Home » සජිත්ට බාධා නොකරන රනිල්ගේ හොඳම ගෝලයා කවුද?

සජිත්ට බාධා නොකරන රනිල්ගේ හොඳම ගෝලයා කවුද?

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

නපති රනිල් ගෙවුණු සති අන්තයේ සිටියේ මාලදිවයිනේය. ඒ මාලදිවයින් ජනපති දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීමටය. දෙදින මාලදිවයින් සංචාරය නිමවා ලංකාවට ගොඩබසිද්දී ජනපති රනිල් හිටපු ජනපති මහින්දට ඇමතුමක් ගත්තේ උපන්දිනයට සුබ පතන්නටය.

සුබ පතා අවසන් වෙද්දී හැරෙන තැපෑලෙන් ජනපතිට තවත් දුරකතන ඇමතුමක් ලැබුණේය. ඒ නාමල් රාජපක්ෂගෙනි. හිටපු ජනපති මහින්දගේ පුත් නාමල් ජනපති රනිල්ට කතා කොට කීවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ උපන්දිනයට සප්‍රයිස් පාටියක් සුදානම් කර ඇති බවය. ඊට සහභාගී විය හැකි නම් හිටපු ජනපති මහින්ද සතුටු වනු ඇතැයි ඔහු කීවේය.

මාලදිවයිනේ සිට රනිල් කෙළින්ම නාමල්ගේ ගෙදරට

කටුනායක සිට කොළඹ සිය නිවස බලා පැමිණෙමින් සිටි ජනපති රනිල් මාර්ගය වෙනස් කොට හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවෙස බලා පිටත්වූයේය. ජනපති රනිල් නිවසට යන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂ ඇතුළු නෑදෑ හිතවතුන් පිරිසක් ද එහි පැමිණ සිටියහ.

ඔවුන් සියලු දෙනා සමඟ උපන් දින සුබ පැතුමට එක්වූ රනිල් වැඩි වේලාවක් එහි නොසිට පිටත් වූයේ මාලදිවයිනේ සිට පැමිණෙන අතුරතුර උත්සවයට ආ බව කියමිනි.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති වයි.පී.ඕ සමුළුවට සහභාගීවීමට ජනපති රනිල් ගියේ එදින සවසය. එහිදි රටේ ආර්ථිකය ගැන මෙන්ම මාලදිවයින් සංචාරයේ තොරතුරු ද හෙළි කිරීමට ජනපති රනිල් වගබලා ගත්තේය.

සඳුදා පෙරවරුවේ ජනපති රනිල් සිය පවුලේ ඥාතියෙකුගේ අවමංගල්‍යයකට සහභාගී වී සිටි අතර එදින දහවල් ඔහු පාර්ලිමේන්තුව වෙත ගියේ අයවැය විවාද කාලය තුළ මුදල් ඇමැතිවරයා ලෙස එහි රැදී සිටිය යුතු බැවිනි. ජනපති රනිල් චීන ජනාධිපතිගේ විශේෂ නියෝජිත මුණ ගැසුණේ එදින සවසය.

අඟහරුවාදා සුපුරුදු පරිදි ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගිය ජනපති රනිල් ආරක්ෂක මණ්ඩල හමුව නිමවා නැවත ජනපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේ තවත් රැස්වීම් කිහිපයක් සංවිධානය කර තිබූ බැවිණි. එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් එදින සවස මුණ ගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහ ලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තුළදී දිස්ත්‍රික් රැස්වීම් මාලාවක් පැවැත්වීමට තීන්දු කොට තිබෙන බවයි.

එජාපය දිනන වැඩපිළිවෙළ කුමක්ද?

