Home » මම කරන්නෙ රඟපාන එක විතරයි

මම කරන්නෙ රඟපාන එක විතරයි

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

– ධනුෂ්ක රඟපානකොට මම කැමරා කරනවා මම රඟපාන කොට ධනුෂ්ක කැමරා කරනවා
– අපි රසවිඳින ගමන් තවත් අයට රසවින්දනයක් ලබා දෙනවා

බත ඉදෙනකම් ඇතිවන නිවෙන පවුල් ප්‍රශ්න හැම ගෙදරකම තියනවා. අන්න ඒ ප්‍රශ්න හරිම රසවත් විදිහට විසඳගන්න විදිහත්, ඒ තුළින් සමාජ පණිවිඩයකුත් දෙන අපූරු විඩියෝ කීපයක් මේ දිනවල මුහුණු පොතේ ඉතාම ශීඝ්‍රයෙන් හුවමාරු වෙනවා. ඒ නිර්මාණයේ නිමැවුම්කරුවන් වන ලක්ෂිකා හිටිබණ්ඩාර සහ ධනුෂ්ක ලොකුමීගොඩගේ එක්ක රසඳුන අපි මේ විදිහට කතාව ආරම්භ කළා. මුලින්ම අපත් සමඟ කතාවට එක් වුණේ ධනුෂ්ක.

ලක්ෂිගේ ගම මහනුවර. මගේ ගම කිරිබත්ගොඩ. මම පාසල් ගියේ පමුණුවිල මහා විද්‍යාලයට. උසස් පෙළ කළේ වානිජ අංශයෙන්. ඊට පස්සේ මම වාසනා දන්තනාරයන මිස්ගෙන් මෝස්තර නිරූපණ ශිල්පය ඉගෙන ගත්තා. ඊටත් පස්සේ තමයි මමයි මගේ යාළුව මධුශංක පෙරේරායි මොඩ්ලින් ක්ලාස් එකක් සහ සැලුන් එකක් කරන්න හිතාගෙන නුවර ගියා. මම ඒ ක්ලාස් එකේ ඉගැන්නුවා. ලක්ෂි ඒ මොඩ්ලින් ක්ලාස් එකට ආව තුන්වන කණ්ඩායමේ ශිෂ්‍යාවක්. එතැනදී හමුවෙන අපි, 2013දී කසාද බැන්දා. ඒත් අපේ මංගල උත්සවය ගත්තේ ඊටත් අවුරුදු 7කට පස්සේ.

මම මොඩ්ලින් කරන කොට දමයන්ති සහ මාලනී ෆොන්සේකා මහත්මියන්ගේ සහෝදරයෙක්ගේ පුතෙක් වුණ අශාන් ෆොන්සේකාව අඳුනගන්න ලැබුණා. ඒ හරහා දමයන්ති මහත්මියව හඳුන ගෙන රංගනය ඉගෙන ගෙන එතුමිය එක්ක ගාස්තු කීයද සහ පරණ පිනක් යන වේදිකා නාට්‍ය දෙකක් කළා. පරණ පිනක් නාට්‍යයේ මම ප්‍රධාන චරිතය රඟපෑවා. ඊට පස්සේ සැන්ඩෝ හැරිස්ගේ වේදිකා නාට්‍යකත් රඟපෑවා. ඒ අතර ටෙලි නාට්‍ය කීපයකත් සුළු චරිත රඟපෑවා. මේ අතරේ මම ඉන්පාස් ඇකඩමියේ රංගන කටයුතු හැදෑරුවා. එතැනදී මට සද්ධාමංගල සූරියබන්ඩාර සර් සහ චේතනී මිස්ව හඳුනගන්න ලැබෙනවා .එයාලා මාව අග්නි පියාපත් සහ මෙගා ටෙලි නාට්‍යය කීපයක සුළු චරිතවලට සම්බන්ධ කරගත්තා. මේ අතර මම වෙළඳ දැන්වීම්වලත් රඟපෑවා.“

ඔය අතරේ ලක්ෂිත් අපේ කතාවට හවුල්වුණා.

