Home » ජාති ජාතිත් වාසනාවන් දරු සෙනේ පියවරුන්නේ…

ජාති ජාතිත් වාසනාවන් දරු සෙනේ පියවරුන්නේ…

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

හිරු සඳු වගේ- දෙපසින් දිලී
අප සිත් නිවූ පියවරුන්නේ
ඇසුරෙන් මිදී-ළය ඉකිබිඳී
අද සුවඳ පමණයි දැනෙන්නේ ..

පියා සිය හද පෙලූ දරු පෙම
පරපුරේ උරුමෙට තියා
කියා ගන්නට නොහැකි දුකකින්
මහා දුර ගමනක ගියා..

සසරමඟ එක දිගට සපැමිණ
අත නොහැර පිය නගන්නේ
ජාති ජාතිත් වාසනාවන්
දරු සෙනේ පියවරුන්නේ…

ගායනය – නිරෝෂන තඹවිට
පද රචනය – බණ්ඩාර ඇහැළියගොඩ

සංගීතය – නවරත්න ගමගේ

“අපේ පොඩි ළමයා එයාගේ දේවල් ඔක්කෝම කියන්නේ තාත්තට. රහස් නෑ හැම ගනුදෙනුවක්ම තාත්තා එක්ක“ ඒ මගේ අම්මා නිතර කියූ කතාවකි. ඒ කතාවේ කිසිම වරදක් නැත. තාත්තාත් මාත් අතර තිබුණේ තද බැඳීමකි. ඒ බැඳීමේ තරම සිහිවන්නේ දැන්ය. තාත්තා ගැන තිබූ බැඳීමේ තරම කොතරම්දැයි වඩාත් හිතට දැනෙන්නට වූයේ ඉකුත් දා අසන්නට ලැබුණ මේ ගීතයත් සමඟය. එමෙන්ම ගීතයට ගැලපූ රූපරචනයත් සමඟය.

“හිරු සඳු වගේ- දෙපසින් දිලී
අප සිත් නිවූ පියවරුන්නේ
ඇසුරෙන් මිදී-ළය ඉකිබිඳී
අද සුවඳ පමණයි දැනෙන්නේ …“

ගීතය ලියන්නේ ප්‍රවීණ ගීපද රචක බණ්ඩාර ඇහැලියගොඩය. ගීතය සංගීතවත් කරන්නේ ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ විසිනි. ගීතය ගයන්නේ වර්තමානයේ පුවත්පත් කොමසාරිස් ලෙස කටයුතු කරන නිරෝෂන් තඹවිටය.
අම්මාවරුන් සම්බන්ධයෙන් ලියැවුණ බොහෝ අපූරු ගීත රාශියක් අපට අපේ ගීත නාමාවලිය විමසන විට හමුවේ. නමුදු පියවරුන් සම්බන්ධයෙන් ලියැවුණ ගීත ඇත්තේ අතළොස්සක් පමණි. ඒ ගීත අතළොස්සට එක්වූ අලුත්ම ගීතය “හිරු සඳු වගේ- දෙපසින් දිලී“ ගීතය පිළිබඳ බණ්ඩාර ඇහැළියගොඩ පවසන්නේ මෙවැන්නකි.

“අවුරුදු හතළිහක් තිස්සේ මා ලියූ ගීත අතර ප්‍රේම ගීත ඇත්තේ බොහෝම සුළු ප්‍රමාණයක් පමණයි. නමුත් කුටුම්භය ගැන, අම්මා තාත්තා ගැන මෙන්ම මුනුපුරු මිනිපිරියන් ගැන ලියැවුණ ගී තියෙනවා. නමුත් පොදුවේ ගත්තාම ගුරුවරුන් පියවරුන් ගැන ලියැවුණ ගීත තියෙන්නේ බොහෝම අඩු සංඛ්‍යාවක්. දිනක් නිරෝෂන් තඹවිට මට ආරාධනයක් කළා තාත්තා ගැන ගීතයක් ලියන්න කියලා. ඔහු ඔහුගේ තාත්තා ගැන මා සමඟ බොහෝ දේ කිව්වා. ඒ දේවලුත් ඇතුළත්ව සමස්ත පියවරුන් ගැනම ලියැවෙන ගීතයක් ලෙසින් මම මෙහි පද ලිව්වා. මේ ගීතයට සංගීතය මුසුකළේ නවරත්ත ගමගේ සොයුරා. ගීතය ගායනා කළේ නිරෝෂන් තඹවිට. නිරෝෂන් ගායනයට ආධුනිකයෙක් වුණත් ඔහුගේ ගායන විලාශය බොහෝම හොඳයි. මම විශ්වාස කරනවා නවරත්න ගමගේ සොයුරාගේ සංගීතයත් නිරෝෂන්ගේ හඬත් මගේ පද වැලට උපරිම සාධාරණය ඉටු කළා කියලා.”

