Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
December 2, 2023 12:28 am 0 comment

බාලේ 

බොරු­පන් නෙළන්නට
වනි­හි­න්ගොඩ වෙලට
ඕලු මල් නෙළලා
ගෙලට මාලා දමා
ඉරි වැටුණු පොඩි සරම
තෙත බරිත වීලා
සීතලේ ගැහි ගැහී
මට තාම මත­කයි

ලක්ෂ්මන් පති­රන


සිසි­රය

චෙරි ද ඕක් ද
මේපල් ද
කොහොම හඳු­න­න්නද
සීමා වැට කඩුලු
මායිම්
කොහෙන් සොය­න්නද
වෛවර්ණ සළු පිළි
සැඟව
හිම කබා තුළ
එකම පැහැ­යක් ගෙන
පැමිණි සිසි­රය
සිත­න්නට යමක්
ඉතිරි කර
අපට…

මාලතී රූපිකා


බුදු වේවි රත්තරං අම්මලා

පොළො­වක් තරම් බර උහු­ලාන
අහ­සක් වගෙ ඉන්න අම්මලා
දරු­වන්ට පම­ණින් බෙදා දී බත් පිඩ
කුස­ගින්න රස කරන අම්මලා…..
කොළඹ නුව­රත් උතුර
දකු­ණෙ­මත් එක වගේ
නිහ­ඬ­වම පෙම් කරති අම්මලා
දුක් කඳුළු සංකා හිත්
හද අස්සෙ අරක් ගත්
තුනී කර මතු මතුත්
බුදු වේවි රත්ත­රන් අම්මලා…

ඔමේෂ් ශෙහාන් දහ­නා­යක


මං කවට අන්ද­රේ­මද ?

අන්දරේ මං කවට අන්දරේ
කිය­ල­මයි ඉති­හා­සයේ ලිව්වේ
මේ මටත් දුක හිතුන බව නම්
නෑනේ ඔය ඉති­හා­සයේ ලිව්වේ…
මුසා­වා­දය හොඳට බින්ඳලු
රජ­තුමා ළඟ දණින් වැටු­ණලු
කෙළි කව­ට­කම් හුඟක් කෙරු­වලු
එහෙ­ම­මයි ඔය ඉති­හාසෙ ලිව්වේ
පුර පෝය හඳ බලා හැඬූ බව
මගේ ප්‍රේමිය අහිමි වූ බව
හිතේ තනි­යට කවි ලියු බව
නෑනේ ඔය ඉති­හා­සයේ ලිව්වේ

නිම්නාදි සෞභාග්‍යා


සඳ­වත නුඹ මගේ­මය

සෙනෙ­හ­සින් ඔප දමා ලියා අකු­රෙන් අකුර
ගල් හිතක් මුදු කළා හිත­න්නත් බැරි විලස
වදන් වැල් අමු­ණලා අරුත් ගන්වා මසිත
ඔබයි මගෙ හද­වතේ තැනුවෙ කැට­පත් පවුර
හිතේ හිස් පිටු පුරා කුරුටු ගී ලිය ලියා
පාළු මගෙ හද­වතේ ආද­රය තව­රලා
වසා තිබු කවි සිතේ දොර අගුළු ඉව­තලා
නිමි­ත්තක් වුණා ඔබ ලිය­න්නට පිටු පුරා
ඇවි­ළෙන්න නොවේ මට නිවෙ­න්නට හිත පුරා
කඳුළු නොමදී ඇසට හිනැ­හෙන්න මුව පුරා
දස දහස් වාර­යක් පිරිත් පැන් පෙර පෙරා
සෙත් පැතුවෙ සෙනෙ­හ­සින් ඔබයි මට දිවි­තුරා

නිම්නාදි සංගීත් රාම­නා­යක


සුබ සිහින දකිමු

දැක සුබ සිහින එළ­ඹෙන හෙට දවස ගැන
කණ­කර ඉඩම උක­සට තැබු මුදල් ගෙන
එජ­න්සි­යට බැඳ මැද පෙර­දි­ගට යන
අපෙ වනි­තාවෝ විඳිනා දුක බලනු මැන
රට රැකියා නියුතු කාර්යාං­ශයේ දොර
අස­රණ වූ අයට නැහැ නොව විවර කර
ළත­වෙන ගැහැනු දෙස මැද­පෙ­ර­දි­ගදි අර
නිල දරු­වනි බලව් ඇස් මොහො­ත­කට ඇර

අජිත් ජෝතිය කර­සිංහ


ඩෙංගු

පිවි­තුරු අනගි පරි­ස­ර­යක් ඇති කරමු
ලෙඩ දෙන ඩෙංගු උව­ඳුර නිති දුරු කරමු
පරි­සර දිනය දින දින ඔප­වත් කරමු
කවු­රුත් එක­මු­තුව රට ජාතිය නඟමු

ඔබගේ ගෙයි පැලේ පාරේ හා වත්තේ
ලෙඩ දෙන මදු­රු­වන් හා මැස්සන් රොත්තේ
විෂ දළ නිසා දැය­කට සිදු­වන තත්තේ
තේරුම් අරන් නිසි පිළි­යම් කළ යුත්තේ

