Home » ඒ ආදරේ තමයි මාව හැමදේටම පොලඹවන්නෙ

ඒ ආදරේ තමයි මාව හැමදේටම පොලඹවන්නෙ

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

– මම කතා කරද්දි හැරිල බලලා ආ මේ සාගරිකා නේද කියන අය ඉන්නවා
– ෂූටින් යන දවසක් නම් උදේට ෂූටින් බෑග් එක රෙඩි කරලා දෙන්නෙ එයා

මේ දිනවල ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් විකාශය වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්‍ෂණය කරන” සද්ධාමංගල සූරියබණ්ඩාර තිර පිටපත් රචනය කරන ‘සල්ලි පොකුරු බලන කෙනෙක් නම් එහි එන සාගරිකා ගැන දැන ගන්න කැමති ඇති. සාගරිකා ලෙසින් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ සඳුනි දම්මුල්ලගේ.

කොහොමද සාගරිකාට ලැබෙන ප්‍රතිචාර?

ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හේමක සහ හරිනිගේ වෙනස්වීම් එක්ක සේදර සහ සාගරිකා විදියට මගේ තියෙන රියැක්ෂන්වලට එක එක විදියේ ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතර හොඳ නරක දෙකේම ප්‍රතිචාර තියෙනවා. ඒ හැමදේම හොඳින් භාර ගන්නවා.

ඔබ කොහොමද ක්ෂේත්‍රයට එන්නෙ?

මගේ මුල්ම නිර්මාණය කෝලම්කුට්ටම. කෝලම්කුට්ටමත් සද්ධා සර්ගේ පිටපතක් අනුව සිවා සර් අධ්‍යක්ෂණය කළ නාට්‍යයක්. ඒ නාට්‍යයේ ඩාන්සින් ගෲප් එකේ අනුරාධා අක්කා එක්ක තමයි මුලින්ම රඟපෑවේ. එතැනින් පස්සෙ මට චේතනි මිස් කතා කළා සල්ලි පොකුරු එකේ සාගරිකාගේ චරිතයට.

කොහොමද කලාවට යොමු වෙන්නෙ?

මට පොඩි ආසාවක් ආවා රංගනය ගැන හදාරන්න. මම මුලින්ම තෝරාගන්නෙ ඉම්පාස් ආයතනය. එතැනදී මට සද්ධා සර්. චේතනී මිස් ඇතුළු තවත් ගුරුවරු මුණගැහෙනවා. ඒ හැමෝගෙම සහයෝගය ඇතුව මම මා තුළ තියෙන රංගන හැකියාව ඉස්මතු කර ගත්තා. ඉන්පසුව මාව කෝලම්කුට්ටමට එකතු කර ගත්තා. දැන් රංගනය තව දුරටත් හදාරමින් රංගන කටයුතු කරගෙන යනවා.

සල්ලි පොකුරු හි අමතක නොවන අත්දැකීම් ගැන මතක් කළොත්?

අමතක නොවන අත්දැකීම් ගොඩක් තියෙනවා. සේදර, සාගරිකා, චූටියා, පිංකි සහ ලැම්බට් කියන චරිත ටික එකට මුණගැහෙන්නෙ. ගොඩක්ම චූටියා කරන පිස්සු වැඩ එක්ක සුන්දර මතක තියෙන්නේ. අපි ගොඩක්ම එකට හම්බෙන්නෙ කෑම මේසෙදි. ඒ වෙලාවට චූටියා සහ පිංකි එක්ක ගෙවන ජීවිතේ හරි සුන්දරයි.

කොහොමද ටීම් එකෙන් ලැබෙන සහයෝගය?

ටීම් එකෙන් ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා. මුලින්ම කියන්න ඕනේ සිවා සර්ගෙන් ලැබෙන සහයෝගය ගැන. සිවා සර් කියන්නෙ පුදුම ඉවසිලිවන්ත චරිතයක්. මට වරදින හැම මොහොතකම නැහැ පුතේ ඔයා මෙහෙම කරන්න කියලා දෙන උපදෙස් සහ සද්ධා සර් සාගරිකාව ගොඩනඟන විදිය ගැන මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ චරිත පිටුපස ඉන්න චේතනී මිස් සහ Dop විදියට මුලින් හිටපු ප්‍රභාත් අයියාව මතක් කරන්න ඕනේ. ප්‍රභාත් දර්ශන අයියා තමයි මගේ වැරදි ගොඩක් හැදුවේ. සාගරිකා චරිතය ගොඩනඟා ගන්න සාරංග අයියා, මධුෂාන් අයියා, දුලංජන අයියා දුෂේනි සහ කලින් පිංකිට හිටිය ශෙනායත් ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ එක්කම දැන් Dop විදියට ඉන්නෙ අංජුල මධුශාන් අයියා. Ad ධනුෂ්ක අයියා ඇතුළු මුළු කෲ එකෙන්ම ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා. ටී බෝයි විදියට ඉන්න මධු අයියා වෙනකම් හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා මේ ගමන යන්න. ඒ හැමෝගෙන්ම ලැබෙන සහයෝගය මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.

මඟ තොටේදි සාගරිකා විදියට හඳුනාගන්නවද?

ඇත්තෙන්ම ඔව්. සමහර අය මගේ කටහඬින් හඳුනා ගන්නෙ. මම දන්නෙ නැහැ ඇයි ඒ කියන්න. මම කතා කරද්දී හැරිලා බලලා ආ මේ සාගරිකා නේද කියලා කතා කරන අය ඉන්නවා.

සල්ලි පොකුරුවලට අමතරව තව නිර්මාණවලට ඇරයුම් ලැබිලා තියෙනවා ද?

ඇරයුම් නම් ලැබෙනවා. නමුත් මගේ රැකියාව සහ රංගනය නිසා කාලයත් එක්ක මේ දිනවල පොඩි තරගයක ඉන්නෙ. ඒ නිසා සල්ලි පොකුරු විතරක් කරගෙන යනවා.

එතකොට සඳුනි වෘත්තීය විදියට කරන්නෙ මොකක් ද?

පෞද්ගලික විශ්වවිද්‍යාලයක රැකියාවක් කරන්නෙ.

සඳුනිගේ පෞද්ගලික ජීවිතේ ගැන කතා කළොත්

මගේ පවුලේ ඉන්නෙ අම්මා තාත්තා නංගි සහ මල්ලි. මම විවාහකයි. එයා පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා.

කොහොමද සැමියාගෙන් ලැබෙන සහයෝගය?

මම විවාහ වෙන්න කලින් නම් මගේ ගෙදරින් හොඳ සහයෝගයක් ලැබුණා. දැන් මට ඒ සහයෝගය දෙන්නෙ මගේ සැමියා. මම ෂූටින් යන දවසක් නම් උදේට මගේ ෂූටින් බෑග් එක රෙඩි කරලා දෙන්නෙ එයා.

ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නෙ?

ඒ ආදරේට මම පුදුම විදියට ආදරෙයි. ඒ ආදරේ තමයි මාව හැමදේටම පොලඹවන්නෙ. ඒ නිසා ඒ ආදරේ එක්ක මම මට ලැබෙන චරිත තව තවත් හොඳින් ප්‍රේක්ෂකයන් අතරට අරන් එන්න උත්සාහ කරනවා.

අනූෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division