Home » යාල සෆාරිය ජනවාරියේ තිරිහන් වෙයි

යාල සෆාරිය ජනවාරියේ තිරිහන් වෙයි

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

න අඩවියේ සැබෑ හිමිකරුවෝ වන සතුන්ය’ ‘වන අලින්ගේ චර්යාවට බාධා වන කිසිදු කටයුත්තක් නොකරන්න.‘ අතරමඟ හමුවන අනේකවිද පුවරු පසු කරමින් හුළං කපා යන හීයක් පරිද්දෙන් කිරින්ද පාර හරහා යාල පළටුපාන, කටගමුව පිවිසුම් හරහා දෙනෝ දාහක් පිවිසෙන්නේ රුහුණ යාල ජාතික වනෝද්‍යානය නරඹන්නටය. එහෙත් අතොරත් නැතුව සංචාරකයන් රැගෙන රිසි සේ සුළං කපාගෙන පුවරු පසු කරමින් සෆාරි ජීප් රථ ඇතුළු වන්නේ මිනිස් වාසයෙන් බොහෝ ආගන්තුක වූ සතුන්ගේ රජ දහනකට බව කාටත් අමතකව ගොස් ඇතිවාක් සේය.     

ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ පිහිටි වර්ග කිලෝමීටර් 978.8 කට වඩා පැතිර ඇති හොඳම සෆාරි අත්දැකීම් වින්දනය කළ හැකි රටේ දෙවන විශාලතම ජාතික වනෝද්‍යානය යාල ජාතික වනෝද්‍යානය බව නොරහසකි. අලි ඇතුන්, කොටි වලසුන් මෙන්ම රිසි සේ පක්ෂින්ට අයත් වූ අපූරු ජෛව විවිධත්වය මැද සුළු මොහොතක අස්වැසිල්ලක් විඳින්නට මෙය අපූරු නිවහනකි. මෙය 1900 දී වනජීවී අභය භූමියක් ලෙස ආරම්භ කරන ලද අතර පසුව 1938 දී ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කළත්, අදටත් යාල ජාතික වනෝද්‍යානයේ සෆාරි නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිර යන්නේ වනෝද්‍යානයකට තරම් නොවූ ගැටලු බාධා රැසක් මධ්‍යයයේය.

අන් සත්ත්ව උද්‍යාන හා සංසන්දනයේදී අපේ යාල වනෝද්‍යානය Observability හෙවත් නිරීක්ෂණ හැකියාව අතින් මුල් තැන ගන්නේ සතකු දැකගත හැකි හොඳම වනෝද්‍යානය වශයෙනි. 2023 වසරේ පෙබරවාරි 27 වැනිදා නිකුත් කළ Forbes වාර්තාව පවසන්නේ අප්‍රිකාවෙන් පිටත හොඳම සංචාරක ගමනාන්තය වීමේ හැකියාව යාලට ඇති බවය. සම්මානනීය ඡායාරුප ශිල්පියකු වන Angie Scott පවසන්නේ ලොව වනෝද්‍යාන අතරින් කොටි දැකගත හැකි හොඳම ස්ථානයක් යාල වන බවය. ලෝකයේ වනෝද්‍යානයක් තුළ සිටින එකම සුදු අලියා අදටත් ඉන්නේ යාල බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

එහෙත් සීමා මායිම් කොතෙක් තිබුණ ද, පසුගිය කාලයේ යාල සෆාරි ජීප් රථ සේවාවේ අසුබ පුවත් මැවූ අයුරු තවමත් අමතක නැත. අධිකරණය හරහා යාමට තරමේ සතුන්ට පීඩාකාරී අනර්ථකාරී එවැනි හැසිරීම් අදටත් නැතුවා නොවේ. එදා පරිසරය වින්දනය කිරීමට වෙන් වූ යාල සෆාරිය අද සපුරා වෙන්ව ඇත්තේ කොටි දැකීමේ අරමුණ වෙනුවෙනි. 2021 යාලදී සිදු කළ සංගණනයකට අනුව කොටි 80ක්, අලි 558 දෙනකු පමණ ඇති බවත් වාර්තා වුව ද, පරිසරවේදීහූ පවසන්නේ එසේ වුවද යාල කොටියකු දැක ගැනීම බෝනස් දිනුමක් හා සමාන තරමක් අසීරු කටයුත්තක් බවය. මේ නිසාවෙන් යාලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් බහුතරයකට එවැනි අත්දැකීමක් ලබන්නට හැකි වන්නේ නැත‍. යාල ප්‍රවර්ධනය වෙනුවෙන් කැපවන විද්වතුන් පවසන්නේ යාල සංචාරය දිනෙන් දින දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දුරස් වන්නට සෆාරි ජීප් රථ රිය­ැදුරන් හා බැඳුණු නොබැඳුණු මෙවැනි කරුණා කාරණා රැසක් ඉවහල් වූ බවය.