එක්සත් ජාතික පක්ෂ දිනන වැඩපිළිවෙළ කුමක්දැයි මෙහිදි ජනපති රනිල් ප්‍රශ්න කර සිටියේය. එම වැඩපිළිවෙළේ පළමු අංගය ලෙස දිස්ත්‍රීක් රැස්වීම් පැවැත්වෙන බව රංගේ කියා සිටියේය. එම රැස්වීම් සංවිධානය කිරීම හා සැලසුම් සකස් කිරීම නියෝජ්‍ය නායක රුවන්, සභාපති වජිර හා මහලේකම් රංගේට භාර දුන්නේ ජනපති රනිල්ය.

පක්ෂය දිනන සැලසුමට අදාළ දල වාර්තාවක් මහලේකම් රංගේ ඉදිරිපත් කළ අතර ඊට ජනපතිගේ ප්‍රසාදය හිමිවූයේය. “ලබන වසරේ මැතිවරණ දෙකක්ම එන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙන නිසා අපි ආසන මට්ටමෙන් සැලසුමක් සකස් කර තිබෙනවා. සමහර ආසනවල කොට්ඨාස මට්ටමෙන් බලයලත් නියෝජිතයෝ පත් කරලා තියෙනවා. මේ අයට පත්වීම් දීලා ඔවුන්ට කොට්ඨාසය තුළ වැඩකරන්න අවශ්‍ය පහසුකම් හදලා දෙනවා.” රංගේ කීවේ සියලු දෙනා දෙස බලමිනි.

රොෂාන් – සාගල මුහුණට මුහුණ හමුවෙති

එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීම නිමවා එද්දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට අපූරු අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවිය. ඇමැති රොෂාන් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ කාර්යාලයේ සිට පිටතට එද්දී සිය කාර්යාලය වෙත යමින් සිටි සාගල එකවර මුහුණට මුණ ගැසුණේය.

“කොහොමද ඇමැතිතුමා.” පළමුව ඇසුවේ සාගලය. “හොඳයි කියා සිනහවෙන් පිළිතුරු දුන් ඇමැති රොෂාන් ඉන් පිටව ගියේ කිසිවක් සිදු නොවූ ගානටය. එය දුටු එහි සිටි නිලධාරියෙකු තවත් නිලධාරියෙකුට කීවේ කිසිවක් සොයා නොබලා ඇමැති වැඩ කිරීම නිසා මේ කිසි දේකට සම්බන්ධ නැති සාගල නිකම් බැණුම් අසන බවය.

බදාදා උදෙන්ම ජනපති රනිල් පාර්ලිමේන්තුවට ගියේ එදින ජනාධිපති වැය ශිර්ෂය යෙදී තිබුණු බැවිනි. ජනපති රනිල් මෙහිදි ක්‍රිකට් ගැන මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන ද අදහස් පළ කළේය. ක්‍රිඩා ඇමැති ප්‍රදර්ශනය කළ ඡායාරූපයක් ගැන ද ජනපති එහිදි අදහස් පළ කළේය.

එම ඡායාරූපයේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු මෙන්ම නීතිඥ අසේල බී රැකව පවුලේ සාමාජිකයන් සිටි අතර එම ඡායාරූපය ගනු ලැබූවේ අභියාචනාධිකරණ විනිසුරු දිවුරුම් දුන් දින සිය කාර්යාලයේදී බව ද ජනපති කියා සිටියේය.

ෆොටෝ එකේ ඇත්තටම ඉන්නේ කවුද?

අසේල යනු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු මෙන්ම හිටපු ජනපති ප්‍රේමදාසගේ ද හිතවතෙකු වන ආරිය බී රැකවගේ පුතා බව ජනපති රනිල් කියද්දී විපක්ෂ නායක සජිත් කීවේ තමන් ඔහු ගැන කිසිවක් නොකී බවය. එසේම එම ඡයාරූපයේ සිටින්නේ ශම්මි සිල්වා යැයි තමා සිතූ බව ද ඔහු කීවේය.

