Home » බදු ආදායම එක දත්ත වේදිකාවකට ගන්න යන්නේ මාස 6 යි

බදු ආදායම එක දත්ත වේදිකාවකට ගන්න යන්නේ මාස 6 යි

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

ඔබ ප්‍රධාන පක්ෂ දෙකේ ම නැති ස්වාධීන පක්ෂයක් නියෝජනය කරන්නේ. මෙවර අය වැය දකින්නේ කොයි ආකාරයෙන්ද?

මේ අය වැය යථාර්ථවාදී නැහැ. අය වැයෙන් පෙන්වා ඇති ආදායම් ලැබෙන්නෙත් නැහැ. වියදම් පියවා ගන්නත් බැහැ. එසේම අපිට ලැබෙතැයි සිතන විදේශ අරමුදල් ඒ ආකාරයෙන් අපට ලැබේවි යැයි විශ්වාස කරන්නත් බැහැ. උදාහරණයක් ලෙස රුපියල් බිලියන 3,902ක් ආදායම පෙන්වා තියෙනවා. එයින් රුපියල් බිලියන 3,800ක්ම පෙන්වා ඇත්තේ බදු ආදායමක්. ගිය වසරේ බදු ආදායම රුපියල් බිලියන 3,200ක් ලැබෙන බව පෙන්වා තියෙනවා. නමුත් ලැබුණේ රුපියල් බිලියන 2,600 ක් පමණයි. 2021 බදු ආදායමෙන් රුපියල් බිලියන 1000ක්ම එකතු වී තිබුණේ නැහැ. 2023 මේ බදු ආදායමේ ක්ෂණික ආදායම් බදු, පුද්ගලික ආදායම් බදු, වාණිජ හා වැට් බදුවල කැපි පෙනෙන අඩුවක් තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එකතු කර ගන්න බැරි වුණු ආදායම් බදු ප්‍රමාණය ට්‍රිලියනයක්. එනම් කෝටි ලක්ෂයක්. අපේ අපේක්ෂික ආදායමෙන් තුනෙන් එකක් එකතු කර ගන්න බැරි වුණා. රේගු දෙපාර්තමේන්තුවේ කෝටි 6000ක් පමණ එකතු කරගන්න බැරි වුණා. සුරාබදු දෙපාර්තමේන්තුවේ බිලියන 6.5ක්. මේවා එකතු කරගන්න සක්‍රිය මැදිහත් වීමක් මුදල් අමාත්‍යාංශයේ දකින්නට නැහැ. එය බරපතළ ප්‍රශ්නයක්. මේවා සක්‍රිය ආයතන බවට පත් වුණා නම් වැට් ආදිය එකතු නොකර අපේක්ෂිත ආදායම එකතු කර ගත හැකි වෙනවා.

වියදම පැත්තෙන් ගත් විට ට්‍රිලියන 7,883ක වියදමක් පෙන්වා තියෙනවා. එයින් 1,200ක් ප්‍රාග්ධන වියදම්. 2023 වසරේදීත් ප්‍රාග්ධන වියදම් ලෙස පෙන්වූයේ මේ 1,200මයි. නමුත් වියදම් කර ඇත්තේ තුනෙන් එකක් පමණයි. ඒ නිසා මේවා බොරු ඉලක්කම් පමණයි. මේ වසරේ වියදම්වලින් වැඩි ප්‍රමාණයක් තිබුණේ කලින් වසරේ බිල් පියවීම්. අද පාරට බැස්සහම පෙනෙනව ද ඇළක් වේල්ලක් හැදෙනවා. හදපු පාරවල් අතහැරලා. පවතින තත්ත්වය තුළ විදේශ ආධාර හරහා ප්‍රාග්ධන වියදමක් ආවරණය කිරීම කෙරෙයි කියලා හිතන්න අමාරුයි. අද වන විට රෝහල් 40ක් වැහිලා. තව 100ක් වැසෙන්න යනවා. මේ තත්ත්වය හමුවේ කඩවත සිට මීරිගම දක්වා අධිවේගි මාර්ගය හදන්න බැහැ. අද පාසල් ළමුන් ලක්ෂ 6 ක් පාසල් යන්නේ නැහැ. අපේ ප්‍රශ්න ප්‍රමුඛතා හඳුනා ගෙන නැහැ. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සහනයක්. ඒ වර්ධකය මදි වුණත් ජනතාවට සහනයක්. එසේම සමෘද්ධි අස්වැසුමට වියදම් කිරීමට ඇති මුදල් කාටද ලැබිය යුත්තේ යන්න සොයා ගැනීමට අපිට නොහැකි වෙලා. පවුල් 37 ලක්ෂයෙන්, ලක්ෂ 14කටයි අස්වැසුම ලැබුණේ. අභියාචනා දස ලක්ෂයෙන් ප්‍රශ්න විසඳා ඇත්තේ ලක්ෂ දෙකකගේ පමණයි. අපි කතාවට කිව්වට මේ කිසිම දෙයක් කරන්න හැකිවෙලා නැහැ. පසුගිය අය වැයෙන් ජනාධිපතිවරයා යෝජනා කළා අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු ෆයිල් ආරම්භ කරන බවට. නමුත් ලක්ෂයක බදු ෆයිල් ඇරියේ නැහැ.