යාල ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව මේ වන විට යාල සංචාරක කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා නිරීක්ෂණය කිරීමේ කමිටුවක් පත් කරන්නේ මේ අවදානමට පිළියමක් වශයෙනි. එම කමිටුවේ සභාපති ලෙස හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය, වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමයේ සභාපති ජෙහාන් කනකරත්න හා පරිසර සම්මේලනයේ ආචාර්ය යොහාන් වීරසූරිය කටයුතු කරන අතර මේ වන විට මෙහි මුල් අදියරේ යාල සෆාරියේ පදනම වූ සෆාරි ජීප් රථ රියැදුරන් විධිමත් පුහුණුවක් ලබා 2024 ජනවාරි මස සිට ඔවුන්ට යාලට පිවිසීමට අනිවාර්ය වූ විධිමත් හැඳුනුම්පතක්ද නිකුත් වෙයි. ඒ 475කට ආසන්න වූ ජීප් රථ හිමි 800ක පමණ රියදුරන්ටය.

“ පසුගිය කාලයේ යාල සෆාරිය ජාත්‍යන්තරයේ අපකීර්තියට පත්වුණා. අද යාලට පැමිණෙන විදේශිය සංචාරකයන් අඩු වෙමින් යනවා. ලංකාවට එන සංචාරකයන් යාලට යාම ප්‍රතික්ෂේප කරනවා. ඒ සඳහා පසුබිම් වූ කරුණු කාරණා ගණනාවක් පසුගිය කාලය තුළ අපි අධ්‍යයනය කළා. ප්‍රධාන දේ සෆාරි ජිප් රථ රියැදුරන්ගේ හැසිරීමේ ප්‍රශ්න. ඒ වගේම සංචාරකයන්ගෙත් විශාල ප්‍රශ්න තියෙනවා. මේ නිසා යාලට එන සංචාරකයා යන්නේ නැවත යාලට නොඑන බව පවසමින්. මේ තත්ත්වය වෙනසකට ලක් කරන්න නම් විනයක් පැවැතිය යුතුමයි. යාල ලංකාවේ තියෙන හොඳම වනෝද්‍යානය. නමුත් මේ පවතින තත්ත්වය වෙනසකට ලක් නොවුණොත් තවත් වසර දහයක් ඇතුළත යාල සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඉවරයි. යාල දැනටමත් සතුන් අඩු වෙමින් යනවා. සංචාරකයන් එන්නේ ගස් වැල් බලන්න නෙමෙයි. අද බොහෝ සෆාරි ජීප් රථ රියැදුරන් අධික වේගයෙන් ධාවනය කරනවා වගේම සතකු සිටින ස්ථානයකදි දක්වන හැසිරීම යහපත් නැහැ. සතකු සිටින ස්ථානයකදී අනවශ්‍යය තදබදයක් ඇති කරනවා සේම ඒ හැසිරීම සතුන්ගේ ගහනය අඩුවීමට ද බලපා තියෙනවා”

ඒ හිටපු වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටියයි. සතිපතා තිස්සමහාරාම කාවන්තිස්ස වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදි මේ පුහුණු කිරීම සිදු කරන්නේ ඔහු ප්‍රධාන වූ විද්වත් පිරිසක් විසිනි. ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය, වනජීවී දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ද මේ කටයුත්තේදී දක්වන්නේ නොමසුරු සහායකි.

යාල වනෝද්‍යානයට දිනකට අති විශාල වාහන සංඛ්‍යාවත් ඇතුළු කිරීම වනෝද්‍යානයේ පැවැත්මට හිතකර වන්නේ නැත. යාල වනෝද්‍යානයටම ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් සිටින්නේ අතේ ඇඟිලි ගණනට පමණි. එනම් 10කි. මේ නිසා සියයට අනූවක් වූ වාහන බ්ලොක් 1 කොටසේ දුවන්නේ ඔවුන්ටම රිසි පරිදිය. සියයට 75ක් පමණ සංචාරකයන් තෘප්තිමත් කිරීම උදෙසා වනයේ නීති උල්ලංඝනය කරති. අතට හසු වූ විට සුළු දඩයක් ගෙවා දිනක් දෙකක් සිය වාහනය තහංචියකට ලක්වීම සාමාන්‍ය දෙයක් වී හමාරය.

