Home » මට තේරුණා රඟපාන්න නම් බෑ කියලා

මට තේරුණා රඟපාන්න නම් බෑ කියලා

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

– බොහෝ නිර්මාණ කර නෑ ඒත් කරලා තියෙන නිර්මාණ ගැන තෘප්තියක් තියෙනවා
– සංගීතවත් කළ ගීත අතරින් මේ ගීතය තමයි බොහෝම ජනප්‍රිය වුණේ

සංගීත අධ්‍යක්ෂණයෙන් කලා ලොව තුළ යම් ස්ථාවරයකට පැමිණි මහේෂ් විතාන සංගීතවත් කළ “අවලාද නගරේ සඳලියෝ, හමන සුළඟට” නමැති ගීත ඉකුත්දා එළිදැක්විණි. සිය සංගීත නිර්මාණ කාර්යයන් ගැන කළ කතා බහකි මේ.

ඔබේ කලාදිවියේ ආරම්භය සිහිකළොත් ..?

මගේ කලා දිවිය ආරම්භ වෙන්නේ පාසල් කාලයේදීමයි. මගේ සංගීත ගුරුවරයා වුණේ ප්‍රවීණ සංගීතඥ සුනිල් දයානන්ද කෝණාරයන්. පාසල් කාලයේ සමස්ත ලංකා සංගීත තරගවලට සහභාගි වෙලා පළමු සහ දෙවැනි ස්ථාන ලබාගෙන තියෙනවා. ඒවගේම ඉන්දියන් භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් විශාරද දක්වා හදාරා තිබෙනවා. ඒ සියල්ල කළේ පාසල් කාලයේ .

පාසල් අවදියේ කලා කටයුතුවලට යොමුවුණාද?

මම කැලණිය විශ්වවිද්‍යාලයට තේරුණා. ඒ ගණිත අංශයෙන්. ඒකාලයේ විශ්වවිද්‍යාලයේ තිබුණු කලා උලෙළවලට සංගීත අංශයෙන් එකතුවෙනවා.

ඔබේ නවතම නිර්මාණය පිළිබඳ හැඳින්වීමක් කළොත්?

මම කළ අලුත් නිර්මාණ කිහිපයක් තියෙනවා. මෑතකදී නිකුත් වුණා ආචාර්ය නන්දා මාලිනියගේ “අවලාද නගරේ සඳලියෝ” ගීතය. එහි සංගීත අධ්‍යක්ෂණය කළා.

සංගීත අධ්‍යක්ෂණයේදී සහ ගීතනු නිර්මාණයේදී ක්ෂේත්‍රයේ දැවැන්තයන්ගේ ආභාසය ඔබ ලබාගත් ආකාරය…..?

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ මට වැඩ කරන්න ලැබුණා. ආචාර්ය නන්දා මාලිනී, කරුණාරත්න දිවුල්ගනේ, ආචාර්ය වික්ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, අමරසිරි පීරිස්, කසුන් කල්හාර, බණ්ඩාර අතාවුද වැනි දැවැන්තයන් සමඟ නිර්මාණකරණයේ යෙදෙන්න අවස්ථාව ලැබුණා. ඒ ගැන අවංකවම සතුටුයි . ඔවුන් මගේ නිර්මාණ දිවියට ආලෝකයක් වුණා.

“ඇනා” මියුසික් වීඩියෝව ගැන සඳහන් කළොත්?

එහි ගීතය රචනා කළේ ප්‍රවීණ ගේය පද රචක රවී සිරිවර්ධනයන්. මේක ඇන්ටන් චෙකෝෆ්ගේ “The Lady With the Dog” හෙවත් “බල්ලා කැටුව ගිය කාන්තාව” කෙටිකතාව ආශ්‍රයෙන් ලියවුණු ගීතයක්. එයට මම රුසියානු සංගීත ආභාසය හා බටහිර සංගීතය යොදා ගත්තා. ගීතය ගායනා කළේ රූනී. මා සංගීතවත් කළ ගීත අතරින් මෙම ගීතය තමයි බොහෝම ජනප්‍රිය වුණේ. පරණ ක්‍රමයෙන් මිදිලා අලුත්ම අර්ථකථනයක් දෙන්න උත්සාහ කළා. එය නිෂ්පාදනය කළේ චමුශ්‍රී.

“හමන සුළඟට” ගීතය නිර්මාණය වීම ගැන කීවොත් ? මේ ගීතය ගයන්නේ ක්‍රිෂාන්ත එරන්දක. ඒ ගීතය මට ක්‍රිෂාන්ත අයියා තමයි දුන්නේ. ෂාමිලා හුසේන් පද රචනය කළා. ප්‍රේමයේ විරහව ගැන මින් කියවෙන්නේ.

ප්‍රවීණ ගායක ගායිකාවන් සමඟ වැඩකිරීමේදී ඔබ ඔවුන්ගෙන් ලද ආභාසය කොයි වගේද …….?

