Home » පාසි සහිත පොකුණකට සමාන පුද්ගලයන්

පාසි සහිත පොකුණකට සමාන පුද්ගලයන්

සතිමත් බවට පසුවදනක්

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

‘කාර්ය බහුල ලෝකයක දිවි ගෙවන මනස නිරතුරුවම ව්‍යාකූලය. එම ව්‍යාකූල බවින් මිදී සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරී වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙසින් වැඩිය නොහැකිය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝදෙනා ‍‌ෙථරවාදී නිකායන්ගේ භාවනානුයෝගීත්වය මහත්සේ අගය කරති.

ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහ නාහිමි විසින් රචිත Mindfulness In plain English

(සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අ‍ෙමරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ 100ක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සතිපතා කොටස් වශයෙන් සිළුමිණෙහි පළවන අතර, මේ එහි හතළිස්වැනි කොටසයි.

මෛත්‍රී භාවනාව පුරුදු කිරීමට මෙහි දක්වා ඇති ක්‍රමයට අමතරව තවත් ක්‍රමයක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. ඔබ මෙහිදී ද භාවනාව ආරම්භ කරන්නේ ස්වයං වෛරය හා හෙළාදැකීම සිතින් බැහැර කිරීමෙන් අනතුරුවය. භාවනා වාරයක් ආරම්භයේදී තමාටම මෙසේ කියා ගන්න. එය අවංකවම විශ්වාසයෙන් යුතුවම සිතින් සිතන්න.

‘‘මගේ සිත මෛත්‍රී, කරුණා. මුදිතා උපේක්ෂා සිතිවිලිවලින් පිරේවා. මම ත්‍යාගශීලී වෙම්වා! මෘදු වෙම්වා! සන්සුන් වෙම්වා! සතුටින් සමාදානයෙන් සිටිම්වා! නීරෝගි වෙම්වා! මගේ හදවත මුදු මොළොක් වේවා! මගේ වචන ප්‍රියමනාප වේවා! මගේ ක්‍රියා කරුණාවෙන් යුතුවේවා!

මා දකින, අසන, ආඝ්‍රාණය කරන, රස විඳින, ස්පර්ශ කරන, සිතන සියල්ල මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වැඩීමට මට උදවු වේවා! මේ සියලු අත්දැකීම් ත්‍යාගශීලී බව හා මෘදු මොළොක් බව වැඩීමට උපකාරී වේවා! මේ සියල්ල මට සන්සුන් වීමට උපකාරී වේවා! මිත්‍රශීලී බව වැඩේවා! මේ සියලු අත්දැකීම් සමාදානය හා සතුට ගෙනදේවා! බිය, සංකාව, ආතතිය, අසහනය, නොසන්සුන් බවින් මිදීමට මේ සියලු අත්දැකීම් මට උපකාරී වේවා!

ලෝකයේ කොතැනක වුවත්, කොයි දිසාවක වුවත්, මිනිසුන් සතුටින්, සාමයෙන් හා මිත්‍රශීලී බවෙන් පිළිගැනීමට මට හැකිවේවා! සෑම දිශාවකින්ම මා ලෝභය, තරහ, පිළිකුල, වෛරය ඊර්ෂ්‍යා හා බියෙන් ආරක්ෂා වේවා!

අපි මෙසේ අප තුළට මෛත්‍රිය වඩාගන්නා විට, අනෙක් අය තුළද, කොතරම් සැඟවී හෝ මේ කාරුණික මෘදු ස්වභාවය ඇති බව දැක ගැනීමට පුරුදු වෙමු. ඇතැම් විට එය සොයා ගැනීමට ගැඹුරට හාරා බැලීම අවශ්‍ය වෙයි. ඇතැම්විට එය මතුපිටට ආසන්නයේම දැකගත හැකි වෙයි.

කසළ තුළින් දැක ගැනීම

මහ මඟදී කිලිටි රෙදි කැබෙල්ලක් අහුලා ගන්නා භික්ෂුවකගේ කතාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට තිබේ. රෙදි කඩමාල්ල කෙතරම් කිලිටි ද කිවහොත් එය අතින් ඇල්ලීමට පවා මේ භික්ෂුව කැමති වූයේ නැත. ඔහු එය කකුලින් එහා මෙහා කර දූවිලි ගසාදමා, ඉතා පිළිකුලින් යුතුව ඇඟිලි දෙකින් අල්ලා තමා වෙතින් ඈත්කර බලයි.

