලයක් ගෙන තනිව ම බිත්තියට ගසමින් හේ සෙල්ලම් කළේ හුදෙකලාවේ ය. එහෙම තනිව ම සෙල්ලම් කරමින් සිටි ප්‍රේමසරට නාලන්දා කණ්ඩායමට සෙල්ලම් කිරීමේ පදනම වැටුණේ පෙර ඔහු ස්මරණ කළ තරගයෙනි. කන්දසාමි සර් කියූ ගමන් ඒ නම එකල ක්‍රිකට් ක්‍රීඩකයන් අතර බෙහෙවින් ප්‍රචලිත ය. ඔහු නාලන්දාවේ ක්‍රිකට්වලට විශිෂ්ට සේවයක් කරමින් නාලන්දාවෙන් ජාතික තලයට ක්‍රිකට් ක්‍රීඩකයන් පෙළක් හඳුන්වා දුන්නේ ය. ඈපාසිංහට ක්‍රිකට් වරම් උදා වෙන්නේ ඒ අනුව ය. එතැන් පටන් නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් හා ආරම්භක පිතිකරුවකු ලෙස ඈපාසිංහ කටයුතු කළේය. ඈපාසිංහ 28 වන ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමයට ක්‍රීඩා කළ අතර, ගාමිණී ජයවික්‍රම පෙරේරා, මිත්‍ර සිරිවර්ධන ඔහුගේ නාලන්ද ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් විය. සැරසන්ස් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෙරී ගුණරත්න ඈපාසිංහ ක්‍රිකට් ක්‍රීඩා කළ අවදියේ පුහුණුකරු ලෙස කටයුතු කළේය. සැරසන්ස් කණ්ඩායම, බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා NCC ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට ඈපාසිංහ හට ඉන් අවස්ථාව උදා විය. එහෙත් දීර්ඝකාලීනව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට ඈපාසිංහට අවස්ථාව උදා වෙන්නේ නැත. ඔහුගේ මහප්පා නිරත ම කියන්නට පුරුදුව සිටියේ

‘කිරිකස් ගහලා වැඩක් නෑ පුතේ, ඉගෙන ගනින්… ආයෙත් විභාගෙ කරපන්…‘ කියාය.

පළමුවර විශ්වවිද්‍යාලයට නොතේරෙන ඈපාසිංහ දෙවැනි වරට නැවතත් විභාගය කරන්නේ මහප්පාගේ පෙලඹවීම නිසා ය. දෙවැනිවර විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සම්පූර්ණ කරන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙයි. එහිදී ඔහු සිංහල, ඉංග්‍රීසි, ඉතිහාසය හා අධ්‍යාපන විද්‍යාව යන විෂයයන් හැදෑරුවේය. පාසලෙන් සමුගත් පසුත් ක්‍රිකට් ක්‍රීඩාව අමතක නොකළ හේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක සාමාජිකයකු ද විය. විශ්වවිද්‍යාල සමයේදී ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා නොවී මේස පන්දු ක්‍රීඩාවෙන් ද දක්ෂතා පෙන්වමින් විශ්වවිද්‍යාලයේ මේස පන්දු ශූරයා බවට පත් වෙන්නේ ද ප්‍රේමසර ඈපාසිංහ ය.

විශ්වවිද්‍යාල සමයේ ම හේ 1958 දී ඉංග්‍රීසි උප ගුරුවරයකු ලෙස කටයුතු කළේ කොළඹ මහානාම විද්‍යාලයේ ය. එවකට එම විද්‍යාලයේ සිටි මුල්ම ඉංග්‍රීසි ගුරුවරයා වන්නේ ද ඈපාසිංහ ය. ඒ අතරේ ඔහු ලේක්හවුසියට බැඳෙන්නේ වාර්තාකරුවකු ලෙස ය. උදේ පාසලේ උගන්වා හවස ලේක්හවුසියට එන ඈපාසිංහ එහි පුවත් වාර්තාකරණයේ නිරත වෙයි. එම්. ඒ. ඩී. සිල්වා, සිසිල් ග්‍රැහැම්, එල්මෝ ගුණරත්න, ඩී. සී. රණතුංග, මීමන ප්‍රේමතිලක, එස්. සුබසිංහ, විමලසිරි පෙරේරා වැනි පුවත්පත් කලාවේ දැවැන්තයන් ඇසුරු කරන්නට එහිදී ඔහුට ලැබිණි.

