Home » ප්‍රසන්න‍ෙග් විවාදය සජිත් මඟහැරියේ ඇයි?

ප්‍රසන්න‍ෙග් විවාදය සජිත් මඟහැරියේ ඇයි?

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

මේ මස 13 වැනිදා දක්වා 2024 අය වැය විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන නිසා දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ කතා බස් සිදු වන්නේ පාර්ලිමේන්තුව තුළයි. දේශපාලන ඉතිහාසයේ කැබිනට් මණ්ඩල රැස්වීමකදී කැබිනට් අමාත්‍යවරයකු ඉවත් කළ සිදු වීම පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවති කැබිනට් රැස්වීමේදී සිදුවීම ද විශේෂත්වයකි.

සින්නක්කර ඉඩම් ගැන ජනපති කීවේ මොකක්ද?

ජනපති රනිල් මැතිසබයට ඉදිරිපත් කළ අය වැය යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමේ පූර්ව සූදානමක් ලෙස ඉකුත් ඉරිදා නොච්චියාගමට ගියේ උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු පිරිනැමීමේ අවස්ථාවට එක්වීමටය. එහිදී ඔහු උදාහරණයට ගත්තේ ෂැන්ග්‍රිලා හෝටලය හැදීමට හමුදා මූලස්ථානයේ ඉඩම් සින්නක්කරව දීම ගැනය. විදේශිකයන්ට දිය හැකි නම් ලංකාවේ ජනතාවට සින්නක්කර ඉඩම් දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.

ඇමැති මණ්ඩල හමුව සඳුදා සවස යෙදී තිබුණේ පාර්ලිමේන්තුවේදීය. පාර්ලිමේන්තු කමිටු කාමර 3හි පැවැති එම කැබිනට් හමුවට ජනපති පැමිණියේ විශේෂ ලිපි ගොනුවක් ද රැගෙනය. පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනපතිට එදින පෙරවරුවේ වූ සිද්ධීන් දැනුම්වත් කළේ මහාචාර්ය ආශු මාරසිංහය. සියල්ලට සිනහවෙන් පිළිතුරු දුන් ජනපති රනිල් ඇමැති මණ්ඩල හමුවට ගොස් අසුන් ගත්තේය. එදින පෙරවරුවේ ජනපතිව දැඩිව විවේචනය කළ ක්‍රීඩා හා වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ ද පැමිණ කැබිනට් රැස්විමේ අසුන් ගත්තේය. ජනපති පෙර සුදානම්ව පැමිණියත් ඒ කිසිවක් ඇමැති මණ්ඩලයේ සිටි කිසිවකු දැන සිටියේ නැත.

ජනපතිගෙන් ඇමැති රොෂාන්ට චෝදනා 2ක්

ක්‍රීඩා ඇමැතිවරයා දෙස හැරුණු ජනපති රනිල් ඔහුට චෝදනා දෙකක් යොමු කළේය. “ඔබතුමා විපක්ෂ නායක කාර්යාලයට ගිහින් සජිත් ප්‍රේමදාස හා ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ එකතු වෙලා ඉන්දීයන් මහකොමසාරිස්වරයාව ගෙනල්ලා කතා කළාද?” ඉන්දියාව හරහා අයි.සි.සි යට කතා කරලා ක්‍රිකට් තහනම අයින් කරලා දෙන්න කියලා ඉල්ලුවද?” ජනපති විමසුවත් ඔහු තුෂ්නිම්භූතව බලා සිටියා විනා කිසිවක් කීවේ නැත.

ඉන් පසු ජනපති රනිල් මහවැලි ඉඩම් ඥාතී හිතවතුන්ට බෙදා දීම සඳහා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව පෙන්වා ඒ ගැන ද විමසීය. ඒ දෙකටම පිළිතුරක් නැතිවූ තැන ජනපති බැලුවේ කැබිනට් ලේකම් දෙසය. ජනපති සංඥාව ලැබෙනතුරු බලා සිටි ඔහු එය ලද සැණින් අත තිබු ලිපි කවරය ඇමැති අත තැබුවේය.