මෙසේ කරන අතරම, මේ කිලිටි කඩමාල්ලෙන් යම් වැඩක් ගත හැකි බව දකින ඔහු එය ගෙන ගොස් කිහිපවිටක් නැවත නැවත සෝදා බලයි. අවසානයේ සේදූ ජලය පිරිසිදු බවත්, අර දූවිලි හා දැලි කුණු අතරින් ප්‍රයෝජනවත් රෙදි කඩක් මතු වූ බවත් දකියි. මෙවැනි රෙදි කැබලි කීපයක් එකතු කරගත හොත් මෙම රෙදි කඩින් සිවුරක් තනාගත හැකි බවත් භික්ෂුව අවබෝධ කර ගනියි.

මේ අන්දමින්ම, පුද්ගලයෙකුගේ නපුරු වචන නිසා ඔහු කිසිම වැදගැම්මකට නැති කෙනෙකු ලෙස පෙනී ගිය හැක. මෛත්‍රීය දැක්වීමට ඔහුට කිසිසේත්ම පුළුවන්කමක් ඇතැයි සිතිය නොහැකි තරම්ය. එහෙත් සම්මා වායාම (යහපත් වෑයම) අවශ්‍ය වන්නේ මෙහිදීය. මේ පුද්ගලයාගේ දළ ගොරෝසු පෙනුම යට ඉතා උණුසුම් හදවතක් සහිත දි‍ෙලන මැණිකක ස්වභාවය ඇති කෙනෙකු සිටිය හැක.

කෙනෙකු නපුරු වචන කථාකළ ද, ඇතැම්විට ඔහුට අනුකම්පා සහගත කරුණාවෙන් ක්‍රියා කළ හැක. කථාව කෙබඳු වුවත් ක්‍රියාව යහපත් විය හැක. මෙබඳු පුද්ගලයන් බුදුන් වහන්සේ විසින් හඳුන්වන ලද්දේ මතුපිට පාසි සහිත පොකුණකට සමාන කරමින්ය. ජලය අවශ්‍ය නම් පාසි ඉවත් කරගත යුතුය. එසේම කෙනෙකු තුළ ඇති දයාබරිත හදවත දැකීමට නම් ඇතැම් විට අපට ඔහුගේ මතුපිටින් පෙනෙන අඩුපාඩු නොතකා හැරිය යුතු වෙයි.

එහෙත් කෙනෙකුගේ වචන මෙන්ම ක්‍රියාවන් අකාරුණික නම් එවිට කුමක් කළ යුතුද? ඔහු ඇතුළතින්ම කුණු වී ඇද්ද? මෙබඳු කෙනෙකු තුළ පවා පිරිසිදු හදවතක් තිබිය හැකිය. ඔබ කාන්තාරයක් මැදින් ඇවිද ආවා යැයි සිතන්න. අවට කිසි තැනක දිය බිඳුවක්වත් නැත. ඔබට දැඩි රස්නයක් හා මහන්සියක් දැනේ. තබන පියවරක් පියවරක් පාසා ඔබේ පිපාසය දැඩි වෙයි. දිය බිඳක් ලබා ගැනීමට ඔබ නොඉවසුම්ය. මේ මොහොතේ ඔබට ගවයකුගේ කුර සටහනක් ඉදිරියෙහි පෙනේ. එහි දිය ස්වල්පයක් ඇත. කුර සටහන නොගැඹුරු නිසා දිය ඇත්තේ ඉතාම ස්වල්පයකි. දිය ඇබිත්ත අතින් ගන්නට වෑයම් කළොත් එය බොරවෙයි. පිපාසය ඉවසිය නොහැකි ඔබ දණ ගසාගෙන බිමට නැමි කුර සටහනට මුව ළංකර ඉතා පරිස්සමින් දිය බිඳ බොර නොවන පරිදි දෙතොලින් උරා බොයි. අවට සියල්ල මඩ සහිත වුවද දිය බිඳ පමණක් පිරිසිදුය. ඔබට පිපාසය නිවාගත හැක. සියලුම උත්සාහයන් මඟින් කිසිදාක හැඩගැසීම නොහැකි යයි සිතන පුද්ගලයා තුළ පවා පිරිසිදු හදවතක් සොයාගත හැකි වනු ඇත.