“බොහෝ සෆාරි රියැදුරන් යාල කොටි බැලිය හැකි බවට ගැරන්ට් කරලයි සංචාරකයන් ගේන්නේ. මේ නිසා වේග සීමා පිළිබඳ කිසිදු අවබෝධයක් නැහැ. දිනෙන් දින යාල අධික වාහන තදබදයක් පවතින්නේ. බොහෝ රියැදුරන් නීති පිළිපදින්නේ නැහැ වගේම හොඳ හැසිරීමක් දකින්නට නැහැ. අවදානම් ලෙස රිය පදවනවා. සතකු සිටින ස්ථානයකදි වාහනයේ එංජිම නවත්වා සංචාරකයන්ට සතා පෙන්වීමේ ක්‍රමවේදයක් තිබුණත් එය හරියාකාරව ක්‍රියාත්මක කරන්නේ නැහැ.

ජංගම දුරකතන හරහා සම්බන්ධ වෙමින් කොටි පෙන්වීමේ අවශ්‍යතාව නිසා මාර්ග නීති කඩකරනවා…..“ ඒ ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ හිටපු සභාපති ස්පෙන්සර් මැනුවෙල්පිල්ලේය. කොළඹ විශ්වවිද්‍යාලය විසින් පසුගිය කාලයේ ජාතික වනෝද්‍යාන නරඹන්නට යන පිරිස් සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයෙන් සනාථ වී ඇත්තේ වනෝද්‍යානයක දෙවැනි වර අත්දැකිම් විඳ ගන්නට යළිත් යන පිරිස 2%ක් තරම් අඩු පිරිසක් බවයි. ඊට හේතුව වන්නේ මුල් අත්දැකීමේ අසාර්ථක බව නිසාය.

ලූකස්, මයිකල්, ජෙසිකා යැයි නම් තැබූ යාල කැලේ කොටි බහු ලක්ෂණ පදනම් කරගනිමින් මුල්ම හැඳුනුම් කිරීමක් සිදු කළේ ද යාලය. ගැමුණු, රෝමි, රොලී, බන්දු එරංගලා ඇත් අලි රජුන් අදටත් යාල කැලේ රිසි සේ දැක ගන්නට හැකි වන්නේ මේ විනය ආරක්ෂා කළේ නම් පමණි. විටක යාල ජබුරාගල පාර පිරී යන්නේ කළු කොටියා පෙන්වීමේ අරමුණින්ය. තම සංචාරකයාට කොටියකු පෙන්වීමේ පොරොන්දුව නොදී සතුන් පෙන්වීමේ අරමුණක් දුන්නේ නම් කොටියකු වලසකු දැකීම යළිත් සංචාරයට ප්‍රමාණවත්ය.

“අද යාල සංචාරක තෘප්තිය අතින් ඉවත් වූ ස්ථානයක් වෙලා. ගමන්නාන්තය අවසානයේ හොඳ ප්‍රතිචාර ලැබන්නේත් නැහැ. ලංකාවේ වැඩිපුරම මුදලක් අය කරන්නේ යාල ප්‍රදේශයේ හෝටල්වලට. එසේ වියදම් කරලා මේවාට එන්නේ යාල ජාතික වනෝද්‍යානය නරඹන්න. අපේ සෆාරි රියැදුරන්ට, සංචාරකයන් හැසිරවීමට ඇත්තේ අඩු දැනුමක්. යාල සෆාරියේදි වෙනමම ගයිඩ් කෙනෙක් නොලැබෙන නිසා ඒ රිය­ැදුරන්ට ඊට එහා ගිය දැනුමක් තිබිය යුතුයි. “ඒ මේ කාර්යයේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ තිරසර සංවර්ධන අංශයේ උපදේශක චින්තන දුමිනිදුහේවාය. යාල සෆාරි ජීප් රථ රියැදුරන්ගේ මේ විනය, කාර්යක්ෂමතාව ගොඩනැඟීම හරහා ප්‍රසන්න නිල ඇඳුමක්, ආරම්භයේදිම හොඳ පිළිගැනීමක් තිබිය යුතු බව ඔවුන්ගේ අදහසයි. කෙසේ වෙතත් ජනවාරි මස සිට සුදානම් වන්නේ ඒ ගමන යාමටය.