කැබිනට් රැස්වීමේදීම ඉවත් කළ පළමු ඇමැති

එය විවෘත කර බැලූ ඇමැති රොෂාන් “මම දුෂණයට වංචාවට විරුද්ධයි.” කියා ජනපති දෙස බලද්දී ජනපති කීවේ “ඔබතුමා වගේම මමත් දූෂණයට වංචාවට විරුද්ධයි” කියාය. ඒ අවස්ථාවේ ඇමැති ඩග්ලස් දේවානන්දා ජනපති අසලට පැමිණ යමක් කියද්දී ඇමැති ධුරය අහිමි වූ රොෂාන් කමිටු කාමරයෙන් පිටතට පැමිණියේය.

පිටතට පැමිණි රොෂාන් ලිපි කවරය විවෘත කර බලා එහි සිටි පාර්ලිමේන්තු නිලධාරියකුට කීවේ “දෙකම ගලවලා” කියාය. නිලධාරියා පෙරළා විමසුවේ “සර් හිතුවේ එකක් විතරක් අයින් කරයි කියලද?” කියාය. ඊට කිසිත් නොකී ඇමැති ඉන් පිටව ගියේය.

ඇමැති මණ්ඩල ඉතිහාසය තුළ මින් පෙර කිසිදු ඇමැතිවරයකු ඇමැති මණ්ඩල රැස්වීම අතරවාරයේදි ඉවත් කර නැත. ඉවත් කිරීම් කර ඇත්තේ ඇමැති මණ්ඩලයෙන් පිටතදීය. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු හා නිලධාරීන් ඒ අවස්ථාවේම කතා බහ කළේ මේ කාරණය ගැනය.

ඇමැති ධුරය අහිමිවූ රොෂාන් මන්ත්‍රීවරයා ඇමැති මණ්ඩලයෙන් පිටව යද්දී කිසිදු ඇමැතිවරයකු ඔහු දෙස බැලුවේ නැත. ඔවුන් ඉන් පසුව සිය අමාත්‍යාංශයන්හි ඇමැති සංදේශ ඉදිරිපත් කළේ අනුමැතිය සඳහාය. කැබිනට් හමුව නිමවා ජනපති රනිල් කෙළින්ම පැමිණියේ ගාලුමුවදොර පිහිටි සිය ලේකම් කාර්යාලය වෙතය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඒ වන විටත් ඇමැති හරීන්ට හා ඇමති පවිත්‍රා ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණි. ඔවුන් දෙදෙනා රොෂාන් රණසිංහගෙන් හිස්වූ ඇමැති ධුරවල දිවුරුම් දුන්නේ ඉන් අනතුරුවය.

රොෂාන් ගැන මන්ත්‍රීවරුන් ජනපතිගෙන් ඇසුවේ මොනවාද?

අඟහරුවාදා ජනපති රනිල් ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් පාර්ලිමේන්තුවට ගියේය. මැති ඇමැතිවරු රැසක් ජනපති හමුවට පැමිණියේ ඇමැති මණ්ඩල හමුව ගැන කතා කිරීමටය. “ඔබතුමාට එතුමා ඇමැති ලෙස ඉඳිද්දි හොඳටම බැන්නා. හැබැයි ඒ ගැන කිසිදු චෝදනාවක් දැම්මේ නැත්තේ ඇයි?” මන්ත්‍රීවරු විමසුවේ ජනපතිගෙනි.

“මාව විවේචනය කරන්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි ඇමැති මණ්ඩලයේ සාමුහිකත්වය කඩන්න බෑ. අයි.සි.සි එකත් එක්ක කතා කරන්න ඇමැති කමිටුවක් දාලා තියෙද්දි එතුමා කළ දේ හරි නෑනේ.” ජනපති පිළිතුරු බැන්දේය.

