Home » සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණය ශක්තිමත් ආර්ථිකයක පදනමයි

සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණය ශක්තිමත් ආර්ථිකයක පදනමයි

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා (29) මූලික එකඟතාවන්ට පැමිණි බව පාර්ලිමේන්තුවේදී විෂය භාර අදාළ ඇමැතිවරයා විසින් දැනුම් දෙන ලදී. ඒ තුළින් රටේ ආර්ථිකයට අත්පත් කර ගත හැකි වාසි රැසක් වෙයි. විශේෂයෙන්ම විදෙස් ආධාර ව්‍යාපෘති යළි ඇරඹීමට හැකි වීම එහිදී ප්‍රධානය. එසේම රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට මෙමඟින් අවස්ථාව උදා කරගත හැකි වනු ඇතැයි ද රජය විශ්වාස කරයි. කෙසේ වෙතත් මෙරට සමස්ත මුළු විදෙස් ණය ප්‍රමාණය සටහන්ව තිබුණේ බිලියන 36කට මඳක් වැඩි ප්‍රමාණයකි.

මෙයින් ඩොලර් 10ක් බහුපාර්ශ්වීය ආයතන මඟින් ලබා ගන්නා ලද ණය වෙයි. ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඩොලර් බිලියන 11ක් ද ද්විපාර්ශ්වීය මූලාශ්‍ර මඟින් ඉතිරි මුදල් ජාත්‍යන්තර ණයකරුවන්ගෙන් ද ලබා ගෙන ඇත. මේ අතුරින් බහුපාර්ශ්වීය ආයතන මඟින් ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක්වන්නේ නැත. එහිදී චීනයෙන් ලබාගත් ඩොලර් බිලියන 4.2 ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාව පසුගිය මාසය තුළදී සිදු විය. ඩොලර් බිලියන 5.9ක් ප්‍රමාණයක් වන පැරිස් ක්ලබ් සහ ඉන්දීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පසුගිය දිනයක සම්පූර්ණ කිරීමට ලංකාව සමත් වී ඇත. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණයන් මූලික සිද්ධාන්ත වශයෙන් (In principal) ඇති වූ එකඟතාවන් අනුව ඒවාට අදාළව සවිස්තරාත්මක එකඟතාවන් පසුවට ඇති වීමට නියමිතය. කෙසේ වෙතත් ණය ප්‍රතිව්‍යුහගතඅකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිරසරභාවය ඇති කරලීමට ප්‍රමාණවත් වන ආකාරයට එකඟතාවයන් දැනට ඇති වී තිබේ. පැරිස් ක්ලබ් සහ ඉන්දියාවට අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ණය ගෙවීම සඳහා වැඩි කාලයක් ලබා දෙන ලෙස මෙන්ම අය කරනු ලබන පොලී අනුපාතයන් පහත හෙලිමටත් එකඟතාව පළ වී ඇතැයි කියවේ. ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ලංකාවට ඇති ඊළඟ අභියෝගය වන්නේ ජාත්‍යන්තර වාණිජ ණයකරුවන්ගෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියන 14ක් වන ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගතකරණයයි. එම ක්‍රියාවලිය විනිවිදභාවයකින් සහ සත්භාවයකින් සිදු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව දැනටමත් ප්‍රකාශ කර ඇති අතර, රජය වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විදෙස් පෞද්ගලික ණය කරුවන්ව සමඟ එකඟතාවයන්ට පැමිණ සාකච්ඡා මේසයට එන ලෙස ආරාධනා කර ඇත. එය සාධනීය කටයුත්තකි. චීනය සමඟ මෙන්ම ඉන්දියාව පැරිස් ක්ලබ් සහ අනෙකුත් ද්වීපාර්ශ්වීය ණයකරුවන් සමඟ එකඟතාවයන්ට පැමිණීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය ලබාගැනීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් සැපිරීමක් වන අතර ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේදී දෙවැනි වාරිකය මුදා හැරීමට අවශ්‍ය අනුමැතිය ලබාදෙනු ඇතැයි සිතිය හැකියි.

ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය අතිශයින්ම සංකීර්ණ වනුයේ එක් පැත්තකින් ලංකාව පැරිස් සමාජයෙන් පිටත ද්වීපාර්ශ්වීය මූලාශ්‍රවලින් ණය ලබාගෙන තිබීමත් අනෙක් පැත්තෙන් ඉන්දියාව චීනය ජපානය සහ බටහිර රටවල් අතර ඇති භූදේශපාලනික ඝට්ඨනයන් පැවැතීමත්ය. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විශ්වාස කළ කරුණක් නම් ලංකාව විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිමා කිරීමේ හැකියාව අවම මට්ටමක පැවැතිය හැකි බවයි. නැතහොත් ලංකාව විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්ත ළඟා කර ගැනීමට අසමත් වේ යැයි ද උපකල්පනය කරන ලදී. එහිලා ඒ කටයුත්ත වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කළ මුදල් අමාත්‍යංශයේ මහ බැංකුවේ නිලධාරීන්ට රටක් විදිහට කෘතඥ විය යුතු අතර, එම කටයුත්තට අදාළ දේශපාලන නායකත්වය දෙනු ලැබූ අදාළ ඇමැතිවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් කෘතඥ පූර්වක සිහි කළ යුතුයි.

