Home » බදු ගොනු ආණ්ඩුවේ මන්ත්‍රීන්ටත් 

බදු ගොනු ආණ්ඩුවේ මන්ත්‍රීන්ටත් 

by Mahesh Lakehouse
December 2, 2023 12:39 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

වසර අවසන් වීමට පෙර ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් බදු ගොනුවක් විවෘත කිරීමේ ව්‍යාපෘතියක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය විසින් මේ වන විට ආරම්භ කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ඇති ආදායම් එකතු කිරීමේ අංශය මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහගේ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක වෙයි .

ඒ අනුව සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට කැඳවමින් ඔවුන්ට බදු ලිපිගොනු සකස් කරගන්නා ආකාරය හා මේ වන විට බදු ගොනු පවත්වාගෙන යන මන්ත්‍රීවරුන්ට ඒවායේ අඩුපාඩු සකස් කර ගන්නා ආකාරය පිළිබඳව ආදායම් එකතු කිරීමේ අංශයේ නිලධාරීන් විසින් උපදෙස් දෙනු ලබයි. දෙසැම්බර් මස 30 වෙනිදාට පෙර මෙම බදු ලිපිගොනු පුරවා අවසන් කරන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

මෙතෙක් බදු ලිපි ගොනු විවෘත කර නොතිබූ මන්ත්‍රීවරුන් තිස් දෙනකු පමණ මේ වැඩසටහන යටතේ අලුතින් බදු ලිපිගොනු විවෘත කර තිබෙන බව පාර්ලිමේන්තු ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. එමෙන්ම මේ වන විටත් බදු ලිපි ගොනු පවත්වාගෙන යන අය ඔවුන්ට පවතින ප්‍රශ්න ඉදිරිපත් කොට ඒවා නිරාකරණය කරගෙන ඇත.

ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන් නිසි පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම සහ බදු ලිපිගොනුවක් නඩත්තු කිරීම මෙම වැඩ සටහනේ බලාපොරොත්තුව බව ද මහාචාර්ය ආශු මාරසිංහ පවසයි.

මෙම ක්‍රමය මඟින් සියලු මන්ත්‍රීවරුන්ගේ සැබෑ ආදායම් එළිදරව් වන අතර ඔවුන් නිසි පරිදි ආදායම් බදු ගෙවන පුරවැසියන් බවට පත් කිරීමට හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ බලාපොරොත්තුව බවද හෙතෙම සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් බදු නොගෙවන පිරිසක් බවට සමාජයෙන් ද චෝදනා එල්ල වී ඇති හෙයින් අදාළ බදු ලිපිගොනු විවෘත කිරීමෙන් පසු එම චෝදනාවෙන් ද මන්ත්‍රීවරුන් නිදහස් කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණක් වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division