“ඔව් විපක්ෂ නායක සජිතුත් පිළිගත්තානේ ඇමැති රොෂාන් එයාව මුණ ගැහිලා ඉන්දියාවට කතා කළා කියලා.” ඇමැති මනූෂ ද කතාවට එකතු වූවේ එලෙසිනි.

“දැන් අලුත් ක්‍රීඩා ඇමැතිතුමාට වගකීම වැඩියි. අයි.සි.සි තහනම් ඉවත් කර ගන්නවා වගේම චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කරන්නත් තියෙනවා.” ජනපති කීවේ මනූෂ දෙස බලමිනි.

“රොෂාන් ඇමැතිතුමා මේක තනියම කරන වැඩක් නොවෙයි. මේක පිටිපස්සේ තව ප්‍රබලයෝ කිහිප දෙනෙක් ඉන්නවා. ප්‍රබල රටවලුත් ඉන්න පුළුවන්.” මහාචාර්ය ආශු කියද්දී සැවොම හිස සැලීය.

“එකලස් කරපු වාහනය අල්ල ගත්ත සමාගමේ කළමනාකරු ඇමැතිගේ පුංචි අම්මගේ පුතා කියලා පොලිසියෙන් කිව්වා.” නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා කීවේ එවැන්නකි.

අය වැය වෙනුවට ක්‍රිකට්

“දැන් හැමෝම කතා කරන්නේ ක්‍රිකට් ගැන. අය වැය ගැන විපක්ෂයට ගාණක්වත් නෑ. සාමාන්‍යයෙන් අය වැය කියන්නේ විපක්ෂයේ විවාදය. හැබැයි විපක්ෂ නායකතුමා ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ. මේක හරි අවාසනාවන්ත තත්ත්වයක්.” රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීවරිය කතාව වෙනතකට මාරු කළාය.

“ඔව් මන්ත්‍රීතුමිය කියන කතාව හරි. අය වැය මන්ත්‍රීවරුන්ට නැති කළේ සජිත්. එයා විපක්ෂ මන්ත්‍රීවරුන්ට කතා කරන්න දෙන්නෙත් නෑ. ඒ අය අපිත් එක්ක අඳෝනා කියනවා මෙයා විතරයි කතා කරන්නේ කියලා.” මන්ත්‍රී වජිර ද කතාවට එකතු වූවේය.

ආණ්ඩුවේ 20 කල්ලිය

“මේ ගොල්ලෝ මේ පසු පෙළ 20 කල්ලිය කියලා එකක් හදාගෙනනේ.” මහාචාර්ය ආශු ඇඟිල්ල දිගු කළේ රාජිකා මන්ත්‍රිවරිය දෙසටය.

“ආ ඒක බොහොම හොඳයි. පසුපෙළ මන්ත්‍රීවරු ශක්තිමත් වෙන එක හොඳ දෙයක්.” ජනපති ද කීවේ මන්ත්‍රීවරිය දෙස බලමිනි.

රොෂාන්ට අපේක්ෂකකම ලැබෙයිද?

“රොෂාන්ට ජනාධිපති අපේක්ෂකකම නම් දෙන්න බෑ කියලා සජබ කට්ටිය එළිපිටම කියන්න පටන් අරගෙන. සජබ නියෝජ්‍ය නායකකමත් එයාට නැති වෙන පාටයි. රොෂාන් මන්ත්‍රීවරුන්ට කියන්නේ ඉස්සෙල්ලම එන්නේ මහ මැතිවරණයක්, ඒකට එයත් එක්ක එකතු වෙන්න කියලයි.” ලන්සා මන්ත්‍රීවරයා කීවේ ඔහුට ලද ආරංචියකි.

“දැන් රොෂාන්ට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.” මන්ත්‍රී මධූර කීවේ සිනහ මුහුණෙනි.