‘ඒකාලේ තමයි ප්‍රථමවරට ඕවල් පිටියෙදි විදුලි ආලෝක පාපන්දු තරගෙ පැවැත්වුවෙ. ඒකාලේ නාගරික මන්ත්‍රීවරයකුව සිටි ආර්. ප්‍රේමදාස තමයි මේක ආරම්භ කළේ. ප්‍රේමදාස මහත්තයා මාව ලේක්හවුස් එක ගාවින් එයාගෙ කාර් එකෙන් ඇවිත් දාලා යනවා. මම ඕවල් පිටියෙ තරගෙ විස්තරේ ලියලා දීලා පයින් ම කොල්ලුපිටියේ මගේ බෝඩිමට යනවා. මගේ මාධ්‍ය ජීවිතයේ විවිධ පැති ඒ ඔස්සේ වර්ධනය කරගන්න අවස්ථාව ලැබුණා. මම පන්නරය ලැබුවෙ ලේක්හවුසියෙන්‘

විශ්වවිද්‍යාල දේශන සඳහා ඔහුට බොහෝවිට සම්බන්ධ වීමට ලැබෙන්නේ නැත. එහෙත් සිය ගුරුවරයා වූ මහාචාර්ය විනී විතාරණ පවත්වන සවස්වරු පන්තිවලට ඔහු නොවරදවා සහභාගී විය. ඒ ඇසුරෙන් ලද ආභාසය ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට නව සිංහල වදන් රාශියක් හඳුන්වා දීමේ මාර්ගය විවර කරන්නට ඇත.

ඒ අතරේ ඈපාසිංහට ගුවන් විදුලියේ දොරටු විවර වෙන්නේ නන්දා ජයමාන්නගේ ආරාධනයෙනි. එකල සන්ධ්‍යා සේවය භාරව සිටියේ ඇය ය. ප්‍රේමසර ඈපාසිංහ ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස කරළියට එන්නේ ඒ අනුවය. ඒ පිටුපස ලිවී වි‍ෙජ්මාන්නගේ යෝධ සෙවණැල්ල ද වෙයි. ඒ අතරේ 1971 දී පළමුවෙන් රාජකීය තෝමස් නිල් මහ සටන සිංහල විස්තර විචාරය කිරීමට ඈපාසිංහට අවස්ථාවක් ලැබෙයි. පාලිත පෙරේරා, අමරබන්දු රූපසිංහ සහ තිලක සුධර්මන් සිල්වා ගුවන් විදුලියෙන් ඒ සඳහා නම් කර සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විය. ඒ අතරේ ආධුනිකයකු වූ ඈපාසිංහට රාජකීය තෝමස් නිල් මහ සටන විචාරය කරන්නට ලැබීම ඔහුගේ ජීවිතයට නව මානයක් සටහන් කරන්නේ ය.

“එයාලට ඕන වුණේ ඕවල් එකේ ක්‍රිකට් ගහපු කෙනෙක් ව මේකට සම්බන්ධ කර ගන්න. මොකද එයාලට ඕන වුණා ඕවල් එකේ විකට් එක ගැන අහන්න. අනික් අය ක්‍රිකට් ගහපු අය නෙවෙයි. නන්දා මහත්මිය තමයි කිව්වෙ, ඕකට හොඳම එක්කෙනා තමයි ප්‍රේමසර, ඒ නිසා එයාව ගන්න විශේෂඥ විස්තර විචාරකයෙක් විදියට කියලා. කොටින් ම කියනවා නම් මාව උඩට ගත්තෙත් නෑ. මැච් එක පටන් ගන්න කලින් කරන විස්තරේට පෙර මට උඩට එන්න කියලා මෙහෙම කිව්වා. දැන් අපි ඔයාගෙන් මේකෙ විකට් එක ගැන අහනවා. ඔයා මේකෙ සෙල්ලම් කරලා තියෙනවානෙ කියලා. මම උඩට එන්න කලින් ගිහින් විකට් එක බලලා තිබුණෙ. අමරබන්දු රූපසිංහ මගෙන් ඇහුවා, ‘ඈපාසිංහ, මේ විකට් එක කොහොමද‘ කියලා. මම කිව්වා, මේ විකට් එකේ බැට් කරන ක්‍රමයක් තියෙනවා. බොහොම බුද්ධිමත්ව අපරික්ෂාකාරී පහර එල්ල නොකර පන්දුව එන එල්ලේ ම ගිහින් පන්දුවට පහර දෙනවා නම් පළවැනි ඕවර් 10දි ලකුණු 30ක් විතර අරගෙන ඊළඟට ලකුණු ගාණ වැඩි කරගන්න පුළුවන්. ක්‍රමවත්ව සැලැස්මක් ඇතිව පන්දුවට පහර දෙනවා නම් මේ විකට් එකේ දවසකට ලකුණු 400ක් හැංගිලා තියෙනවා කියලා. ඉස්සෙල්ලා රාජකීය විද්‍යාලය පන්දුවට පහර දුන්නේ. එයාලා විකට් 3ට 295ක් ගත්තා. තෝමස් එක එදා පැය එකහාමාරක් පන්දුවට පහර දුන්නා. එයාලා විකට් දෙකට 105යි. ගාණ කීයද….”

හේ මගෙන් ප්‍රශ්න කරන්නේ කුඩා දරුවකු මෙන් සතුටු සිනා නඟමිනි. සිය ස්මරණයේ සොඳුරු බවෙන් හේ මත් වී සිටියි. ලකුණු 400යි නෙ හරියට ම… මමත් එහි කොටස්කරුවකු වීමි.

ප්‍රේමසර ඈපාසිංහගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් වෙන්නේ එතැනිනි.