මෙවර අයවැය ලේඛනය ගිය වසරේ අය වැය ලේඛනයේම කොපියක් බව පවසනවා. නමුත් ඇමැති සියඹලාපිටිය පවසා තිබුණා ගියවර අය වැයේ 80%ක් අහවර කළ බව. ….?

ගිය වසරේ අය වැය යෝජනා 125ක් තිබුණා. මේ වසරේදි එවැනි යෝජනා 125ක් තියෙනවා. නමුත් අපි පාර්ලිමේන්තුවෙන් ඒ පිළිබඳ අයවැය වාර්තාවක් ඉල්ලුවා. ලැබුණේ නැහැ. එවිටයි නිවැරදිව පැවසිය හැක්කේ. නමුත් ස්වාධීන ආයතනයක් වූ වෙරිටේ රිසර්ච් ආයතනයට අනුව ගිය වසරේ අයවැය යෝජනා ක්‍රියාත්මකව ඇත්තේ 39යි.

ලබන වසරේ සිට වාහන ලියාපදිංචි කිරීම, ඉඩම් ලියාපදිංචි කිරීම් ආදියේ සිට බදු ෆයිල් ඇරිය යුුතු බවට අය වැයෙන් නීතියක් ගෙනාවා. මේ හරහා බදු වැඩි කිරීමක් නොකර බදු ආදායම වැඩි කළ හැකි යැයි ඔබ විශ්වාස කරන්නේද?

මේවා හොඳ යෝජනා. නමුත් ආණ්ඩුවේ ලොකුම දුර්වලතාව තමයි මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකිරීම. මේ ක්‍රම හා විධි කාරක සභාව මැදිහත් නොවන්නට අද වන තෙක් මත්පැන් නිෂ්පාදනාගාරවලින් බදු එකතු කර ගන්නට රජයට යන්ත්‍රණයක් තිබුණේ නැහැ. එයට කර ගැසුවේ අපි. මත්පැන් නිෂ්පාදකයන්ට යටවී තමයි සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කළේ. මීට අදාළ නඩු කටයුතුවලට මැදිහත් වීමටවත් මුදල් අමාත්‍යාංශයට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මෙය දේශපාලන ගැටලුවක් ද එසේත් නැතිනම් නිලධාරින්ගේ ගැටලුවක් ද කියා දන්නේ නැහැ. මම වගකීමෙන් කියන්නේ මට මේ බදු ආදායම එක දත්ත වේදිකාවකට ගන්න යන්නේ මාස 6 ක පමණ කාලයක් පමණයි. ඒ බ්ලොක් චේන් තාක්ෂණය හරහා. මම අභියෝගාත්මකව පවසන්නේ කිසිදු වැට් බද්දක් වැඩි නොකර බදු ආදායම මේ හරහා 50%කින් වැඩි කළ හැකි බවයි. මම මේ ගැන පැහැදිලිවම පාර්ලිමේන්තුවට පැවැසුවා. නමුත් ආණ්ඩුවට ක්‍රියාත්මක කිරීමට පැහැදිලි වැඩපිළිවෙළක් නැහැ.

ආණ්ඩුව පවසනවා මේ වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව. ඇත්තෙන්ම රට යළිත් වෙනසකට පත්ව ඇතැයි ඔබ විශ්වාස කරනවාද?

ඇත්තම කතාව තමයි, ලංකාව නැවත පරාදීන වී අහවරයි. ලංකාවේ ස්වෛරීත්වය 1815 මාර්තු 2 නැතිවුණා. නැවත ස්වෛරීත්වය 2022 අප්‍රේල් මස 12 දා නැති වුණා. ඒ ස්වෛරීත්වය රැකගන්න බරපතළ අර්බුදයක නියැළෙනවා. අතනින් මෙතනින් අරගෙන ගැට ගසමින් මේ ගමන යන්න බැහැ. රාජ්‍ය අංශයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් නොකොට රට ඉදිරියට ගෙනයාමට බැහැ. හොර මැත්පැන් ස්ටිකර් ඇල්ලීම මාස 4ක් ප්‍රමාද කරන රටක කොහොමද යුක්තිය ඉෂ්ට වන්නේ.

රටේ පවතින ආර්ථික බංකොලොත්භාවය විසඳීමට ඇත්තේ දේශපාලන විසඳුමක් යැයි ඔබ සිතනවාද?