විපක්ෂ මන්ත්‍රීවරුන් වන තලතා මන්ත්‍රීවරිය හා වෛද්‍ය රාජිත සේනාරත්න ද ආවේ මේ කතා බහ යද්දීය. “අපි හිතුවේ මෙතුමන්ලා දෙන්නට හිස්වුණු ඇමැතිකම් දෙක දේවි කියලායි.” ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කියද්දි සැවොම කොක් හැඬලූහ.

ආශුගෙන් නැදගමුවේ කජු

පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ මහාචාර්ය ආශුගේ කාර්යාලය තුළ මේ දිනවල පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු වැඩිපුර ගැවසෙනු සුලබ දසුනකි. ඒ ඇයිදැයි මන්ත්‍රීවරු සොයා බලද්දි දැනගන්නට ලැබුණේ අපූරු ආරංචියකි. ඒ මන්ත්‍රීවරු නැදගමුවේ කජු කෑමට එහි එන බවකි. එහි පැමිණි චමල් රාජපක්ෂ කීවේ මැදමුලනේ කිරි කෝපි එක හදන්න පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාල සේවකයන්ට කියා දී ඇති බවකි.

මැදමුලනෙන් කිරි කෝපි

“ඔව් ඔව් දැන් අපිට ආශුගේ නැදගමුවේ කජුයි මැදමුලනේ කිරි කෝපියි හම්බ වෙනවා.” කියා මන්ත්‍රීවරු කී විට ජනපතිට ද සිනහව නතර කරගත නොහැකි විය. මේ අතර කොහේදෝ සිට පැමිණි දේශිය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි තමන් වසරක කාලය තුළ කළ ප්‍රගතිය ඇතුළත් අත් පත්‍රිකාවක් මන්ත්‍රීවරු අතර බෙදමින් ගියේ එහි කතා බහ ගැන කිසිදු තැකීමකින් තොරවය.

දේශබන්දු පත්කළ හැටි

පොලිස්පති පත් කිරීමේ ආරංචිය පැතිර ගියේ මේ අතරවාරයේය. බදාදා පෙරවරුවේම ඇමැති ටිරාන් අලස් ජනාධිපති කාර්යාලය වෙත පැමිණියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමඟය. ජනපති රනිල් ඔවුනට කීවේ පොලිස්පති ධූරය වසර 3ට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයෙන් ඉදිරිපත්ව ඇති බවකි.

කෙසේ නමුත් පොලිස්පති ධුරයට පත්වීමේ ලිපිය ලැබුණේ ඔවුන් දෙපළ ජනපති මුණ ගැසීමට තුන්වැනි වර පැමිණි අවස්ථාවේදීය. මාස 3ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනපති රනිල් තීන්දු කළ අතර, එය ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කිරීමට ද පියවර ගත්තේය.

ජනපති රනිල් දැඩි වෙහෙසක් ගත්තේ කුමකටද?

ණය ප්‍රතිව්‍යුහග කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ජනපති රනිල් දැඩි වෙහෙසක් ගනු ලැබුවේ ජනාධිපති ධුරයට පත්වීමටත් පෙර සිටය. අගමැතිවූ විගස ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා විදේශීය ණය හිමියන් සමඟ සාකච්ඡා ඇරඹූ අතර මේ වන විට එහි අවසානයකට පැමිණ තිබේ.

“අපි ණය කපන්න ඉල්ලුවේ නෑ. අපි ඉල්ලුවේ ණය ගෙවන්න දෙන කාලය දීර්ඝ කරන්න කියලා විතරයි. ණය කපන්න කියන එක ලංකාවේ පුරවැසියන්ගේ නම්බුවට හොඳ නෑ.” ජනපති කීවේ මුදල් රාජ්‍ය ඇමැතිවරුන් වන ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මහා භාණ්ඩාගාර නිලධාරීන් සමඟ බදාදා සවස පැවැති සාකච්ඡාවේදීය.