“මට ගුවන් විදුලියේ සභාපති ලිවී විජේමාන්න මහත්තයා කතා කරලා ඇහුවා Apasinha, Are you a Magician කියලා. මොකද මම කලින් කිව්වනෙ ලකුණු 400ක් මේ විකට් එකේ තියෙනවාද කියලා. එදා පටන් ගත්ත මේ විස්තර ප්‍රචාරය 2016 වෙනකම් මම දිගටම කළා. දැන් අවුරුදු 60ක් විතර.”

එතැනින් නොනැවතුණු ඈපාසිංහ ශ්‍රී ලංකා පාකිස්ථාන ටෙස්ට් තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස 1985දී පාකිස්ථානය බලා පිටත්ව ගියේය. එය ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ විදේශයේ සිට සජීවී විස්තර විචාරය ගෙන ආ ප්‍රථම අවස්ථාවයි.

1982 දී පළමු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයේ විස්තර විචාරය සිදු කිරීමේ අභිමානය ඇත්තේ ද ඔහු සතුව ය. ප්‍රේමසර ඈපාසිංහ නම් සොඳුරු විස්තර විචාරකයා ශ්‍රී ලංකාවේ සියවන සහ එකසිය පනස් වන ටෙස්ට් ක්‍රිකට් තරගවලදී ද විස්තර විචාරය කර තිබීම සුවිශේෂී වේ.

එදා සිට මේ දක්වා හේ බටහිර ඉන්දීය කොදෙව් හැර අනෙක් සියලුම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වෙත ගොස් ට්‍රේවර් බේලි, පීටර් බැස්ටර්, බ්‍රයන් ජොන්සන්, රිචී බෙනොඩ්, ටෝනි ග්‍රේග් වැනි විචාරකයන් සමඟ විචාරක මැදිරියේ පෙනී සිට එම තරගවල උද්වේගය, තරගකාරිත්ව හා රසමුසු තැන් අසන්නන් හා ප්‍රේක්ෂකයන් වෙත ගෙන ආවේ ඔවුන් ඒ අවස්ථාව හා සජීවීව සම්බන්ධ වී සිටින තරම් සමීප කරවමිනි. එතැනින් නොනැවතෙන ඔහු නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩා‍යමේ පුහුණුකරු ලෙස ද කලක් කටයුතු කළේය.

ප්‍රේමසර ඈපාසිංහ කියන්නේ තමන්ගේ ජීවිතේ අමතක නොවන සිදුවීම ලෝක කුසලානය දිනූ දවස බව ය. විස්තර විචාරකයකුට තමන්ගේ රට කියා විස්තර විචාරයේදී පක්ෂපාතී විය නොහැකිය. එතැනදී ඔහු මධ්‍යස්ථ පුද්ගලයකු පමණකි. ඒ මොහොතට මුහුණ දුන් ආකාරය හේ සිහි කරන්නේ මෙලෙසිනි.

“ඒක බොහොම සංවේදී අවස්ථාවක්. බොහෝ හිතට සතුට ගෙන දුන්නත් ඒක පෙන්නන්න විදියක් නෑ. ලකුණු 242ක් එදා ඔස්ට්‍රේලියාව ගත්තා. අපි හඹා ගිහින් තමයි මේ ලකුණු ජයග්‍රහණය කළේ. මම බොහොම පැහැදිලිව කියන්න ඕන, අර්ජුන රණතුංග වගේ ක්‍රිකට් නායකයෙක් මේ කපේදී මේ රටේ බිහි වෙන්නෙ නෑ. අභියෝග භාර ගන්න නායකයො අද නෑ.”

ඔහුගේ දිවිසැරිය ඔප කළ ලිවිසැරිය මෙවැනි කුඩා ලිපියකට ලඝු කළ නොහැකි තරම් විසල් ය. එබැවින් මේ සියලු විස්තර කියවා ගත හැකි පොතක් දැන් නිකුත් වී තිබේ. පොතේ නම ‘ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය ප්‍රේමසර ඈපාසිංහ’ යි. මේ අපදාන කෘතිය රචනා කරන්නේ මාධ්‍යවේදී අතුල රංජිත් වෙදමේස්ත්‍රී ය. ප්‍රේමසර ඈපාසිංහ චරිතයේ ගොඩනැඟීමට සමගාමී ව මෙහි ව්‍යංගාර්ථ්‍යවත් පෙළ ගැස්ම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ය. නැතිනම් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දශක හයක මතක සිත්තම් ය.

ක්‍රීඩා පිටියක උද්වේගය මනසේ සිත්තම් කිරීම පහසු කරුණක් නොවේ. හේ දශක හයක් තිස්සේ තම ජීවිතයේ වැඩි කාලයක් කැප කළේ ප්‍රේක්ෂක රසික හදවත්හි ක්‍රිකට් ක්‍රීඩාවේ උණුසුම රඳවන්නට ය. ඒ උණුසුම් සේවාවට ලැබුණු තිළිණය ඔහුගේ මේ අපදාන කෘතියයි. එය ඔහුගේ කතාව පමණක් ම නොව මෙරට ක්‍රිකට් වංශ කතාවේ ඉතිහාසයේ පැතිකඩක් බැව් කියන්නට මැලි නොවෙමි.

ඡායාරූප – චින්තක කුමාරසිංහ

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division