රසික සිත් ඇද බැඳ ගන්නා හඬකින් ගැයෙන මේ පිය ගුණ ගීතය මීට දශක කිහිපයකට පෙර අපේ සමාජයේ ජීවත් වූ වැඩිහිටියන් සිහිගන්වයි. මොනයම් වු සමාජයක සිටිය ද දරුවන් සහ මවුපියන් අතර වන්නේ එක සමාන බැඳිමකි. නමුදු අපේ බාල වියේදී අප දුටු වැඩිහිටියන් විශේෂයෙන්ම අම්මා තාත්තලාගේ ඒ ජීවත් වූ සමාජය අදට වඩා හාත්පසින්ම වෙනස්ය.

“මට ඕනේ වුණා මගේ තාත්තා ගැන වගේම අනෙක් තාත්තලා වෙනුවෙන් ගීතයක් කරන්න. මේ ගීතයේ පද රචනය සඳහා තෝරා ගත්තේ බණ්ඩාර ඇහැලියගොඩ මහත්මයාව. ඇහැලියගොඩ මහත්මයා සමඟ මම ගීතයට ඇතුළත් වෙන්න ඕනෑ දේ ගැන කතාවුණා.

මගේ තාත්තා සමුපකාරයේ ලොරි රථ රියැදුරෙක් ලෙස සේවය කළේ. ඔහු ගුණදාස තඹවිට. මගෙ තාත්තා අපොස සාමාන්‍ය පෙළ විභාගයවත් නොකරපු කෙනෙක්. තාත්තාව බොහෝ දෙනා හැඳින්වූයේ රියැදුරු ගුණදාස අයියා කියලා. මම පවුලේ බාලයා. මට අදටත් මගේ තාත්තා තුළ තිබූ ඒ ආදරය මනුස්සකම, සෙනෙහස දැනෙනවා. ඇත්තම කිව්වොත් මම ඒ රියැදුරු ගුණදාස අයියාගේ පුතා වීමම මට ආඩම්බරයක්. මගේ ළමා විය ගෙවුණේ මාමලා, බාප්පලා, නැන්දලා පුංචි අම්මලා ආදී වැඩිහිටියන් සමඟ. මට ආදරේ කරන තාත්තලා ගොඩක් හිටියා කියලා මම කියන්නේ ඒ නිසයි. ඇහැලියගොඩ මහත්මයා ගීතයේ පද ටික මට වට්සැප් කළේ මගේ මාමා මිය ගිහින් ඔහුගේ මරණ සහතිකය අරගෙන එන අතරෙදි. ඇත්තටම ඒ පද ටික හරි අපූරුවට ලියැවිලා තිබුණා. නවරත්න ගමගේ මහත්මයාව මම වසර විස්සක් තිස්සේ වගේ ඉඳන් අඳුනනවා. මම එතුමන්ට දුන්නා මේ පද පෙළට සංගීතය නිර්මාණය කරන්න.

ඉන් පස්සේ මට හිතුණා ගීතයට රූප රචනයක් කළොත් හොඳයි කියලා. පිටපත ලියන්නේ මගේ බිරිය ශශිකා තිලිණි ජයතිලක. කවිත් කවිඳුල්, සිතුලි මිහිංසා මගෙ දුවයි පුතයි මේ රූ පෙළෙහි ඉන්නවා. තාත්තාගේ චරිතය නිරූපණය කරන්නේ චතුරංග ඉසුරු කුමාර. මට මතකයි මගෙ තාත්තා මට කන්න දීලා මගෙ දිහා බොහෝම ආදරෙන් බලාගෙන ඉන්නවා. මේ රූ පෙළ හරහා මට මගේ තාත්තාව ගේන්න ඕන වුණා. මම හිතනවා එය සාර්ථකයි කියලා. ගීතයේ සාර්ථකත්වයට මේ හැම දෙනාගෙම සහයෝගය ලැබුණා. මේ රූ පෙළ නිෂ්පාදන කටයුතු සඳහා එක්වන්නේ ලෂාන් සංජීව (Artpart Factor) සොයුරා. සංගීත සංයෝජනය සහ පටිගත කිරීම කළේ Invawe Music Studio.

ගීතය නිකුත් කළාට පස්සේ මගෙ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. ඒ මම මගේ තාත්තාට වගේම මේ රටේ අනෙක් තාත්තලා වෙනුවෙන් මගේ යුතුකම ඉටු කළා කියලා.“ නිරෝෂන් පවසන්නේ හැඟුම්බරවය.

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division