දේශපාලන ආර්ථික දෙඅංශයෙන්ම විසඳුමක් පවතිනවා. නමුත් මේ අවස්ථාවේ ආණ්ඩුවේ ආදර්ශය හරිම වැදගත්. අද ජනතාව ජීවත් වන්නේ හෙඳ හිතකින් නෙමෙයි. ජනතාව ඉන්නේ ඡන්දයක් එනකම්. ඡන්දයක් ආවහම ගොඩාක් අයට තේරෙයි මොකක්ද වෙන්නේ කියලා.

ආණ්ඩුව පවසන්නේ කුමන රජයක් බලයට පත්වුවද 2027 වන තෙක් අපිට ජාත්‍යන්තර වෙළෙඳපොළට යාමට නොහැකි බව. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

ජාත්‍යන්තර වෙළෙඳපොළින් ණයක් ගන්න නම් අපි මුලින්ම බංකොලොත්භාවයෙන් මිදීමට අවශ්‍යයයි. ඉන්පසු ජාත්‍යන්තර වෙළෙඳපොළ විශ්වාසය දිනා ගත යුතු වෙනවා. වසර තුනක් ඇතුළත මේ රට ණය ගෙවිය හැකි රටක් බවට, ඩොලර් උපයන රටක් බවට ආහාර, ඖෂධ, අධ්‍යාපනය, බලශක්තිය අවම මට්ටමින් පවත්වාගෙන යා හැකි රටක් බවට පත් කිරීමට ප්‍රායෝගිකව පුළුවන්. එයට අවශ්‍ය සැලසුම් දෙකක් පසුගිය වසරේදිත් ඉදිරිපත් කළා. මේ වසරේදීත් ඉදිරිපත් කළා. අපි පක්ෂයක් ලෙස පෙබරවාරි මාසයේදීත් සැලැස්මක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කළ හැකි දෙයක්.

ඔබ පවසා සිටිනවා රුපියල් 50,600කට ජීවත් වූ සතර දෙනකුගෙන් යුතු පවුලකට 2022 අග මසක් ජීවත් වන්න රුපියල් 103,000 අවශ්‍ය වන බව. රජය දැඩි අපහසුතා මධ්‍යයේ රාජ්‍ය සේවක, විශ්‍රාම දීමනාවක් ලබා දෙන්නට කටයුතු කළා?

2022 ජනවාරි මස හතර දෙනෙක් පවුලකට නොමැරී සිටිය හැකි අවම ජීවන මට්ටම රු 50,600යි. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ඒ මුදල රුපියල් 103,000ක් වෙලා. ඒ කියන්නේ දෙගුණයකින් වියදම වැඩි වෙලා. නමුත් ඔබගේත් මගේත් ආදායම දෙගුණයකින් වැඩි වී නැහැ. මේ රටේ දෙගුණයකින් වැටුප් වැඩි වුණේ කාගේද? අද සොරකම් නොකරපු අය සොරකම් කරන්න පුරුදු වෙලා. අද විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, වෛද්‍යවරු මෙන්ම විශාල පිරිසක් රට හැර යනවා. මේ සිදු වන්නේ යටින් නාය යෑමක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දායකත්වයෙන් හෝ මේ තත්ත්වයෙන් මිදෙන්නට නොහැකි වෙයිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේවල් අපි කරන්නේ නැහැනේ. නොකියන දේවල්නේ කරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ රාජ්‍ය ආයතන 52කට වෘත්තීය මට්ටමේ අධ්‍යක්ෂකවරු පත් කරන්න කියලා. නමුත් ඒවා අපි කරලා නැහැනේ. ඒ වගේම ඔවුන් කියලා නැහැ ටෙලිකොම්, රක්ෂණය, විදුලි බල මණ්ඩලය විකුණන්න කියලා. නමුත් කරන්න කියපු දේවල් නොකර අනිකුත් දේවල් කරනවා.

අද විදුලි බල මණ්ඩල, තෙල් සංස්ථා පුරෝකතන බොරු බවත්, ඒවා අධිකව ලාභය සොයා ඇති බවත් පවසනවා. නමුත් තවමත් විදුලි, ඉන්ධන අඩු කර ජනතාවට සහන ලබා දී නැති බවට චෝදනා කරනවා? හිටපු විදුලි බල ඇමැති ලෙස ඔබට ඉදිරිපත් කිරීමට ඇති යෝජනා මොනවාද?