සිය කතාවෙන් පසු විවාදයට එක්වූ විපක්ෂ නායකගේ කතාවට සවන් දී අසුනෙන් නැඟීටිද්දී කිහිප වරක්ම නවතින්නැයි සජිත් කී නිසා නතර වූව ද එම කතාව කෙටි කතාවක් නොවන බව තේරුම්ගත් ජනපති රනිල් ඉන් පිටව ගියේ තව දුරටත් සිය කාලය අපතේ යැවිය නොහැකි බැවිණි.

ජනපති රනිල්ට මන්ත්‍රීවරුන් කිව්වේ මොනවාද?

ඒ එන අතරතුරදි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ජනපති අල්ලා ගත්තේ පාර්ලිමේන්තු ලොබියේදී ය. “විපක්ෂ නායකතුමා ලොකුම බොරුව කිව්වා නේදසර්?” මන්ත්‍රී මධුර කීවේ ජනපති එන අතරේය. සැවොම ඒ ගැන විමසද්දී මධුර යළි කීවේ ඇයි ඇමැති රොෂාන් පෙන්නපු පින්තූරේ සර් ඉන්නවා දැක්කේ නෑ. ඒකේ ශම්මි ඉන්නවා කියලා හිතුවා කියලා කිව්වේ.” යැයි මධුර කියද්දී සැමට සිනහව නතර කරගත නොහැකි වූහ.

“මොකක්ද සර් අර පානුයි වියළි ආහාරයි කතාව.” ඒ පැනය ඇමැති මනූෂගෙනි.

“නෑ එතුමා නඩුවක් ගැන අහලා තිබුණානේ. මම බැලුවා මොකක්ද ඒ නඩුව කියලා. එතනදී තමයි දැක්කේ ත්‍රිකුණාමලේ බන්ධනාගාරයට පානුයි වියළි ආහාරයි දෙන්න ඉල්ලපු කෙනෙක්ගේ නඩුවක් කියලා. මම කලින් හිතුවේ ක්‍රිකට් නඩුවක් වෙන්න ඇති කියලායි.” ජනපති කියද්දී සැවොම කොක් හැඬලූහ.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති රනිල් පාර්ලිමේන්තුව වෙත පැමිණියේ ආරක්ෂක අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයට සහභාගී වීමටය. ජනපති මුදල් අමාත්‍යාංශ නිලධාරින් ද එහි කැඳවා තිබුණේ වෙනදාට මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන ප්‍රගති සමාලෝචන සාකච්ඡාව පාර්ලිමේන්තුවේ පැවැත්වීමටය.

ජනපති පාර්ලිමේන්තුවට පැමිණි බව දැනගත් මැති ඇමැතිවරු ඔහු මුණ ගැසෙන්නට කාර්යාලය වෙත ආවේ පවතින තත්ත්වයන් ගැන කතා කරන්නටය. “අය වැය සම්මත වූ ආකාරය බැලුවාම විපක්ෂයේ කිහිප දෙනෙකුත් පක්ෂව ඡන්දය දීලා කියලා පේනවා.” මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ කීවේ ජනපති දෙස බලමිනි.

සජිත්ට එරෙහිව වජිර ගේන්න යන යෝජනාව

“අය වැයට විරුද්ධ වෙන්න විදියක් නැති නිසා බොරු දේවල් කිව්වත් එයාලා පිළිගන්නවා ආර්ථිකය නඟා සිටුවන්නට නම් අයවැයේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිසංස්කරණ කරන්න වෙනවා කියලා.” මහාචාර්ය ආශු මාරසිංහ ද කතාවට එකතු වුයේය.

“අය වැය ගැන කතා කරන්න දෙයක් නැති නිසා එක වෙලාවක ක්‍රිකට්වල එල්ලුනා. දැන් රාජපක්ෂලා රට බංකොලොත් කළා කියන නඩු තීන්දුව අරගෙන කෑ ගහනවා.” මන්ත්‍රී දොළවත්ත කීවේ එවැන්නකි.

