තියෙන කරදර මදිවාට, අවුකන පිළිම වහන්සේට සිවුරුක් පෙරවීමෙන් බෞද්ධ බැතිමතෙක් ලෝක ලෙඩක් දමාගෙන ඇත. ආගම් සහ උසාවි යන දෙකම ඉතාම සංවේදී කාරණා වෙති. මේ දෙකට අමතරව ජාතිය, කුලය, ප්‍රේමය යනාදිය ද ඉතාම සංවේදීය. මේ නිසා ඉහත කාරණා සම්බන්ධයෙන් ඉතාම මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් එකී කාරණා සමඟ නොගැටී සිටීමටත් සාමාන්‍ය ජනතාව හුරුපුරුදු විය යුතුය. ආගම යනු විශාල විභවයක් සහිත බලවේගයකි. එක මොහොතින් කෝටි ගණන් සෙනග එක තැනකට ගෙන ඒමට ආගමකට හෝ දෙවියන්ට පුළුවන. මෙහිදී අප දෙවියන් ලෙස හඳුන්වන්නේ දේව භක්තියයි.
සාමාන්‍යයෙන් දේශපාලනඥයන් හිතාගෙන සිටින්නේ සෙනග එකතු කිරීමේ බලය තමන් සතුව තිබෙන බවය. එය මුළාවකි. ඉතා සුළු මොහොතකින් ඉස්ලාම් ආගමික නායකයන් එම සමය අදහන ජනයා එකතු කර ගැනීම පිළිබඳ අමුතු උදාහරණ අවශ්‍ය නොවේ. මේ නිසා ආගම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී හැකි උපරිමයෙන් ප්‍රවේශම් සහගත විය යුතු බව අපි නැවත වතාවක් කියමු.
සමභංග ඉරියව්වෙන් යුත් විශාල බුදු පිළිම 5 ක් ලංකාවේ තිබෙන අතර, අවුකන බුදු පිළිමය ඉන් එකකි. මේ පිළිම වහන්සේ ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසට අයත් වන අතර, විශිෂ්ටම ඉංජිනේරුමය කාර්යයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකිය. සමභංග ක්‍රමය යනු ශරීරයේ බර දෙපාවලට සම සමව බෙදී යන සේ ශරීරය කෙළින් තබාගෙන සිටීමයි. මීටර් 12 ට කිට්ටු උසක් සහිත අවුකන බුදු පිළිමය එහි තිබෙන ආගමික වටිනාකම සහ උපශාන්ත ස්වරූපයට අමතරව විශේෂ ඉංජිනේරුමය කාර්යයක් ලෙස අර්ථ නිරූපණය වන්නේ මෙබැවිනි.
අවුරුදු 1200ට පෙර තනි ගලක නෙළන ලද මේ පිළිම වහන්සේ සතු ජ්‍යාමිතික ස්වරූපය ඉතාම නිවැරැදිය. ථෙරවාදී බෞද්ධ ලෝකයේ තිබෙන උසස්ම පිළිම වහන්සේ ලෙස අවුකන ප්‍රතිමාව දැක්විය හැකිය. ඒ නිසා මේ පිළිම වහන්සේට සිදු විය හැකි ඉතා කුඩා හානියකින් වුව ද බෞද්ධ ජනතාව බලවත් සේ නොසන්සුන් වෙනවා ඇත. අවුකන පිළිම වහන්සේට සිවුරක් පොරවන ලද්දේ බෞද්ධ සිද්ධස්ථානවලට නිරන්තරයෙන් ආමිස පූජා කරන පුද්ගලයකු විසිනි. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ යනු ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට තැන දුන් ආගම් වක්තෘවරයෙකි. ඒ නිසා වෙහෙර විහාරවලට සිවුරු පූජා කිරීම සම්බන්ධයෙන් මතභේදයක් පවතී.
