Home » එකඟ නොවෙන අවස්ථා නැත්තෙම නෑ

එකඟ නොවෙන අවස්ථා නැත්තෙම නෑ

by Mahesh Lakehouse
November 25, 2023 12:33 am 0 comment
නාමලී ගමගේ

– සංස්කෘතියත් එක්ක බැඳුණු ගැහැනුන් තමන්ගෙ ආසාවන් එළියට දාන්නෙ නෑ ඇයත් ඒ වගෙයි
– පොඩි පොඩි පාඩම් ඉගෙන ගත්ත අවස්ථාත් නැතුවම නොවෙයි

විශ්ව ලංකාගේ කුලුඳුල් ටෙලි අධ්‍යක්ෂණය වන සීසර්ලා මේ දිනවල ප්‍රේක්ෂක මනාපය ඉහළින්ම ලබමින් විකාශය වන ටෙලි නිර්මාණයකි. සීසර්ලා කණ්ඩායමක් වටා ගෙතුණු වෙනස්ම තේමාවක් ඔස්සේ ගලා යන මෙම ටෙලි නිර්මාණයේ ප්‍රේක්ෂක සිත් වඩාත් ඇද බැඳ ගන්නේ සුවිටි ටුවිටි FM නාළිකාවයි. එහි ප්‍රධාන නිවේදිකාව වන සජානාගේ හොඳම යෙහෙළිය මෙන්ම නිවුස් රීඩර් ලෙස කටයුතු කරන මීනු ලෙස රඟන ඇය සුලෝ හරපත්දෙනියයි. සුපුන් රත්නායකගේ හියුමන් එරස් ටෙලි නිර්මාණය හරහා පුංචි තිරයට පිවිසි ඇගේ රංගන තිඹිරිගෙය වේදිකාවයි. සිනමාවට වැඩි මනාපයක් දක්වන සුලෝ වඩාත් ප්‍රකට බ්‍රයිඩ්ල් නිරූපිකාවක ලෙසිනි.

මේ දවස්වල ඔබ FM නාළිකාවකට සම්බන්ධ වෙලා නේද?

ඔව්. ඒක විශ්ව ලංකා අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලි නිර්මාණය. සීසර්ලා කණ්ඩායමක් සහ FM නාළිකාවක් වටා ගෙතුණු කතාවක්. ඒකෙ ප්‍රධාන නිවේදිකාව වන සජානගෙ හොඳම යෙහෙළිය වගේම ඒකෙ නිවුස් රීඩර් මීනු විදිහට තමයි මගේ භූමිකාව ගලාගෙන යන්නේ. විශ්ව අයියගෙ ආරාධනාවෙන් සම්බන්ධ වුණු වෙනස්ම අත්දැකීමක්. මේ වෙද්දි සීසර්ලා ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ටෙලි නාට්‍යක් බවට පත්වෙලා.

බොහෝවිට ඔබ දකින්න ලැබෙන්නෙ සුරූපී මනාලියකගේ රුවින්. ඔබේ වැඩි ප්‍රවණතාව බ්‍රයිඩ්ල් නිරූපණය ද?

ඇත්තම කිවුවොත් බ්‍රයිඩ්ල් නිරූපණය මගේ වෘත්තිය වගේ. මේ වෙද්දි සෑහෙන වාර ගණනක් මං බ්‍රයිඩ්ල් නිරූපණයේ යෙදිල තියෙනවා. මට ගොඩක්ම ආරාධනා ලැබෙන්නෙත් බ්‍රයිඩ්ල් පැත්තට. 2014 වගේ ඉඳන් මම බ්‍රයිඩ්ල් නිරූපණයට යොමු වුණේ. 2020 ඉඳන් රැකියාවෙනුත් අයින්වෙලා ෆුල් ටයිම් ඒ පැත්තටම යොමු වුණා.

එතකොට ඔබ රංගනයට යොමු වෙන්නෙ?

2022 රූපවාහිනී අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා අවසන් 12 දෙනා අතරට තේරුණා. ඒ අතරේ නලින් මාපිටියගේ ටෙලි නාට්‍යකට ආරාධනා ලැබුණත් රටේ තිබුණු අර්බුදකාරී තත්ත්වය නිසා ඒක කෙරුණෙ නෑ. ඒත් ඔහුම මාව මාදනී මල්වත්ත සහ තිළිණි වීරසිංහගේ නාට්‍ය හා රංග කලා පාඨමාලාවට සම්බන්ධ කරනවා. මාස 3ක් විතර හැදෑරීම් කළා. ඒකෙදි වර්ක්ෂොප් ඩ්‍රාමා එකක් විදිහට කළ ‘සිල්වෙස්ටර් ආයෙමත්‘ වේදිකා නාට්‍යයේ බ්‍රිජට් කියන ප්‍රධාන චරිතය මට ලැබුණා. අනෙක් ප්‍රධාන චරිතයට හිටියෙ චානු දිසානායක. ඊට පස්සෙ චානු හරහා සුපුන් රත්නායක හඳුනගන්න ලැබුණා. ඔහුගේ හියුමන් එරස් ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ ඒ විදිහට. ඔහු වගේ අධ්‍යක්ෂවරයෙක් යටතේ උප ප්‍රධාන චරිතයකින් මගේ කුලුඳුල් ටෙලි නාට්‍ය අත්දැකීම ලබා ගන්න හැකිවීම ලොකු භාග්‍යයක්. හියුමන් එරස්හි දේවි කියන්නෙ මගෙ රංගන ජීවිතේ ටර්නින් පොයින්ට් එක කිවුවත් හරි. දේවි කියන්නෙ දමිළ පුද්ගලයෙක් විවාහ කරගන්න නුවරඑළියෙ පළාතෙ සිංහල කාන්තාවක්. සංස්කෘතියත් එක්ක බැඳුණු ගැහැනුන් තමන්ගෙ ආසාවන් එළියට දාන්නෙ නෑනෙ. ඇයත් ඒ වගේ ගැහැනියක්. මං ගොඩක් ආසාවෙන් කළ චරිතයක්.