“මගේ පළමු රැකියාව විදිහට රූපවාහිනී නාලිකාවක වැඩසටහන් නිෂ්පාදකවරියක් සහ සහාය නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. කාලයක් මම ශ්‍රී ටිවී, ස්වර්ණවාහිනී වගේ ආයතනවල නිදහස් නිවේදිකාවක් විදිහටත් වැඩ කළා. ඒ අතරම නිරූපණ ශිල්පිණියක් විදිහටත් කටයුතු කරන ගමන් වෙළඳ දැන්වීම් වලටත් පෙනී සිටියා. ඔය ඔක්කොම කරන ගමන් උත්සව කළමනාකාරිණියක් විදිහටත් කටයුතු කළා. ඒ කොහොම වුණත් ෆේස්බුක් එකේ අපි ජනප්‍රිය වුණේ ලොකු ප්ලෑන් එකක් ඔළුවේ තියාගෙන කරපු දෙයක් නිසා නෙමෙයි. කෝවිඩ්වලට කලින් අපි පොඩි පොඩි විඩියෝ හදලා ටික්ටොක් එකට දැම්මා. වෙනත් ඕඩියෝ ට්‍රැක්වලට අපි රඟපාන එක තමයි වැඩිපුරම කළේ. ඒ අතරේ තමයි පවුල් ජීවිතයේ සිදුවෙන එක එක සිද්ධි මුල් කරගෙන පොඩි පොඩි විඩියෝ හදන්න පටන් ගත්තේ. ඒ පටන් ගත්ත වැඩේ අද වෙනකම් කරගෙන යනවා“

ඒවට භාවිත කරන කතා තේමාවන් හොයා ගන්තේ කොහොමද කියලා ඇහුව ප්‍රශ්නෙට උත්තර දුන්නේ ධනුෂ්ක.

“හැම කතාවකම අයිඩියා එක ලක්ෂිගේ. එයා තමයි කතාව, දෙබස්, වේශ නිරූපණය, අධ්‍යක්ෂණය ඔක්කොම. මම නළුවෙක් විතරයි. වැඩේ කරලා ඉවර වුණාට පස්සේ තමයි මම දන්නේ කතාවේ හිනා යන කෑල්ල මෙන්න මේ කොටස කියලා.“

මේ පුංචි පුංචි කතා විඩියෝ කරන්නේ කවුද කියලා ඇහුව ප්‍රශ්නෙට උත්තර ලැබුණේ ලක්ෂිගෙන්.

“ධනුෂ්ක රඟපානකොට මම කැමරා කරනවා. මම රඟපාන කොට ධනුෂ්ක කැමරා කරනවා. අපි දෙන්නම ඉන්න අවස්ථාවලදී කැමරාව ස්ටෑන් කරලා තියනවා. සපෝට් එකක් ඕනෙම වුණොත් අපේ හයේෂි නංගි උදව් කරනවා. එයත් අපේ වැඩවලට සැහෙන සපෝට් එකක් දෙනවා. අපේ අඩුපාඩු කියලා දෙනවා. ඇඩ් වෙන්න ඕනේ ඒවා එහෙම එයා අපිට කියනවා.

අපිට මේ වෙනකොට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නේ ඒ ප්‍රතිචාර හරියටම දැනෙන්න පටන් අරන් තියෙන්නේ දැන්. එයාලගේ තියන ආදරය අපට දැනෙනවා. කොහේ ගියත් අපව දැක්ක ගමන් ඇවිත් කතා කරනවා. අපිත් එක්ක පිංතුර ගන්නවා. ඇත්තටම ඒක හරි සුන්දර ආදරයක්. ඒ ගැන නිහතමානී ආඩම්බරයක් සහ සතුටක් තියනවා“

විනෝදෙට ෆේස්බුක් එකේ මෙවැනි දේ කළාට ඔවුන්ගේ රැකියාව ඊට වෙනස් එකක් බව කිවුවේ ලක්ෂි.