ජනපති රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේ ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම උදෙසාය. කොප් 28 සමුළුවේ විශේෂ දේශන කිහිපයකට මෙන්ම සාකච්ඡා වට කිහිපයකට ද ජනපති රනිල් සහභාගීවීමට නියමිතය. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් යෝජනා 3ක් ජනපති මෙම සමුළුවට ඉදිරිපත් කරනු ඇත.

අගමැති දිනේෂ් මාධ්‍යවේදීන්ට කිව්ව රහස මොකක්ද?

අගමැති දිනේෂ්ට පසුගිය අඟහරුවාදා (28) විශේෂ සහ කාර්ය බහුල දිනයක් විය. ඒ, ඔහු යටතේ ඇති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව තිබීම නිසාය. ඔහු එදින පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් හමුවීමට ගියේය.

දිවා භෝජනය අවස්ථාවේ දිනේෂ්, සිය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරු වන ජානක වක්කුඹුර සහ අශෝක ප්‍රියන්ත, යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයාද කැටුව මාධ්‍යවේදීන් ආහාර ගන්නා භෝජන ශාලාවට ගියේ ඔවුන් සමඟ කතා කිරීමටය. එහිදී දිනේෂ් මාධ්‍යවේදීන් සමඟම දිවා භෝජනය ගත්තේය.

මහින්ද සජිත්ට කිව්වේ මොනවාද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පසුගිය 01 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේදී ඔහුගේ මුහුණට මුහුණ හමු වූයේ සමගි ජන‍බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.

දෙවැනි මහලේ විදුලි සෝපානයෙන් මැතිසබයට පැමිණීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණෙන විට දෙවැනි මහලේ විදුලි සෝපානය අසලදී සජිත් ප්‍රේමදාසව ‍ඔවුන්ට මුණ ගැසිණ.

“කොහොමද සජිත්?” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා විමසුවේය.

“වරදක් නැහැ. හිටපු ජනාධිපතිතුමනි” යනුවෙන් සජිත් ප්‍රතිචාර දැක්විය.

“කොහොමද? අම්මා සනීපෙන් ඉන්නවාද? අම්මා මතක් කළා කියන්න” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පැවසීය.

“අම්මා හොඳින් ඉන්නවා. මං අම්මට කියන්නම් ඔබතුමා මතක් කළා කියලා” යනුවෙන් සජිත් ප්‍රතිචාර දැක්විය.

මහින්ද ගිය රථයට ඇත්තටම මොකද වුණේ?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් ආගමික උත්සව මේ සතියේදීත් සංවිධානය කර තිබිණි.මෙවර මෙය සංවිධානය කර තිබුණේ කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවලය. එදින පිටත්ව යෑමට පෙර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැමිණියේ නාමල් රාජපක්ෂගේ මලලසේකර මාවතේ පිහිටි නිවෙසටය. නාමල් පැවසුවේ “ඔබතුමා සමඟ මම කුරුණෑගල එන්නම්, ජොනී ඇමැතිතුමාත් ඉන්නවනෙ” කියාය. එහිදී මහින්ද රාජපක්ෂ පැවසුවේ “නාමල් ඔයා අද පාර්ලිමේන්තු යන්න, ගිහින් නෙළුම් මාවතට යන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයේ වැඩ කටයුතු බලා ගන්න” කියාය. “හා මම එහෙනම් ඉන්නම්”කියා නාමල් පැවසීය. ඉන් අනතුරුව මලලසේකර මාවතට ජොන්ස්ටන් පැමිණි අතර ජොන්ස්ටන් හා මහින්ද කුරුණෑගල බලා පිටත් වූහ. මෙසේ කුරුණෑගල සිට උමන්දාව බලා පිටත්ව යන විට මහින්දට සහ ජොන්ස්ටන්ට අකරතැබ්බයට මුහුණ දීමට සිදු විය. මහින්ද සහ ජොනී අධිවේගී මාර්ගයෙන් ගමන්කොට යග්ගහපිටිය අන්තර් හුවමාරුවෙන් පිටතට ඒමට සූදානම් විය. මහින්දගේ ආරක්ෂක රථය මුලින්ම ගේට්ටුවෙන් පිටතට පැමිණි අතර මහින්ද හා ජොනී රැගත් වාහනය ඇතුළට ගන්නවාත් සමඟ ගේට්ටුවේ හරස් පොල්ල වාහනය මතට පතිත විය. වහාම ආරක්ෂකයන් එතැනට පැමිණි අතර වාහනයට බරපතළ හානි සිදු නොවූ අතර, සුළු හානි සිදුවී තිබිණි. වහාම මුදල් අයකැමිවරයා එතැනට පැමිණ සමාව ඉල්ලුවේය.” මම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා දැකලා ගෞරවය වැඩිකමට නැඟිට්ටා, මගෙ අතින් හරස් පොල්ල උස්සපු බොත්තම අතඇරුණා.මහින්ද සර්ව දකිනකොට ඉබේ නැගිට්ටුණා. අනේ මට සමාවෙන්න”යැයි අයකැමියා පැවසූ අතර ජොනීත් මහින්දත් ඔහු අස්වසාලීය.

