Home » ගෙම්බන් මැඩියන් ගැන රතු එළියක්

ගෙම්බන් මැඩියන් ගැන රතු එළියක්

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

ගෙම්බන් ගැන ඔබ අසා ඇත්තේ මොනවාද? සුන්දර රජ කුමරියකගෙන් මිහිරි හාද්දක් ලැබූ ගෙම්බෙකු රාජ කුමාරයකු බවට පත් වූ සුරංගනා කතාව නම් කුඩා වියේදී නෑසු අයකු නැති තරම්ය. ගෙම්බන් ගැන අපි කවුරුත් දන්නේ ගෙම්බන් යනු තරමක් කරදකාරී සත්ත්ව කොට්ඨාසයක් බවය. පඳුරු සහ ගස් යට සැඟවී ජීවත් වන ගෙම්බන් අඳුරු වැටුණු පසු එහා මෙහා පනිමින් ගමන් කරන අතර, රාත්‍රියේදී මහ හඬින් කරන කෑගැසීම ද දෙසවනට ගෙන දෙන්නේ දැඩි පීඩාවකි. ගෙම්බන් සහ මැඩියන් ගැන කවුරුත් දන්නා කරුණු එසේ වුවද ඔවුන් ගැන කවුරුත් නොදන්නා සහ එතරම් උනන්දුවක් නොදක්වන කරුණු කාරණා රැසක් ඇත. ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සභාපති (2023), පරිසරවේදී ඉෂාන්ද සෙනෙවිරත්න විසින් කලකට පෙර රචිත ‘The Peeping Frogs of NuwaraEliya’ කෘතියෙන් එවැනි තොරතුරු රැසක් අනාවරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ උභය ජීවීන් විශේෂ 109ක් පමණ සිටින අතර විශේෂ 97ක් ශ්‍රී ලංකාවට ආවේණික බව පරිසරවේදී ඉෂාන්ද සෙනෙවිරත්න පවසයි. ගෙම්බන් පිළිබඳ මෙම අපූරු පර්යේෂණය ඔහු සිදු කරන්නේ ජෙට්වින්ග් හෝටල් සමූහයට අයත් ජෙට්වින්ග් සෙන්ට් ඇන්ඩෘෘස් හෝටලයේ නේවාසික පරිසරවේදී ලෙස කටයුතු කරමින් සිටි කාලවකවානුවේදීය. ස්වභාවධර්මයට මුල් තැනක් දී ඇති එම හෝටලය පිහිටි තෙත් බිම ගෙම්බන් විශේෂ 6කට සුවදායී තෝතැන්නක් වී තිබෙනු පරිසරවේදී ඉෂාන්ද ගේ නිරීක්ෂණයට ලක් විය. Montane Hourglass tree frog, Montane frog, Half-webbed Pug Snout frog, Small Eared Shrub frog, Horton Plains Shrub frog, Schmarda’s Shrub frog, Leaf Nesting Shrub frog සහ the Common House toad යන ගෙම්බන් නුවරඑළියෙන් හමුවූ බව පරිසරවේදී ඉෂාන්ද සඳහන් කළේය. වසර කිහිපයක් ජෙට්වින්ග් ඇන්ඩෘෘස් හෝටලයේ නේවාසික පරිසරවේදියා වශයෙන් කටයුතු කරමින් ඔහු විසින් උභය ජීවීන් සම්බන්ධයෙන් ලබාගත් ප්‍රවීණතාව “The Peeping Frogs of NuwaraEliya” කෘතියෙන් මනාව පිළිබිඹු වේ.

බොහෝ විට ගෙම්බන් නමින් පොදුවේ හැඳින්වුවද ගෙම්බන් සහ මැඩියන් ලෙස දෙවර්ගයකි. මැඩියන් සහ ගෙම්බන් අතර වෙනස්කම් ඇත. ගෙම්බාට සිනිඳු තෙත් සමක් ඇති අතර, එය සෙවල බවක් සහිතය. විශාල ඇස්, පසුපස දිගු කකුල්, දිගු උස පැනීම්, ඇලෙනසුළු දිගු දිවක් සහිත ගෙම්බා බිත්තර දමන්නේ පොකුරු වශයෙනි. මැඩියාට ඇත්තේ රළු, වියළි හා ගැටිති සහිත සමක් වන අතර, පසුපස කකුල් කුඩාය. ප්‍රමාණයෙන් මැඩියා ගෙම්බාට වඩා කුඩාය.