2015 රු 16.6 කට තිබුණු විදුලි ඒකකයක මිල රුපියල් 15කට ගෙනාවා. විදුලිබල මණ්ඩලය කෝටි 2000ක ලාභයක් ගෙනාවා. රුපියල් 154කට තිබුණු පෙට්රල් රුපියල් 117 දුන්නේ නැද්ද? රුපියල් 134ට තිබුණු ඩීසල් රුපියල් 95 ට දුන්නේ නැද්ද? අද ඛණිජ තෙල් සංස්ථාව සෑම පෙට්ට්‍රල් ලීටරයකින්ම රුපියල් 125ක් ගන්නවා. සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 90 ක් ගන්නවා. ඛණිජ තෙල් සංස්ථාව සෑම ලීටරයකින්ම රුපියල් 40ක ලාභයක් ලබනවා. එසේම ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ධ පැනවූවාට පසු තවත් රුපියල් 40ක් ලීටරයකට එකතු වෙනවා. විදුලි බල මණ්ඩලය ඉතාම අයුක්ති සහගත ලෙස අසාධාරණ ලෙස බලහත්කාරයෙන් විදුලි ගාස්තු 18%කින් වැඩි කළා. සැප්තැම්බර් ලාභය බිලියන 3යි. ඔක්තෝබර් ලාභය කෝටි 1800යි. නොවැම්බර් මස ලාභය කෝටි 2000 පනින්න ඇති. නමුත් ජනතාව කනකර උකස් කරමින් විදුලි බිල ගෙවනවා. නිවෙස් ලක්ෂයක විදුලි බිල කපලා. කර්මාන්ත බිඳ වැටිලා. ආසියාවෙන්ම අපිට වැඩිය විදුලි බිල වැඩි හොංකොං හා සිංගප්පූරුවේ පමණයි. අද ඇඟලුම් කර්මාන්ත 20 ක් වැටිලා තියෙන්නේ ඇයි? රටේ කර්මාන්ත විදේශයන්ට යනවා. ජනතාව දුක් විඳිනවා. විදුලි බල මණ්ඩලයේ හැම වියදමක් ම පියවිය යුත්තේ විදුලි බිල වැඩි කරලා නෙමෙයි. ඊට කළ යුත්තේ කළමනාකාරිත්වය වැඩි කිරීමයි. අපි විදුලි බල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව ලාභ කළේ මිල වැඩි කරලා නෙමෙයි. අපි එදා කළ හැටි බලන්න. අද මේ හරහා ජාවාරම්කාරයෝ කෝටි ගණනින් හම්බ කරනවා.

ක්‍රිකට් අවුල තවමත් දිග්ගැස්සෙනවා. එසේ එකවර ඇමැති තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලතල පවතිනවාද?

පැහැදිලිවම ජනාධිපතිවරයාට ඒ සඳහා බලතල පවතිනවා. එය ජනාධිපතිවරයාගේ බලයක්. ඇමැතිවරයාත් දැනගත යුතුයි ආණ්ඩුවක ඉන්නවා නම් ඒ සාමූහික වගකීම ගැන. ක්‍රිකට්වල ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් පරිපාලනමය ප්‍රශ්න. අනික ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න. බලන්න අද ඇෆ්ගනිස්තානයේ හරි ආණ්ඩුවක් නැහැ. ක්‍රිකට් මණ්ඩලයක් නැහැ. නමුත් හරි හමන් අය ක්‍රිකට් ගහන්නේ නැද්ද? අපිට වැඩිය හොඳට ගහනවා. එහෙනම් ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නයක් තියෙන බව පේනවා. මේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ම මලල ක්‍රීඩකයන් රන් පදක්කම් ගත්තේ නැද්ද? ක්‍රීඩකයන්ගේ බරපතළ ප්‍රශ්න, තෝරා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රශ්න, ක්‍රීඩකයන්ගේ විනය ප්‍රශ්න, පරිපාලනමය ප්‍රශ්න තියෙනවා. 1996න් පසු දූෂිත ක්‍රිකට් ජාවාරම්කාර දේශපාලන පරිපාලනයක් බවට පත්වුණා. රොෂාන් ද ශම්මි ද, අර්ජුන ද, තිලංග ද, ජයන්ත ධර්මදාස ද, උපාලි ධර්මදාස ද කියලා නෙමෙයි. මේ දෙගොල්ලන්ටම මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මේ ප්‍රශ්නය විසඳනවා නම් රංජන් මඩුගල්ල, රොෂාන් මහානාම, ආනා පුංචිහේවා වර්ගයේ අයට ක්‍රිකට් භාරදිය යුතු වෙනවා. දේශපාලන ඉලක්ක නැති බොරු කයිවාරු නැති වැදගත් අයට දිය යුතුයි.

ඉදිරි ජනධිපතිවරණයට එක්සත් ජනරජ පෙරමුණේ සූදානම කෙසේද?

අපි අරගලයෙන් පාඩමක් ඉගෙන ගත්තා. සාම්ප්‍රදායික පක්ෂවලට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ කුසලතා පූර්ණ තරුණ පරම්පරාවට රට භාරදිය යුතුයි. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා කියලා දෙයක් නැහැ. මගේ පරපුර ඉදිරිපත් වෙනවා.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division