Home » උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් උපදෙස් දී තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මඟපෙන්වීම යටතේ මේ වැඩසටහන පසුගිය 1 වැනිදා සිට ආරම්භ කෙරිණි.

දිවයිනේ අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50ක් බැගින් තෝරා, සිසුන් 5,000ක් සඳහා මසකට රුපියල් 6,000 බැගින් වන ශිෂ්‍යත්ව ලබාදීමට මේ අනුව කටයුතු කෙරේ.

පසුගිය වසරේද සිසුන් 3,000ක් වෙනුවෙන් මාස 24ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ජනාධිපති අරමුදල මඟින් කටයුතු කරනු ලැබීය.

2022 (2023) වර්ෂයේ දී අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට, විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා තිබීම, රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු /ශිෂ්‍යාවක වීම, ඉල්ලුම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 100,000ක් නොඉක්මවීම මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට මූලික සුදුසුකම් ලෙස සැලකේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන අයදුම්පත්‍රය සහ ඊට අදාළ විස්තර, ජනාධිපති ලේකම් කාර්යාලයේ presidentsoffice.gov.lk, ජනාධිපති අරමුදලේ presidentsfund.gov.lk සහ ජනාධිපති මාධ්‍ය අංශයේ pmd.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් බාගත කරගැනීමට හැකිය.

එම අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සිසුන් විසින් ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත එම අයදුම්පත් භාරදීමට කටයුතු කළ යුතුය.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division