රොෂාන් හා ප්‍රසන්න අතර රහස් සාකච්ඡාවක්

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් ඇමැති ධුරයෙන් ඉවත් කෙරුණු සඳුදා දිනට පසුදින පාර්ලිමේන්තුවේදී ඔහු වරප්‍රසාද ප්‍රශ්නයක් නැඟුවේය.

මේ විශේෂ ප්‍රකාශය කළ හිටපු ඇමැතිවරයා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයට ගොස් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග හමුවිය. ඒ වන විට ඇමැති ප්‍රසන්න සිටියේ පසු දින ඔහුගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවකය. එය ටික වේලාවකට නතර කළ ප්‍රසන්න රොෂාන් සමඟ පැය භාගයකට ආසන්න කාලයක් සාකච්ඡා කළ අතර වෙනත් කිසිවකු ඊට සහභාගී වූයේ නැත. ඒ නිසා හිටපු ඇමැති රොෂාන්, ඇමැති ප්‍රසන්නට කීවේ මොනවාදැයි හෙළි වූයේ නැත.

ප්‍රසන්න චීන තානාපතිට කී කථාව

ඉකුත් සඳුදා (27) ඇමැති ප්‍රසන්නට චීන තානාපති චී ෂෙන්හොන් හමුවිය. ඒ චීන ආධාර යටතේ ඉදිකිරීමට නියමිත නිවාස 1,996ක් සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවේදීය. මේ ගිවිසුමට අත්සන් තැබුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේදීය.

“මේ නිවාසවලින් නිවාස 108ක් කලාකරුවන්ටයි මාධ්‍යවේදීන්ටයි වෙන් කරන්න තීරණය කරලා තියෙනවා.’’ ඇමැති ප්‍රසන්න කීවේය.

“ඔව් ඔව් ඒක හොඳ තීරණයක්” චීන තානාපතිවරයා කීවේය.

සජිත්, ප්‍රසන්න මගහැරියේ ඇයි?

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය පැවැත්වුණේ පසුගිය බදාදා (29)ය. මෙහිදී හිටපු නිවාස ඇමැතිවරයකු වූ සජිත් ප්‍රේමදාස විවාදයට සහභාගී නොවූ අතර, විවාදය අතරතුර ඇමැති ප්‍රසන්න පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ සිට විවාදයට ඇහුම්කන් දෙමින් සිටියේ සිය හිතවත් මන්ත්‍රීවරුන් කීපදෙනකු සමඟය.

“අද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මොකද පේන්න නැත්තෙ? මේක එතුමා කැමති විෂයක් නේ’’ යැයි ඇසුවේ සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයාය.

“ඒක තමයි. ගිය පාරත් මේ අමාත්‍යාංශයේ විවාදයට විපක්ෂ නායකතුමා ඇවිත් නෑනේ.’’ කෝකිලා කීවාය.