ඉදිරි මැතිවරණයකදී කුමන දේශපාලන පක්ෂයක් බලයට පත් වුවත් දැනට කරගෙන යනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණයක් විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගෙන යාම තරගකාරී අපනයන අගයක් ඇති කිරීම සඳහා වූ ප්‍රතිසංස්කරණයන් අඛණ්ඩව ඉදිරියට යා යුතුව ඇත. එසේ නොවුණහොත් වර්තමානයේ අත් කරගෙන ඇති ආර්ථීක ස්ථායිකරණය බිඳ වැටී නැවත වරක් ආර්ථිකය බරපතළ අර්බුදයකට ගමන් කළ හැකියි. මෙම යථාර්ථය දේශපාලන පක්ෂ මෙන්ම මහජනතාව ද නිවැරැදිව තේරුම් ගත යුතුව ඇත. මහජනතාව හා වෘත්තිය සමිති වෘත්තිකයන් ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී පවත්නා ආර්ථික යථාර්ථයක් පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතුව ඇත. දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන පැමිණි සුභසාධනවාදී ආර්ථික මොඩලය තවදුරටත් පවත්වාගෙන යාමට උත්සාහ කිරීම ආර්ථිකමය වශයෙන් යළි බංකොලොත්භාවයට රට පත්විය හැකියි. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ ඒවායේ සැබෑ අර්ථයෙන්ම ක්‍රියාත්මක කළ යුතුව ඇත. රජය බදු ආදායම වැඩි කරගෙන තිබේ. බදු ආදායම උපයා ගැනීමේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි. පහසුවෙන් බදු දැලට හසු කර ගත හැකි ඉහළ ආදායම් ලබන පිරිස බදු දැලට හසු කර ගැනීමට නිසි ක්‍රමවේද සකස් කළ යුතුයි. ඇතැම් විශාල ව්‍යාපාරිකයන් බදු දැලෙන් පැන සිටින නියමිත බදු නොගෙවන පිරිස බදු දැලට හසුකර ගැනීමට රජය අසමත් වී ඇත. වෘත්තිකයන්ගෙන් බදු අය කර ගැනීම මඟින් ඔවුන් විශාල අර්බුදයකට පත්ව ඇත. මේ සඳහා නිසි ක්‍රමවේයන් සකස් කළ යුතුයි. මෙම තත්ත්වයන් නිවැරැදි විය යුතුයි. අවසාන වශයෙන් දැනට කරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ප්‍රධාන දේශපාලන පක්ෂ අතර එකඟතාවකට පැමිණිමද සිදු විය යුතුයි.

මේ මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගෙන මේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට හැකි වනු ඇති බව රජය විශ්වාස කරයි. ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව, මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාව පළ කිරීම ද සුවිශේෂත්වයකි. මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ණය හිමියන්ගේ රටවල එකඟතාව (30) ලැබුණු බවත් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය මඟින්, මෙරට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට සහ ලබන වර්ෂය වන විට ආර්ථික වර්ධනයක් කරා ළඟා වීමට හැකි බව ද රජය විශ්වාස කරයි.

කෙසේ වෙතත් විදේශ මූල්‍ය සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය සහයෝගය මේ නිසා ලැබීමට ඉඩප්‍රස්ථා හිමි වෙයි. ණය ප්‍රතිව්‍යුහගත කිරිම මේ අවස්ථාවේ සිදු නොවුණා නම් බලාපොරොත්තු වූ ආර්ථික වර්ධනය කරා ගමන් කිරීමට රජයට නොහැකි වෙයි. කෙසේ වෙතත් මෙතෙක් ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ ආපසු හරවන්නේ නැතිව ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කිරීමේ ඉදිරි ගමන ආරම්භ කිරීමට මෙය වඩා පිටිවහලක් වනු ඇත. නිල ණය හිමි කමිටුව මඟින් එකඟතාව ලබාදීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් වීමෙන් පසු දෙවැනි වාරිකය නිදහස් කිරීමට අදාළ විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස තුළ ලබා ගැනීමට හැකියාව ඇති බව ද සඳහන් වෙයි. කෙසේ වෙතත් එමඟින් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි අනෙකුත් හවුල්කරුවන්ට තවදුරටත් මූල්‍ය පහසුකම් සැපයීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම පියවර ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ අඛණ්ඩ සහයෝගීතාව පෙන්නුම් කරන වැදගත් සංධිස්ථානයකි. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කර තිරසර ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමට අවශ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මෙමඟින් යම් අවකාශයක් හිමිවෙයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division