“අපි අපේම ආයතනයක් ආරම්භ කරලා තියනවා L & D සිලෝන් හෝල්ඩිං කියලා. ඒකේ තියනවා L&D Beauty කියලා සේවාවක්. ඒකෙන් කරන්නේ රූපලාවණ්‍ය පිළිබඳ ඔන් ලයින් උපදේශනයක්. ඒක ලංකාවේ පටන් ගත්ත පළමු මාර්ගස්ථ රූපලාවණ්‍ය උපදේශන සේවය. ඒක ෆේස් බුක් එකේ Lucky beauty tips කියන නමින් තියනවා. ඒ වගේම මේ රූපලාවණ්‍ය උපදේශන සේවය කරන්නේ මම. ඕනෑම කෙනකුට තමන්ට තියන රුපලාවණ්‍ය ගැටලු වලට විසදුම් ලබා දීම සහ එයාලට අවශ්‍ය කරන උපදෙස් ලබා දීම තමයි සිදුකරන්නේ. මේ උපදේශන සේවාව අපි කරන්නේ සම්පුර්ණයෙන් නොමිලේ. ඒ වගේම අපේ රූපලාවණ්‍යාගාරයෙන් ඒ ගැටලු වලට සත්කාර කිරිමත් කරනවා. ඊට අමතරව අපේ ආයතනයෙන් සමාගම්වල සමාජ මාධ්‍ය හැසිරවීම, එවාට අවශ්‍ය නව නිර්මාණ බිහිකිරිම වගේ දෙවල් කරනවා.“

ධනුෂ්ක කියන්නේ මේ වගේ අදහසක්

“ආර්ට් එක පැත්තෙන් ඊළඟට මොනවද කරන්න ඕනේ , යන්න ඕනේ, ඉන්න ඕනේ, පවතින්න ඕනේ කියලා එහෙම ලොකු අදහසක් නෑ. අපි රසවිඳින ගමන් තවත් අයට රසවින්දයක් ලබා දෙන්නයි අපට ඕනේ. අපි හැමදාම හවස 6 වෙනකොට විඩියෝ එකක් දානවා. ඒක අපේ රසිකයන් ගේ මෝටිවේෂන් එකට හෝ ප්‍රීතියට හිනාවට කාරණාවක් වෙනවා නම් අපිට ඕනේ එච්චරයි.

*මාධ්‍යක් ඔස්සේ මේක කරගෙන යන්න අදහසක් නැද්ද?

ඒකට උත්තරය ලැබුණේ ලක්ෂිගෙන්.

“අපි දෙන්නට ටිවී ප්‍රෝගෑම් එකක් කරන්න ආරාධනා ලැබිලා තියනවා. නමුත් අපි තාම ඒක තීරණය කළේ නෑ. කොහොම වුණත් අපි දෙන්නටම එකට වැඩ කරන්න අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන සලකා බලනවා.

කාල කළමනාකරණය ගැන කතා කරන්නත් ලක්ෂි අමතක කළේ නැහැ.

“මේ වැඩ එක්ක ගෘහණියක් විදිහට කරන්න ඕන හුඟක් දේවල් මට කරන්න වෙන්නේ නෑ. නමුත් මගේ අම්මි, අප්පච්චි සහ ධනුෂ්කගේ අම්මා තාත්තා අපිට 4 දෙනෙක් නෙමෙයි. එයාලා ඒ තරමට අපිට කිට්ටුයි , ලෙංගතුයි, ආදරෙයි. ඒ නිසා කිසිම අඩුපාඩුවක් නැතිව හැම වැඩක්ම ඉතාම ලස්සනට සාර්ථකව කරගෙන යන්න අපි දෙන්නට පුළුවන් වෙලා තියනවා. අවසන් වශයෙන් ධනුෂ්ක කිව්වේ මේ වගේ කතාවක්

“මිනිස්සු හිනාවෙන් සතුටෙන් තියන්න පුළුවන් කියන්නේ ඒක කෙනෙකුට ලේසියෙන් ලැබෙන අවස්ථාවක් නෙමෙයි. වාසනාවකට අපි දෙන්නට ඒ හැකියාව ලැබිලා තියනවා. ඒ නිසා අපි ඒ ගරු සේවය හදවතින්ම ඉෂ්ට කරනවා. ඒ වගේම අපේ විඩියෝ බලලා ගුණ දොස් කිව්ව, ලයික් කරලා ශෙයාර් කරලා අපව දිරිමත් කළ ආදරණීය ප්‍රේක්ෂකයන්ට හදවතින්ම ස්තුතියි කියනවා. “

මොහාන් සුරවිර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division