Home » මුහුණුපොතේ කවි ලියා ගීපද රචනයට පිවිසි නිලූකා

මුහුණුපොතේ කවි ලියා ගීපද රචනයට පිවිසි නිලූකා

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

පොලොන්නරුව කළුගස්දමන උපන් නිලූකා සෙනෙවිරත්න මූලික අධ්‍යාපනය හදාරන්නෙ ගල්තඹරාව විද්‍යාලයෙනි. ඇය අලුත්ගමට පැමිණෙන්නේ උසස් පෙළ හදාරන කාලයේදීය. පාසල් කාලයේ සිටම කවියට, නිසඳැසට පෙම් බැන්ද නිලූකා කවි ගී ලියමින් තනිවම රසවිඳින්නට ද පුරුදු වූවාය. ඇය මේතාක් දුර ආ ගමන් මඟ සුන්දර නොවන බව ද අප හා පැවසුවාය.

“මම ඉපදුණේ පොලොන්නරුව කළුගස්දමන. මූලික අධ්‍යාපනය හැදෑරුවෙ ගල්තඹරාව විද්‍යාලයෙන්. ඊට පස්සෙ අපි අලුත්ගම පදිංචියට ආවා. උසස් පෙළ හැදෑරුවෙ අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයෙන්. ඒ දවස්වල ඉඳලම මං කවි නිසඳැස් ලියනවා. ඒත් ඒව කාටවත්ම පෙන්නුවෙ නෑ. මමම ලියලා මමම රසවින්දා. පස්සෙ කාලෙක මං ලියන නිසඳැස් පුවත්පත්වලට යොමු කළා. මට මතකයි මං කම්මලක වැඩ කරන තාත්ත කෙනෙක් ගැන ලිවුව කවි පෙළ සිළුමිණ පුවත්පතේ පළ වුණා. එදා ඒ ලිවුවෙ මගේම තාත්ත ගැන. බිඳුණු ප්‍රේමය නමින් ලිව්ව කවි පෙළක් ලංකාදීප පුවත්පතේ පළ වුණා. මං ෆේස්බුක් එකේ ලියපු නිසඳැසක් දැකලා ශ්‍රීනාත් හේමචන්ද්‍ර මට කිවුවා එයාට සින්දුවක් ලියල දෙන්න කියලා. ඒ විදිහට මගේ දුව ගැන ලියූ මිණිමුතු ගීතය නිර්මාණය වුණේ.

ඊට පස්සෙ මගේ ප්‍රොෆයිල් එක දැකලා රෝහණ බෝගොඩ මහත්මයා මට කතා කරල කිවුවා මං ඔයාගෙ සින්දුවක් කියන්න කැමැතියි කියලා. එදා මට ගොඩක් සතුටු හිතුණා. තනු නිර්මාණය සහ ගායනය ඔහුගේමයි. තව ගීතයක් යෂිකා සුබාෂිණී ගායනා කරනවා. ඇයත් නව පරපුරේ ගායිකාවක්. ඒ ගීතයේ තනු නිර්මාණයත් ශ්‍රීනාත් හේමචන්ද්‍රගේ. තව ශ්‍රීනාත්ම තනු නිර්මාණය කළ ගීතයක් ඉමාන් පෙරේරා ගායනා කරනවා. මේ වෙද්දි මම ලියූ ගීත කිහිපයක් ප්‍රචාරය වෙනවා. දැනට මම ගීත 20ක් විතර ලියලා තියෙනවා. මා ලියූ බොහෝ ගී විරහව පාදක කරගෙන නිර්මාණය කරපුවා. මගේ අත්දැකීම් වගේම මම අහන දකින අත්දැකීම් පාදක කරගෙන තමයි ඒ ගීත ලියැවුණේ.

මගේ මේ ගමනට සැමියා සරත් කුමාරගෙන් උපරිම සහයෝගය ලැබෙනවා. ඒ වගේම මට දුවල තුන්දෙනෙක් ඉන්නවා. එයාලත් මගේ ගීතවල ගුණ දොස් විචාරය කරනවා. මේ ආපු ගමනෙදි ඒ හැමෝම මගේ සෙවණැල්ලක් වගේ හිටියා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division