ගෙම්බන්ගේ ආයු කාලය වයස අවුරුදු දෙකේ සිට 15 දක්වා පමණ වේ. ගෙම්බන් සහ මැඩියන් උභය ජීවීන් වන අතර ඔවුන් අයත් වන්නේ වලිග රහිත උභය ජීවීන් කොට්ඨාසයටය.

ගෙම්බන්ගෙන් ඇති ප්‍රයෝජන මොනවාදැයි ඔබට සිතෙන්නට හැකිය. ගෙම්බන් ආහාර ජාලයේ වැදගත් අංගයක් වන අතර ඔවුන් විලෝපිකයකු ලෙස කටයුතු කරයි. ගෙම්බන් සිය ජීවන චක්‍රයේ මුල් අවස්ථාවක් වන ඉස්ගෙඩි අවස්ථාවේදී මදුරු කීටයන් ආහාරයට ගන්නා අතර, වැඩුණු ගෙම්බන් මදුරුවන් ආහාරයට ගනී. විශේෂයෙන් ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතින මෙවැනි වකවානුවක ඔබේ ගෙවත්තේ ගෙම්බන් සිටීම අත්‍යවශ්‍ය සාධකයකි. ඊට හේතුව ගෙම්බන් ඉස්ගෙඩි අවස්ථාවේදී මදුරු කීටයන් ආහාරයට ගැනීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය වන නිසාය.

ගෙම්බන් පරිසර පද්ධතියේ තත්ත්වය හඳුනා ගැනීම පිළිබඳ කදිම ජෛව දර්ශක ලෙස ද සැලකේ. ඊට හේතුව ගෙම්බන් පරිසරයට ඉතා සංවේදී සත්ත්ව කොට්ඨාසයක් වන නිසාය. එබැවින් ගෙම්බා පාරිසරික වෙනස්කම් හඳුනා ගැනීමට පරිසරවේදීන්ට සහ පර්යේෂකයන්ට නිහඬව උදව් කරන සත්ත්වයකු යැයි පැවසීම වරදක් නොවේ. පරිසරයට එවැනි නිහඬ සේවයක් ඉටු කළද ගෙම්බන්ගේ පැවැත්මට ඇති තර්ජන බොහෝය. විශේෂයෙන් කෘෂිකාර්මික ප්‍රදේශවල සිටින බොහෝ ගෙම්බන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. පරිසරවේදී ඉෂාන්ද සෙනෙවිරත්න කෘෂි කර්මාන්තය පදනම් වූ ප්‍රධාන නගරවලින් එකක් වන නුවරඑළියේදී මේ තත්ත්වය මනාව අධ්‍යයනය කර ඇත. රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක භාවිතය ගෙම්බන්ගේ පැවැත්මට හානිකර බැවින් නුවරඑළියේ ගොවීන් කාබනික වගාවට යොමුකර වීම සඳහා ගෙම්බන්ට සුදුසු වගාවන් සිදු කරන ගොවියන් අතර තරගයක් පවත්වමින් ඔවුන් ඒ සඳහා දිරිගන්වනු ලැබිණි. පළිබෝධනාශකවලින් ගෙම්බන් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීම, ගෙම්බන් සඳහා වඩාත් සුදුසු වාසස්ථාන නිර්මාණය කිරීමට ප්‍රදේශවාසීන් දැනුම්වත් කිරීම සහ ගෙම්බන් සහ ඔවුන්ගේ වාසස්ථාන පිළිබඳ පර්යේෂණ තවදුරටත් දිරිමත් කළ යුතු බව ද පරිසරවේදී සෙනෙවිරත්නගේ අදහසයි. වේගවත් නාගරීකරණය හේතුවෙන් ද ගෙම්බන්ට විවිධ තර්ජනවලට මුහුණ දීමට සිදුවී ඇති බව පරිසරවේදී ඉෂාන්ද සෙනෙවිරත්න පැවසුවේය. ආගන්තුක, ආක්‍රමණශීලී ශාක සහ මසුන්, තෙත් ඉඩම් ගොඩකිරීම, වාහනවල හැපීමෙන්, ජල දූෂණයෙන් මෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ද ගෙම්බන්ගේ ගහනය අඩු විය හැකිය.

