Home » ගී ලොවට අලුතින් පැමිණි රස්තියාදුකාරයා

ගී ලොවට අලුතින් පැමිණි රස්තියාදුකාරයා

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

මෙලා ජයවීර නම් ඔහු හරි අපූරු ගායකයෙකි. වෙනත් ලෙසකින් කිවහොත් ගීතයෙන් රස්තියාදු ගසන්නෙකි. ඔහුගේ ගී පදවල ගැබ්ව ඇත්තේ රස්තියාදුවයි. රස්තියාදුව කී පමණින් ඕනෑම කෙනෙකුට සිතට නැඟෙන්නේ නිකරුණේ ඔහේ ඇවිදින අයකු වුවත් මෙලා රස්තියාදු ගහන්නේ ඔහුගේ ගීතවලිනි. ඔහුගේ හැම ගීතයකම රස්තියාදුකාරය යන වදන අඩංගු වීම ද විශේෂත්වයකි. ඒ ඔහුගේ ගීතවල අනන්‍යතාවයි. ක්ෂේත්‍රය තුළ ඔහු හඳුන්වන්නේ ද රස්තියාදුකාරයා ලෙසිනි.

පොලොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ උපත ලද මෙලා ජයවීර හිඟුරක්ගොඩ රජරට මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන්නේද කවදා හෝ ගායකයකු වීමේ අරමුණෙනි. කිසිවකුගේ සහායක් නොලත් නුගේගොඩ පදිංචියට පැමිණි මෙලා කුඩා කල පටන් තම මිතුරකු වූ සම්මානලාභී සංගීත ශිල්පී දර්ශන රුවන් දිසානායකගේ ඇසුර ලැබෙන්නේ අවශ්‍යම මොහොතේය. දිනපතාම දර්ශනගේ ශබ්දාගාරයට යන මෙලා ඔහු කරන කියන දේ දෙස බලා සිටීම පුරුද්දක් කර ගත්තේය. දිනක් දර්ශනගෙන් මෙලා වෙත එල්ල වුණේ සෘජු ප්‍රශ්නයකි.

“ඇයි මෙලා හැමදාම මගේ ස්ටුඩියෝ එකට එන්නේ.“

මෙලාගේ පිළිතුර ද ඉතාම පැහැදිලි විය.

“මටත් සින්දුවක් කරන්න ඕන දර්ශන.“ කුඩා කල පටන්ම දන්නා හඳුනන මිතුරාගේ සිහිනය සැබෑ වන්නේ දර්ශන විසින් ලියා සංගීතය මුසු කළ මෙලාගේ හඬින් ගැයෙන “නුගේගොඩයි ඉන්නේ – හිඟුරක්ගොඩ යන්නේ“ ගීතයෙනි. එය ජනප්‍රිය වීමත් සමඟින් තවත් ගී පද ගණනාවක් දර්ශන අතින්ම ලියැවී සංගීතය මුසුවී මෙලා වෙත ලැබෙන්නේ “රස්තියාදුකාරයා“ මුද්‍රාව ද සමඟිනි. වෛද්‍ය ලහිරු සාරංග අතින් මෙන්ම මාමඬලේ අතින් ලියැවෙන ගීතයන් ද මෙලාගේ ගී අතරට එක්වන්නේ ඒ අතරේය.

මෙලා ගීත තුළින් නිරතුරුවම උත්සාහ කළේ ද යම් පණිවුඩයක් සමාජගත කිරීමටයි. ආදරය නිසා විනාශ වෙන ජීවිත ජීවත් කරවීමට උත්තේජනයක් වීමටය. රස්තියාදුකාරයා ලෙස හංවඩු ගැසුණු ජීවිතවල ඇතුළාන්තයේ කැකෑරෙන ගැඹුරු සෙනෙහස සමාජයට නිරාවරණය කිරීමටය. එවන් සිත් තුළ රජයන ප්‍රේමයට ෆැන්ටසි ප්‍රේමයට තරම්ම වටිනාකමක් දීමටය.

කෙසේ වෙතත් ප්‍රසංග වේදිකාවට ලැබෙන ඇරියුම් ගැන මෙලා අද ඉන්නේ කිව නොහැකි තරම් සතුටකිනි.

ක්ෂේත්‍රයේ මෙතෙක් දුර එන්නට මට උදවු කළ හැමෝම මම ඉතා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ගී පද රචනයෙන්, සංගීතයෙන් උදවු කළ දර්ශන, ලහිරු සාරංග, මාමඬලේ ඇතුළු පිරිස දුන් සහාය කිසිදිනෙක අමතක කරන්නේ නැහැ.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division