එතැනදි තමයි මං මුලින්ම අත්දැකීමක් ලබන්නෙ ටෙලි නාට්‍යයක් කොහොමද රූගත කෙරෙන්නෙ කියලා. ඒ වැටුණු ෆවුන්ඩේෂන් එක තමයි මේතාක් දුර එන්න මට ශක්තියක් වුණේ. ඊට පස්සෙ වෙළෙඳ දැන්වීමකදී හමුවුණු මේකප් ආර්ටිස් වරුණි අක්කා නිසා චමින්ද ඉලුක්වෙල හඳුනගන්න ලැබීමත් එක්ක ඔහුගේ මාගම් සෝලි සිනමාපටයට සම්බන්ධ වෙනවා.

පහුගියදා රැඩිකල් ප්‍රේමයක් වේදිකා නිර්මාණයත් එක්ක යොවුන් නාට්‍ය උලෙළ සහ රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්නෙත් චානුගේ සහායෙන් හඳුනගත් දුලාන් වීරසිංහ නිසා. ඔහුගේ රැඩිකල් ප්‍රේමයක්හි ඇතීනා දෙවඟන වේදිකාව මත මං ලැබූ ලොකු ජයග්‍රහණයක්.

මාගම් සෝලි කියන්නෙ ඔබේ පළමු සිනමා අත්දැකීම. ඒ ගැනත් කියමු?

දරුවෙක් එක්ක තනි වෙලා සමාජයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙන කාන්තාවකගේ චරිතයක් ඒක. පළමු සිනමා අත්දැකීමම ප්‍රධාන චරිතයක් හරහා සම්බන්ධ වෙන්න ලැබීම ලොකු සතුටක්. චමින්ද ඉලුක්වෙල මාගම් සෝලි නිර්මාණය කරන්නෙ විශේෂයෙන්ම සම්මාන උලෙළ ඉලක්ක කරගෙන. මේ වෙද්දි ෂූටින් ඉවරවෙලා සම්මාන උලෙළ දෙකක් සඳහාත් සූදානම්. ඊට පස්සෙ ලංකාවෙ තිරගත වේවි කියන බලාපොරොත්තුව තියෙනවා. ගොඩක් දෙනා අහනව මාගම් සෝලි කියන්නෙ මොහාන් රාජ් මඩවලගේ නවල් එක ද කියලත්. නැහැ. මේ දෙක දෙකක්. නීටා ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, දිල්හානි අශෝකමාලා, ජගත් බෙනරගම, සුජානි මේනකා, නලින් ප්‍රදීප් උඩුවෙල වගේ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල රංගන ශිල්පීන් එක්ක ඒ ලබපු අත්දැකීම මගේ මේ ගමනට ලොකු ආශීර්වාදයක් වුණා. විශේෂයෙන්ම නීටා ප්‍රනාන්දු කියන නිහතමානී ප්‍රවීණ රංගන ශිල්පිනියගෙන් මට ගොඩක් ගුරුහරුකම් ලැබුණා.

ඔබේ ආදරණීය සැමියා රොෂාන්ගෙ හමුවීම සිදු වෙන්නෙත් මේ ක්ෂේත්‍රය තුළදි?

ඔව්. එයා රොෂාන් ඉන්ද්‍රජිත්. වෙළෙඳ දැන්වීම් කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක්. මගේ යාළුවෙක් හරහා ඔහු මට මුණගැහෙන්නෙත් වෙළෙඳ දැන්වීමක් රූගත කිරීමකදී. අපි අවුරුදු 3ක් විතර ආදරේ කරලා විවාහ වුණා. එයාට ක්ෂේත්‍රයේ ගොඩක් අත්දැකීම් තියෙනවා. සමහර අවස්ථා තියෙනවා අපි දෙන්න එකට එකඟ නොවෙන. ඒ වගේ අවස්ථා තියෙනවා පරක්කු වෙලා හරි එයා කිවුව දේ හරි කියල හිතෙන. ඒ වගේ වෙලා පොඩි පොඩි පාඩම් ඉගෙන ගත්ත අවස්ථාත් නැතුවම නොවෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division