ලය­නල් ජය­ලත්


ඔබට නොදැ­නෙන මා

මල් රේණු හැලෙන
මඳ මුදු නද පවා ඔබට ඇසෙ­නව නම්
මගෙ හද හඬනා හඬ
මන්දෝ නොඇ­සෙන්නේ
පිනි බිඳු­වක තියෙනා
සිහිල පවා ඔබට දැනෙ­නව නම්
මගෙ නෙතඟ උනන කඳු­ළක තෙත
මන්දෝ නොදැ­නෙන්නේ
කව්සි­ළු­මිණ පවා ඔබට
අරුත් පසි­දිනු හැකි නම්
මගෙ ආදර තෙපුල්
මන්දෝ නොම වැට­හෙන්නේ

තුෂාන් විශ්ව­ජිත් ගමගේ


මර­ණයේ සෙව­ණැල්ල

රෝගී වු රෝගියා
රෝග­යෙන් සුව­පත් කර­න්නට
නෑසියෝ එකතු වී
දෙවි­යන්ට භාර වී
බැන්දෝය පඬුරු
යැද්දෝය යාතිකා
රෝගියා දෙස බල­න්නට
අම­ත­කව දෙවි­යන්ට
නොසිතු නොපැතු මොහො­තක
සිය­දිවි අත්හ­ළේය…
යදින ලද යාතිකා
හිස් අව­කා­ශයේ රැව් දිදි
මර­ණ­යම දින­ව­මින්
මිනිසා පැරද විය…
මර­ණයේ සෙව­ණැල්ල
නේක නෙක වෙස් ගනි­මින්
ලද ලද අව­ස­ර­යෙන්
එකි­නෙකා ඩැහැ ගනී…


මුණ­සිංහ රන්කොත්ගේ

කළු­ව­රට යන ලොවට
කළු බරය – සුද සැහැ­ල්ලුය
උසා­විය පිරෙ­න්නට
කළුය සුදුය
එහෙත් කළු බරය
කළු ලෝගු බර දරා දෙඋ­රින්
කළු කපා සුද තන­න්නට
උ….සා….වි….ය
නිහඬ වෙයි – එක සැණින්
සුද යටව කළු මතුව
කළු­ව­රට යන ලොවට
පායන්න සඳක් සේ
කළු කපා එළිය දෙන

උප­සේන කාරි­ය­ව­සම්


සාග­ර­යක රහස

තෙරක් පරක්
ඉමක් කොනක්
නොපෙ­නෙන
මහා සාග­රයේ
නෙතට රස­ඳු­නක්
මව­මින්
නිල් කොළ
සුදු පැහැ­යෙන්
හැඩ වැඩ දම­මින්
රැල්ලෙන් රැල්ලට
බිඳි බිඳී නැඟෙන
දළ රළ පෙළ
වෙර­ළට සෙනෙ­හ­සින්
රහස් මුමු­ණයි
හරි පුදු­ම­යකි
නිමා­වක් නැති සෙනෙ­හස

සුනේත්‍රා විජේ­රත්න


මත­කය

ඉමක් කොනක් නොපෙ­නෙන සයු­රක
නිල් දිය දහර සමඟ ගැටෙ­මින්
හබල් ගසා ඉදි­රි­යට ඇදෙන
නිර්මල ජීවිත අන්ද­රය
ගොඩ­න­ඟ­න්නට වෙහෙස දරන
එක්තරා යෙහෙ­ළි­ය­කගේ
ජීවිත කතාව…
කඳුළු බිඳුව­කින්
වෙහෙස මතු කර
ගොඩට ඇදෙන
සින­හව මැකී ගිය
දුක්බර මත­ක­යන් සමඟ
මාදැ­ලෙන් වස­න්නට
හැකි­වේද අපට….

ආර්. එම්. විහඟි සඳ­ගෝමි රත්නා­යක


තුන්දොර

දින­කට සිදු­වේද කොත­රම් අතො­රක් නැති අද­මි­ටු­කම්
වර­දට බැඳු­නද අඟ­නන් විස­ඳනු වස් අග­හි­ඟ­කම්
ඉඩ­මට ගැටු­නද දූ දරු අම­තක කර සොහො­යු­රු­කම්
කුම­කට ඉන්නේ මිනි­සුන් පොදි බැඳ­ගෙන නොමි­නි­ස්කම්
කියුම් කෙරුම් දෙන තර­මින් ඵල­යක් නැති බව පෙනුනේ
වැදුම් පිදුම් කළ පම­ණින් සැම සිත් නැහැ මල් පිපුනේ
උතුම් මිනිස් ගති­යෙ­න්මයි ජීවිත යහ­මඟ තැනුනේ
සිතින් කයින් සංවර නම් බිය සැක නෑ ළඟ රැඳුනේ
රැදු­නොත් ආගම දහ­මෙම ජීවිත කාලෙට ඉම­හත්
ගෙන­විත් දේ සැන­සී­මක් මිනිස් කමට එය වැද­ගත්
මිදු­නොත් දුශ්ශීල බවින් රැක­ගෙන තුන් දොර සිල්වත්
ගුණ­වත් මිනි­සකු ලෝකෙට තිළිණ කරයි එය යහ­පත්

බිමල් හේරත් මුදලි නායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division