මා වැඩි වශයෙන් භාවනා පුහුණු කරවන මධ්‍යස්ථානය පිහිටියේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ පිටිසර බද කඳුකරයකය. අප මධ්‍යස්ථානයක් විවෘත කළ මුල් කාලයේ අසල මාර්ගයේ එහා පසින් ජීවත් වූ බෙහෙවින් අහිතවත් බවක් පෙන්වූ පුද්ගලයෙක් විය. මා දිනපතා එම පාරේ ටික දුරක් ගමන් කළ අතර, මේ පුද්ගලයා දුටු සෑම විටකම ඔහුට අත වැනිමි. ඔහු මට රවා බලා ඉවත බලාගන්නේය. එසේ වුවත් මම හැමවිටම ඔහුට අතවනා ඔහු ගැන මෛත්‍රී සහගතව සිතිමි. ඔහුගේ හැසිරීමෙන් මා අධෛර්යය වූයේ නැත. මගේ උත්සාහය ද අත්හැරියේ ද නැත. ඔහු දකින හැම විටකම ඔහුට අත වැනිමි. අවුරුද්දකට පමණ පසු ඔහුගේ හැසිරීම වෙනස් විය. රවා බැලීම නතර විය. මට පුදුම සතුටක් දැනුණි. මෛත්‍රිය වැඩීමේ ප්‍රතිඵල ආරම්භ වෙමින් තිබුණි.

තවත් අවුරුද්දකට පමණ පසු මගේ සක්මනේදී ආශ්චර්යමත් යමක් සිදුවිය. මා පසුකරගෙන යද්දී ඔහු වාහනයේ සුක්කානමෙන් අත ඉවතට ගෙන එක ඇඟිල්ලක් එසවීය. නැවත මට මෙසේ සිතුණි. “මොන තරම් සතුටක් ද, මෛත්‍රිය වැඩකරන හැඩයි.” තවත් අවුරුද්දක් මෙසේ ගත වෙද්දී මම දිනපතාම ඔහුට අත වනා යහපතම ප්‍රාර්ථනා කළෙමි. තුන්වෙනි අවුරුද්දේ ඔහු මා දෙසට ඇඟිලි දෙකක් එසවීය. ඊළඟ අවුරුද්දේ ඇඟිලි හතරම සුක්කානමෙන් උඩට එසවීය. තවත් කලක් ගතවිය. දිනක් ඔහු වාහනය මිදුලට හරවන විටම වාගේ මම එතනින් යමින් සිටියෙමි. ඔහු සුක්කානමෙන් අත සම්පූර්ණයෙන්ම ඉවතට ගෙන එළියට අත දමා මට අත වැනීය.

මින් ටික දවසකට පසු, වනරොද මැදින් දිවෙන පාරක් අයිනේ ඔහු වාහනය නතර කරගෙන සිටිනු දුටුවෙමි. රියැදුරු අසුනේ වාඩිවී ඔහු දුම් වැටියක් උරමින් සිටියේය. මම ඔහු ළඟට ගියෙමි. අපි දෙදෙනා කතාවට වැටුණෙමු. මුලදී කාලගුණය ගැන කතා කරමින් සිට ටිකෙන් ටික ඔහුගේ කතාව දිග හැරියේය. ඊට අවුරුදු කීපයකට පෙර ඔහුගේ ට්‍රක් රථය මතට ගසක් කඩා වැටී ඔහු දරුණු අනතුරකට භාජනය වී තිබේ. ඔහුගේ සිරුරේ හැම ඇටයක්ම පාහේ කැඩී ගිය අතර සිහිසුන් තත්ත්වයෙන් ඔහු කලක් ගිලන්ව සිට ඇත. මා මුලින්ම ඔහු දකින දිනවල ඔහු යන්තම් සුවය ලබමින් සිටියා පමණි. මගේ අත වැනීමට ප්‍රතිචාර දක්වා මට ආපසු අත නොවැනුවේ ඔහුගේ නිහීන කමකට නොව අතේ ඇඟිලි සියල්ල නැවීමට නුපුළුවන් වූ නිසාය. ඒ අවදියේ මගේ මෛත්‍රී සිත ඔහු වෙතින් ඉවත් කළේ නම්, මේ පුද්ගලයා කෙතරම් හොඳ මිනිසෙකු දැයි කිසිවිටෙකත් මට දැනගන්නට නොලැබෙනු ඇත. මා මධ්‍යස්ථානයෙන් බැහැර චාරිකාවක යෙදී සිටි අතර එක් දවසක ඔහු එහි පැමිණ මා ගැන විමසා තිබේ. මා දින කීපයක්ම සක්මනෙහි යෙදෙනු නුදුටු බැවින් ඔහු කනස්සල්ලට පත්ව තිබිණ. දැන් අපි හොඳ මිතුරෝ වෙමු.

(මීළඟ කලාපයෙන් මුළු ලොවටම මෛත්‍රී කරන අයුරු දැන ගනිමු)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division