අවුකන පිළිම වහන්සේට පූජා කළ චීවරය බෙහෙවින් සාම්ප්‍රදායික ලෙස ආගමික නිර්ණායකයන්ට අනුව සකස් කරන ලද අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ කිහිපයක් වැය වී ඇතැයි උපකල්පනය කළ හැකිය. මේ මුදලින් දුගී පාසල් දරුවන්ට ඇඳුම් සහ පොත් පත් රැගෙන දීම. දානේ වේලක් නැතිව කුසගින්නේ දුර බැහැර පන්සල්වලට වී සිටින භික්ෂූන් වහන්සේලාට දන් ලබාදීම, මාරාන්තික රෝගවලින් පෙළෙන අයට බෙහෙත් කුප්පි දෙක තුනක් ලබා දීම වැනි යමක් කළේ නම් එම ක්‍රියාව බුදුන් වහන්සේගේ ප්‍රතිපත්ති පූජාව නමැති සංකල්පයට පර්යාය වෙයි. මේ සිවුර පෙරවීමේදී කටයුතු කර ඇති ආකාරය ද නුසුදුසු බව හැඟෙයි. සිවුර පොරවන අවස්ථාවේදී අවුකන පිළිම වහන්සේගේ උරහිස ආසන්නයට නැඟ සිටින පුද්ගලයකුගේ ඡායාරූපයක් අන්තර්ජාලයේ පළ වී ඇත. ඒ පුද්ගලයා සිවුර පෙරවීමට ආධාර කරන්නෙකි.
පුරාවිද්‍යා පනතට අනුව අවුකන බුදු පිළිම වහන්සේගේ උරහිස තෙක් නැඟීම තබා එම පිළිම වහන්සේ ස්පර්ශ කිරීම පවා තහනම් ය. සිවුර පූජා කළ බැතිමතා එයට අවසර ලබාගෙන ඇත්තේ අවුකන විහාරයේ අධිපති හිමියන් වෙතිනි. මෙය ඊට අදාළ සියලු පාර්ශ්ව විසින් දුරදිග නොහිතා කරන ලද දෙයක් බව පෙනී යයි. මෙහිදී සිවුර පූජා කළ අය පිළිම වහන්සේට එම සිවුර පෙරවූ අය එම කාර්යයට අවසර දුන් විහාරාධිපති හිමියන් වහන්සේ යනාදීහු විත්ති පාර්ශ්වයට අයත් වෙති. නීතිය නොදැනීම දඬුවම් නොලැබීමට හේතුවක් නොවේ. ඒ නිසා විත්ති පාර්ශ්ව තමන් කළ දේ සම්බන්ධයෙන් ඉන්තේරුවෙන්ම වැරදිකරුවෝ වෙති. එහෙත් එම පාර්ශ්ව සතු බුද්ධාලම්භන ප්‍රීතිය මඟින් ඔවුන් කළ වැරැද්ද නිෂ්ප්‍රභ කෙරෙනවා ඇත.
උමාරා සිංහවංශ ශ්‍රී ලංකා මාතා වෙනුවට ශ්‍රී ලංකා මහතා යනුවෙන් උච්චාරණය කළේ මේ රටේ ජාතික ගීයට අපහාස කිරීමට නොව ඇය දැන උගත් ගායනා ශෛලිය අනුව කටයුතු කරනු පිණිසය. ඒ අනුව පෙර වැරදි කිසිවක් නැති උමාරා සිංහවංශට කිසියම් චාන්ස් එකක් දෙන ලදී. අවුකන ප්‍රතිමාවට සිවුර පෙරවීමේ සිද්ධිය අහිංසක සිද්ධියක් ලෙස අපි දකිමු. එහෙත් තත්පර කිහිපයක් තුළ අංගුලිමාල වීමට අහිංසකට හැකි විය. භක්තිය යනු ගොන් වැඩක් නොවේ. එය හෘදයාංගම කටයුත්තකි. කොතරම් හෘදයාංගම වුවද මිනිසුන් සිය මනෝමූල තත්ත්ව මඟින් සමාජයට විය හැකි හානිය පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුය. මෙවැනි සිදුවීම් වලදී ඉතා දරුණු ක්‍රියාමාර්ග ගන්නා ආගම් ලෝකයේ තිබේ. බුදු දහම එසේ නොවන වඩාත් නිදහස් දර්ශනයක් වීම සියලු දෙනාගේ වාසනාවය.