“රාජපක්ෂලාට විතරක් නොවෙයි රට බංකොලොත් කරපු එකට සජිත්ට විරුද්ධවත් යෝජනාවක් ගේන්න පුළුවන්.” මන්ත්‍රී වජිර කියු දෙයින් සැවොම මුහුණට මුහුණ බලා ගත්හ.

ක්‍රිකට් ගැන ජනපති කිව්වේ මොනවාද?

“සර් මැදිහත් වෙලා හරි ක්‍රිකට්වලට තියෙන ජාත්‍යන්තර තහනම අයින් කර ගන්න.” ඒ ඉල්ලීම මන්ත්‍රී රාජිකාගෙනි.

“මම පුළුවන් තරම් උත්සාහ කළා. කොහොම වුනත් 19න් පහළ ලෝක කුසලානයේ සත්කාරකත්වය අපිට නැතිවීම ක්‍රිකට් පැත්තෙන් විතරක් නොවෙයි සංචාරක කර්මාන්තය පැත්තෙනුත් අපිට ලොකු පාඩුවක්.” ජනපති කීවේ නළල රැළි ගන්වමිනි.

“රොෂාන් ඇමැතිතුමාත් ඉක්මන් වුණා වැඩියි කියලා දැන් හැමෝටම තේරිලා තියෙන්නේ. එතුමා විපක්ෂයට යයි කියලා තමයි හැමෝම හිතුවේ. සජබ නියෝජ්‍ය නායකකමත් එතුමාට දෙන්න යෝජනා කළා කියලාත් ආරංචියි. හැබැයි සජබ අනිත් අය නම් ඒකට කැමැති වෙලා නෑ.” දොළවත්ත මන්ත්‍රීවරයා දේශපාලන රහසක් ඇද දැමුවේය.

“ජගත් ප්‍රනාන්දු වාර්තාව අනුව ක්‍රීඩා පනත සාගල හදනවා. ඒක ඉවරවුණාම චිත්‍රසිරි වාර්තාව අනුව ක්‍රිකට් ගැටලුව විසඳා ගන්න පුළුවන්.” කියු ජනපති සභාව තුළට ගියේ ආරක්ෂක අමාත්‍යාංශ වැය ශිර්ෂය ගැන කතා කිරීමටය.

එහිදි ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යළි ප්‍රහාරයක් එල්ල කළේය. කතාව නිමවා යළි කාර්යාලයට පැමිණි ජනපති රනිල් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ සාකච්ඡාවට එකතු වූවේය. එහිදි ලබන වසරේ මුල මාසයේ සිටම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000ක දීමනාව ගෙවීමට ඇති හැකියාව ගැන කතා කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආදායම් තත්ත්වය දෛනිකව වාර්තා කිරීම වෙනුවෙන් පත් කළ කමිටුවේ සාමාජිකයන් ද මේ හමුවට එක්ව සිටියහ. සාකච්ඡාව අවසානයේ ජනපති ලේකම් සමන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිරිස රැස්වූවේය.

එහිදි එම කණ්ඩායම රට තුළ මේ වන විට තිබෙන මූල්‍ය තත්ත්වය ගැන දීර්ඝ විස්තරයක් කළ අතර එය අසා සිටි මහාචාර්ය ආශු කීවේ මේ මුදල් තත්ත්වය අනුව ලබන වසරේ මුල සිට රුපියල් 5000 ගෙවන්න පුළුවන්. “විශ්‍රාමිකයන්ට නම් 100%ක් දෙන්න පුළුවන්. කියාය.” මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය හා ශෙහාන් සේමසිංහ ද එය අනුමත කළේය.

ඇමැති සුසිල්ගේ ප්‍රෙෂර් වැඩි කළ මන්ත්‍රී කවුද?

පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ කතා කරමින් සිටි මන්ත්‍රීවරුන් අසලට කෑගල්ල මන්ත්‍රී සුදත් මංජුල පැමිණෙද්දී එහි සිටි මන්ත්‍රීවරු විමසා සිටියේ මොකද අර සුසිල් ඇමැතිතුමාට ප්‍රෙෂර් වැඩි කළා කියන්නේ.

“අනේ නෑ. මම ගියේ ළමයෙක්ගේ ප්‍රශ්නයක් කතා කරන්න. එතුමා එක පාරටම මගේ ඇඟට කඩා ගෙන පැන්නා හැමෝම ඉස්සරහ. ඉතින් මටත් කේන්ති ගිය නිසා මමත් සැරෙන් කතා කළා. එතනදි ඇමැතිතුමාගේ කාර්ය මණ්ඩලයේ අය ඇවිත් එය සමථයකට පත් කළා.” මන්ත්‍රීවරයා කරුණු පැහැදිලි කළේය.

මහින්දගේ උපන්දිනය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්මදිනය නොවැම්බර් 18 වැනිදාට යෙදී තිබිණි.නොවැම්බර් 17 මහින්ද සිටියේ මලලසේකර මාවතේ පිහිටි නාමල් රාජපක්ෂගේ නිවසේදීය. නාමල් රාජපක්ෂ මෙහිදී 18 වැනිදාට උපන්දිනය සැමරීමට යොදාගෙන තිබූ අතර උදෑසන ආහාරය ද අමුත්තන් සඳහා පිළියෙල කර තිබිණි. උදෑසනම කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ම මහින්ද හිටපු ජනාධිපතිවරයාට සුබ පැතීමට මලලසේකර මාවතේ නාමල්ගේ නිවසට පැමිණ සිටියහ.මෙහිදී විශේෂත්වය වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහද තම පැරණි මිතුරා වන මහින්දට සුබ පැතීමට පැමිණීමය.

නාමල්ගේ ගෙදරට මැති ඇමතිවරුන් විශාල පිරිසක්

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තංගල්ල බලාගොස් නැවත කොළඹ පැමිණියේ 20 වැනි සඳුදා උදෑසනය. මෙහිදී නාමල් රාජපක්ෂ පැමිණෙන විට රාජ්‍ය ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් නාමල්ගේ මලලසේකර නිවසට පැමිණ තිබිණි. කලින් සැලසුම් කර ගත් පරිදිම මෙම රාජ්‍ය ඇමැතිවරු මන්ත්‍රීවරු අයවැයට කුමක් කරන්නේ ද යන්න නාමල්ගෙන් විමසා සිටියේය. බොහෝ මන්ත්‍රීවරු හා රාජ්‍ය ඇමැතිවරු පවසා සිටියේ අයවැයට ඡන්දය ලබා නොදිය යුතු බවය.

“ආණ්ඩුවේ තනතූරු අරන් ඉන්න කවුරුත් අයවැයට විරුද්ධ වෙන්න එපා. මට විරුද්ධ වෙන්න පුළුවන් මොකද මම ආණ්ඩුවේ වගකීමක් නොදරන නිසා. නමුත් තනතුරු තියෙන කිසිම කෙනෙක් අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න එපා“ නාමල් පැවසීය.

අපට ලොකු ප්‍රෙෂර් එකක් ජනතාවගෙන් තියෙන්නෙ ,මන්ත්‍රීවරු හා රාජ්‍ය ඇමැතිවරු දිගින් දිගටම පවසන්නට විය. අපි බලමු. අයවැය පරද්දන්න ඕනෙ අපි නෙවෙයි විපක්ෂය. මම නම් ඡන්දෙ දෙන්න එන්නෙ නෑ මොකද ප්‍රායෝගිකව මේ යෝජනා ක්‍රියාත්මක කරන්න බෑ, අනික ගියපාර අයවැයේ තියෙන යෝජනාම මේ පාරත් දාලා. ජනතාවට තියෙන සහන අඩුයි මට ඒ නිසා ඡන්දය දෙන්න එන්න බෑ එදාට මම ඡන්දය දීමෙන් වැළකී ඉන්නවා නාමල් පැවසීය.