ඇත්තෙන්ම ඔවුන්ගේ සහය ඉතාම හොඳින් ලැබුණා. ඔවුන් මගේ තනු නිර්මාණවලට බොහෝම කැමැතියි. මම හැමදාම උත්සාහ කරන්නේ අලුත් විදිහේ නිර්මාණයක් කරන්න. විවිධ පරාස හොයාගෙන ගිහින් අලුත් අලුත් වැඩ කරන්න මම උත්සාහ කරනවා. මම බොහෝ නිර්මාණ කර නැහැ. ඒත් කරලා තියෙන නිර්මාණ ගැන තෘප්තියක් තියෙනවා. ප්‍රවීණයන් අපිව තේරුම් අරන් අපි එක්ක හොඳින් වැඩකරනවා.

ඔබ සංගීතයට යොමු වුණේ කොහොමද?

මම මුලින්ම ගායනයටයි යොමුවී හිටියේ. විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මගේ ගීත ඇතුළත් CD පටයක් එළිදැක්වූවා. ඒ ගී එකතුව නම් කරලා තිබුණේ “සොඳුරු තැවුල්“නමින්. එහි සංගීත අධ්‍යක්ෂණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. සුනිල් දයානන්ද කෝණාර, නවරත්න ගමගේ. කරුණාරත්න විජේවර්ධන වගේ ප්‍රවීණයන්. එච්. එම්. ජයවර්ධනයන් තනු නිර්මාණය කළා. මම තනු නිර්මාණයට යොමු වුණේ 2013/2014දී. මහින්ද බණ්ඩාර, මහේන්ද්‍ර පැස්කුවල්, සුගත් හෙට්ටිආරච්චි සංගීත ශිල්පීන්ගේ සහය මට ලැබුණා. මුලින්ම මම පටිගත කළේ මගේ මිතුරෙක්ගේ වියෝව ගැන සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියවුණු ගීතයක්. ඒ “සිහිනයක් සේ” ගීතයක් ඒ ගීතය බණ්ඩාර අතාවුද ගායනා කළේ.

කලා දිවියේ ඔබ ගුරුතැන්හි ලා සලකන පිරිස කවුද?

මගේ මුල්ම සංගීත ගුරුතුමා සුනිල් දයානන්ද කෝණාරයන්. ඔහුගේ ආභාසය තමයි මගේ නිර්මාණකරණයට මුදුන්මුල වුණේ. පසුකාලීනව එච්.එම්. ජයවර්ධන, රෝහණ වීරසිංහ, නන්දා මාලිනී, නවරත්න ගමගේ, කසුන් කල්හාර වගේ අයගේ ආභාසයත් මට ලැබුණා.

රංගනයට යොමුවූ අවස්ථා සිහිකළොත් …? කැළුම් පාලිත මහීරත්න අධ්‍යක්ෂණය කළ “දේවිය සුගලා” ටෙලිනාට්‍යයේ චරිතයක කරන්නත් අවස්ථාව ලැබුණා. නමුත් මටම තේරුණා මට රඟපෑමේ විශේෂ හැකියාවක් නැහැ රංගනයටත් විශේෂ හැකියාවක් තිබිය යුතුයි.

ඔබේ නිර්මාණ චාරිකාවේ සම්මානයට ලක්වූ අවස්ථා මොනවාද.?

2015දී රාජ්‍ය සංගීත සම්මාන උලෙළේදී හොඳම සංගීත අධ්‍යක්ෂණයට, හොඳම තනු නිර්මාණයට මම නිර්දේශ වුණා. ඒ අමරසිරි පීරිස් විසින් ගායනා කළ , වසන්ත රෝහණ රචනා කළ “වසත් කල” ගීතය වෙනුවෙන් .

ඔබෙන් පසුව සංගීත අධ්‍යක්ෂණයට පසුපෙළක් නිර්මාණය කර තිබේද.?

මම රැකියාව වෙනත් අංශයකින් කරන්නේ. රාජ්‍ය සේවයේ නිරත නිසා මම පසුපෙළක් වෙනම නිර්මාණයට යොමුවී නැහැ . මගේ නිර්මාණ ඕනෑම කෙනෙක්ට රසවිඳින්න පුළුවන්. ඒතුළින් දෙයක් ඕන කෙනෙක්ට ඉගෙනගන්න පුළුවන්. නවක ඕනෑම කෙනෙක්ට මම උදව් කරන්න කැමැතියි.

ඔබේ ඉදිරි නිර්මාණ ගැන යම් ඉඟියක් දුන්නොත්?

මම කරපු නිර්මාණ බොහෝමයක් තියෙනවා. ක්‍රිෂාන්ත එරන්දක එක්ක විශේෂ වැඩක් කරගෙන යනවා. ඉදිරියේ දී එන්න නිර්මාණ රැසක්ම තියෙනවා. ඒ වගේම රූනි ගායනා කරන “තමාෂා” ගීතය ඉදිරියේදි රසිකයන්ට අහන්න පුළුවන්.

මනෝජ් කුමාරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division