“එතුමා ආවා නම් හොඳයි.’’ ඇමැති ප්‍රසන්න කීවේය.

රාජිත මාධ්‍යවේදීන්ට රහසක් හෙළි කරයි

හිටපු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්නට මාධ්‍යවේදීන් පිරිසක් මුණගැසුණේ 23 වැනිදා රාත්‍රී කොළඹ එක්තරා ස්ථානයකදීය. වසර ගණනාවක අතීත සිදුවීම් රාජිත මාධ්‍ය මිතුරන් සමඟ මැදියම් රාත්‍රී වනතුරු බෙදා ගත්තේය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පොදු අපේක්ෂක කිරීමට ගත් වෙහෙස ගැන දීර්ඝව විස්තර කළ රාජිත තමා මෛත්‍රීට දොස් පැවරූ අවස්ථාවක් පිළිබඳ සිහිපත් කිරීමට අමතක නොකළේය.

“ජනාධිපතිවරණයට කලින් දවසක මෛත්‍රියි, රනිලුයි, මායි කිහිප දෙනෙක් රහසිගතව හමුවුණා. එවෙලේ මෛත්‍රී කිව්වා, එයා ජනාධිපතිවුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට සර් කියලා කතා කරනවා කියලා. ඒ සාකච්ජාවෙන් පස්සේ එහෙම කරන්න එපා කියලා මං මෛත්‍රීට දොස් කිව්වා. ජනාධිපති කෙනෙක් තමාගේ යටතේ ඉන්න අගමැතිට සර් කියන්නේ මොන රටේද?” රාජිත කියූ ඒ රහස මාධ්‍යවේදීන් අසාගෙන සිටියේ මහත් උනන්දුවකිනි.

ගීතා, නලීන්ට හා ලන්සාට මැදිවෙයි

මේ අතර පාර්ලිමේන්තු භෝජනාගාරයේදී කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම සහ චරිත හේරත් යන මැති ඇමැතිවරුන් කතාබහක නිරතවෙමින් සිටි අතර වාරයේ නිමල් ලන්සා මන්ත්‍රීවරයා ඒ අසලින් යන අතර එම පිරිස දැක මඳ වේලාවක් එහි නතර විය.

“නිමල් පියතිස්ස මන්ත්‍රීතුමාට රොෂාන්ගේ වාහන කේස් එක පත්තු කරන්න කිව්වේ ලන්සා ඇමැතිතුමා වෙන්න ඇති “ලන්සා පැමිණෙන දුටු ඩලස් ලන්සා දෙස බලමින් කියන්නට විය.

ඩලස් එසේ කීවේ ඊට පෙර දින පාර්ලිමේන්තුවේදී නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සිහිපත් කරමිණි.

“අනේ..නෑ මට එහෙම කරන්න ඕනෑ කමක් නෑ, ඔබතුමාලා දන්නවනේ මගේ ඔය දෙකයි පනහේ වැඩ නෑ, මම පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව ඉඳගෙන මගේ අදහස් කියනවා, කාටත් ගහන්න මම යන්නේ නෑ “ලන්සා ඩලස්ට එසේ කියමින් සිනාසී යන්නට ගියේය.

මේ අතර පාර්ලිමේන්තු ලොබියේ නලින් ප්‍රනාන්දු, ගීතා කුමාරසිංහ, නිමල් ලන්සා, නිමල් පියතිස්ස, ජේ.සී.අලවතුවල, මොහොමඩ් මුසම්මිල් ඇතුළු පිරිසක් හමුවී ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියහ.

ගීතා සිටි නිසා හැමෝටම අවශ්‍ය වූයේ සිනමා රසකතා දැන ගන්නටය. ගීතා ද රස කතා කියන්නට උපන් හපන්කමක් ඇති කෙනෙකි. ඇතැම් රස කතා ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන්නට බැරි තරම් ඒවාය. ඒවා ඇසූ නලින් සහ ලන්සා ඇතුළු මන්ත්‍රී පිරිස මහා හයියෙන් සිනාසුනහ.