මමත්, මහත්තයත් අපේ සෆාරි වාහන දෙකක සංචාරකයන්ට දුවනවා. උදේ 6ට ඇතුළු වෙලා දවල් එළියට එන්න රුපියල් 12,000ක් විතර අය කරනවා. අපි ඒ කාලය ඇතුළත කොහොම හරි හොඳ සත්තු ටිකක් පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් අපි අතර තියෙන අඩුපාඩු මෙහිදී හඳුනා ගත්තා. මේ රස්සාවේ ගයිඩ් වැඩේත් කරන්නේ අපිම නිසා සතුන් ගැන, චර්යා රටා මෙන්ම ඒවා සංචාරකයන්ට පැහැදිලි කර දීමේ විධිමත් හැකියාවක් අපිට තියෙනවා නම් මේ සේවාව මීට වඩා හොඳින් කරන්න පුළුවන් බව තේරුම් ගත්තා.

ඒ තිස්සමහාරාමයේ චතුරි ඩි. සිල්වාය. යාල සෆාරි රියැදුරු පුහුණුව වෙනුවෙන් සහභාගී වූ එකම කාන්තාව ඇයය.

“ අපි මේ රස්සාව කරන්නේ 1970 ඉඳලා.

සීසන් කාලයට ලක්ෂ 10 පමණ හොයනවා. බොහෝ විදේශිය සංචාරකයෝ ට්‍රැවල් ගයිඩ්ලා හරහා එන්නේ කොටි බලන්නමයි. ඒ අවස්ථාවේ අපි ගොඩාක් අසීරුතාවට පත් වෙනවා. පසුගිය කාලයේ අපේ අනන්‍යතාව පෙන්වීමට කිසිදු දෙයක් තිබුණේ නැහැ. ඉදිරියේදි මේ ලියාපදිංචි කිරීම හරහා අපිට ලබා දෙන විධිමත් භාවය හරිම වටිනවා“ ඒ වීරවිල චාමිකර වීරකෝන්ය.

සතියේ දිනකට තිස්ස කතරගම හරහා යාල වනෝද්‍යානයට සෆාරි ජිප් රථ 100ක් පමණ ඇතුළු වන අතර සති අන්තයේ ඒ ප්‍රමාණය දෙගුණ තෙගුණ වෙයි. මේ කිසිදු ජිප් රථයකට යාල වනෝද්‍යානය තුළදි පැයට කිලෝ මීටර 20 කට එහා ධාවනයට අවසර දෙන්නේ නැත. නමුත් යාල කොටි දැකගැන්මේ හැල්මේ දුවනා ජීප් මේ නීතිවලටද අභියෝග කරති.

මේ වන විට යාලද පැවැති අඩුපාඩු මකා ගන්නට පාලනාධිකාරිය වෙහෙසක් ගනිමින් පවතින්නේ මේ කාර්යයට සහයෝගයක් ලබා දෙන්නටය.

“ මේ වන විට දවල් 12 -2 අතර අපි යාල තුළ වාහන ධාවනයට ඉඩ දෙන්නේ නැහැ. ඒ කාලය වෙන් කරලා තියෙන්නේ සතුන්ගේ විවේකය සඳහා. මේ කාලය තුළ තමන්ගේ සෆාරි ජීප් උද්‍යානය තුළ ඇති පටනංගල හා මැණික් ගඟ ආසන්නයේ නතර කර විවේක ගැනීමට අවස්ථාව ලබා දී තියෙනවා. වැසිකිලි පහසුකම් පවා සකස් කර තියෙනවා. යාල බ්ලෝක් 1 වල කිලෝ මීටර 142ක් දුවන්න පුළුවන්. බ්ලෝක් 2 වල කිලෝ මීටර 62ක් ධාවනය කළ හැකියි. මාර්ග තදබදය අඩු කිරීමට මාර්ග 12ක් වන්වේ කළා. පසුගිය කාලයේ අධික වර්ෂාව නිසා මාර්ග ගොඩාක් විනාශ වුණා. ඉදිරියේදි ඒවා සකස් කෙරෙමින් පවතිනවා……“ ඒ යාල උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්නය.

ශ්‍රි ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ අලි මිනිස් සහජීවනය පිළිබඳ උප කමිටුවේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් පවසන්නේ මේ වන විට නිසි පුහුණුව ලත් සෆරි රථ රියදුරන් 800කට ආසන්න ප්‍රමාණයත් ජනවාරි මස යළිත් යාලට එක්වන්නේ ලංකාවේ හොඳම සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ ඒකායන අරමුණ පෙරදැරිව බවය.

 

සුභාෂිණි ජයරත්න, සේයාරූ - ගයාන් පුෂ්පික

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division