එහෙත් ගෙම්බන්ට හිතකර අයුරින් ගෙවතු වගාව සහ ගොවිතැන් කටයුතු සිදු කළ හැකි බව පරිසරවේදී ඉෂාන්ද සෙනෙවිරත්න පවසයි. විශේෂයෙන් ශාක සහ පඳුරු භාවිත කරමින් වැඩි සෙවණක් සහිත කුඩා පොකුණකින් සමන්විත ගෙම්බන්ට හිතකර උද්‍යාන නිර්මාණය කිරීම වැදගත් වේ. ලොව ජෛව විවිධත්ව උණුසුම් කේන්ද්‍ර අතරින් එකක් ලෙස නම් දරා ඇති ශ්‍රී ලංකාවට එම ස්ථානය හිමිකර ගැනීමට මෙරට ජීවත් වන උභය ජීවීන් ද විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවට එවැනි ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් ලෙස නම් කර ඇත්තේ එම සතුන්ට ඇති තර්ජන ප්‍රමාණයත් වැඩිවීම හේතුවෙනි. උභය ජීවීන් ජීවත් වන්නේ සීමිත බිම්කඩක පමණක් වන අතර, ලොව ඉහළම උභයජීවී ආවේණිකතාව සහිත රටවල් අතර ශ්‍රී ලංකාව පසු වන්නේ ඉහළම ස්ථානයකය. එහෙත් අවාසනාවකට මෙන් විවිධ හේතු නිසා සොබාදහමේ මෙම අමිල සම්පත මේ වනවිට ශීඝ්‍රයෙන් මෙරටින් තුරන් වෙමින් පවතී. එවැනි පසුබිමක් තුළ පරිසරවේදී ඉෂාන්ද සෙනෙවිරත්න තම කෘතිය තුළින් දෙස් විදෙස් දරු දැරියන්, සිසුන්, විද්‍යාර්ථීන්, වැඩිහිටියන් වැනි සමාජයේ විවිධ කොටස් තුළ උභය ජීවීන් පිළිබඳ උනන්දුවක් ඇතිකර එමඟින් උභය ජීවීන් සංරක්ෂණයට මඟ හෙළිකිරීමට ගෙන ඇති උත්සාහය අගනේය.

උභයජීවී පාදක සංචාරක කර්මාන්තය එනම්, ස්වාභාවික පරිසරයේ ඇවිදිමින් උභය ජීවීන් නැරඹීම සංචාරකයන් අතර ජනප්‍රියය. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වනජීවීන් ප්‍රධාන සංචාරක ආකර්ශනය කොටගත් සංචාරක ව්‍යාපාර ක්‍රියාත්මක වුවද උභය ජීවීන් පාදක කරගත් සංචාරණය ශ්‍රී ලංකාවට අලුත් සහ වෙනස් අත්දැකීමකි. එහෙත් ශ්‍රී ලංකාව ද උභය ජීවීන් නැරඹීමේ සංචරණයන් සඳහා හැඩගැසීම කාලීන අවශ්‍යතාවකි. එසේ වුවද එය කළ යුත්තේ ගෙම්බන්ගේ පැවැත්මට හානියක් නොවන අයුරින් බව පරිසරවේදී ඉෂාන්ද සෙනෙවිරත්න පැවසුවේය. රාත්‍රී කාලයේ ගෙම්බන් නැරඹීමට යෑමේදී අඩු බලයක් සහිත රතු ආලෝක ධාරාවක් නිකුත් කරන විදුලි පන්දම් පමණක් භාවිත කළ යුතු අතර අධි බලැති සුදු ආලෝකය උභය ජීවීන් වෙත එල්ල කිරීමෙන් එම සතුන්ගේ සම වියැළීමට ලක්වන බව ද ඔහු අවධාරණය කළේය. වඩාත් සංවිධානාත්මක ආකාරයෙන් මේ කටයුත්ත සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීම මඟින් ආර්ථික වාසි සලසාගත හැකි අතරම එමඟින් ලැබෙන දැනුම හා අවබෝධය උභය ජීවීන් සංරක්ෂණයට ද ඉවහල් කරගත හැකි බව ද ඔහුගේ අදහසයි.

සුරේකා නිල්මිණි ඉලංකෝන්,

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division