මොන්ටෙක් සිං පුදුම කළ සජිත්ගේ පොත

ගෙවී ගිය සතියේ ඉන්දියාවේ ආර්ථික සමෘද්ධියේ නිර්මාණ ශිල්පියා වන ආචාර්ය මොන්ටෙක් සිං විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවිය. එහිදී විපක්ෂ නායක සජිත් ආචාර්ය මොන්ටෙක් සිං වෙත මන්මෝහන් සිං අගමැතිවරයා ඉන්දියාවේ ආර්ථිකය පරිවර්තනයක් කිරීමට ලබා දුන් බ්ලු ප්‍රින්ට් ප්‍රකාශය පෙන්වනු ලැබීය. ආචාර්ය මොන්ටෙක් සිං විමතියට පත්වෙමින් විපක්ෂ නායකවරයාගෙන් අසා සිටියේ මෙය ඔබට ලැබුණේ කෙසේද කියාය. එහිදී විපක්ෂ නායකවරයා කීවේ ආචාර්ය මොන්ටෙක් සිං ඉන්දියාවේ ආර්ථිකයට එක් කළ අගය ගැන උනන්දුවෙන් කරුණු සෙවීමේදී එය හමුවූ බවයි. විපක්ෂ නායකවරයා ආචාර්ය මොන්ටෙක් සිං ආර්ථික පරිවර්තනය ගැන ලියූ ග්‍රන්ථය තමා ළග තිබෙන බව ප්‍රකාශ කරමින් එය ද ආචාර්ය මොන්ටෙක් සිං වෙත ලබා දුන්නේය. ආචාර්ය මොන්ටෙක් සිං මහතා තම පොතේ සිය අත්සන යොදා විපක්ෂ නායකවරයාට ලබා දුන්නේ විපක්ෂ නායකවරයා තොරුතුරු සෙවීම සඳහා දක්වන උනන්දුව හා උත්සාහය ගැන සිය ප්‍රසාදය පළ කරමිනි.

වජිරගේ ළඟ තියෙන රනිල්ගේ වාර්තාව මොකක්ද?

රජයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන්ගේ සමුළුව පසුගිය සඳුදා සවස කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වුයේ එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයි.

දැන් මෙතන මතක් කළා ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට දැන් වයස අවුරුදු 170ක්. කිසිම දවසක රාජ්‍ය නායකයෙක් පස් පාගලා නැති අමාත්‍යාංශයක්. මම ඇමැති කාලේ එතැනට අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එක් කරගෙන ගියා. එතුමා මට දවසක් ලිපියක් එවලා තිබුණා. ඒ ලියුම තාම මගේ ළඟ තිබෙනවා.”යනුවෙන් වජිර අබේවර්ධන පැවසීය.

ආර්ථීක අර්බුදයට ප්‍රධාන හේතුව අජිත් රාජපක්ෂ පෙන්වා දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පසුගියදා කතාබහ කරමින් සිටියේ පාර්ලිමේන්තුවේ පිහිටි නියෝජ්‍ය කථානායක කාර්යාලයේය.

“ආර්ථීක අර්බුදය ඇති කිරී‍ම ගැන විපක්ෂය කතා කරන්නේ මඩ ගහන්න. ලෝකයේ දරුණුතම වසංගතයක් වුණු කොවිඩ් ලෝක වසංගතයෙන් රටට බොහෝ දේ අහිමි වුණා. ඒ එක්කම ලෝක ආර්ථීක අර්බුදයක් ඇති වුණා. ඇතැම් පිරිස් බල කළා, රට වහන්න කියලා. මේ තත්ත්වයෙනුත් රටේ ආර්ථීක අර්බුදයට බලපෑමක් වුණා.” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division