හැබැයි එක දෙයක් ආණ්ඩුවේ තනතුරු තියෙන අය ආණ්ඩුව විවේචනය කරන්න එපා නාමල් නැවත උපදේශයක් ද දුන්නේය.සමහරු ආණ්ඩුවේ තනතුරු අරන් ඉන්න ගමන් ආණ්ඩුව විවේචනය කරනවා ඒක හොඳ දෙයක් නෙවෙයි “ නාමල් වැඩිදුරටත් පැවසීය.

ඔව් තුන්වැනි කියැවීමත් තියෙනවනෙ.අපේ මන්ත්‍රී යෝජනා ගොඩක් අයවැයේදී සලකා බලලා තියෙනවා. ඒ වගේමයි පොහොට්ටුවේ අපේ යෝජනා විශේෂයෙන්ම අස්වැසුම පඩි වැඩි කිරීම වගේ යෝජනා ඇතුළත් කර තිබීමත් හොද ප්‍රවණතාවක්. ඒ නිසා අපි දෙවැනිවර කියැවීමට ඡන්දය ලබාදෙමු“ මන්ත්‍රීවරු අවසන් තීරණයකට පැමිණියේය.

පාර්ලිමේන්තුව උණුසුම්

ජනපති රනිල් ඉදිරිපත් කළ අයවැය දෙවන වාර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරුණේ පසුගිය අගහරුවාදාය (21) හිටපු ජනාධිපති මහින්දට අය වැය පිළිබඳ කථාව තිබුණෙත් එදිනමය. මහින්ද අඟහරුවාදා උදෙන්ම පාර්ලිමේන්තුවට ආවේ අයවැය ගැන මුලින්ම කතා කරන්නටය.

එහෙත් අඟහරුවාදා උදෑසන විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුව තුළ ගෝරියක් ඇදගත්තේය. ඒ රටේ ආර්ථික අර්බුදයට වග යුත්තන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කර තිබීම පිළිබඳවය.

ඔහු රාජපක්ෂවරුන්ට චෝදනා කරමින් අදහස් පළ කරන විට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැඩි ලෙස ඊට බාධා කිරිමත් සමඟ පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් විය. ඒ අතර විපක්ෂ නායකවරයාගේ ලිපි ගොනුව ද පැහැරගත් බවට චෝදනා නැඟිණි.

හිටපු ජනපති මහින්ද සිය පාර්ලිමේන්තු කාමරයට වී මේ සියල්ල බලා සිටියේය. නැවත පාර්ලිමේන්තුව සන්සුන් වූ විට සභා ගර්භයට පැමිණ සිය කතාව කළ මහින්ද ආපසු පාර්ලිමේන්තුවේ සිය කාමරයට ගියේය. ඒ වන විට මධ්‍යහන 12 වී තිබිණි.

ඒ අවස්ථාවේ ඇමැති ප්‍රසන්න රණතුංග ඇතුළු කීප දෙනෙකු මහින්ද සමඟ ඔහුගේ නිල කාමරයට ගියේය.

මහින්ද දවසෙම පාර්ලිමේන්තුවේ

“ඡන්දය තියන්නේ හවස 6.00ට නේද ප්‍රසන්න” මහින්ද ඇසුවේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගෙනි.

“ඔව් සර් .. සර්ට ඕනනම් ගිහින් එන්න. පහ මාරට විතර ආපුවහම ඇති” ප්‍රසන්න කිවේය.

“නෑ..නෑ.. මම ඉන්නම්… කියූ මහින්ද මට මෙතන ඉදන් බජට් එක ප්‍රසන්න දුන්න පුටුවේ ඉදන් බලන්නත් පුළුවන්නේ” මහින්ද උත්තර දුන්නේය.

මේ අතර මහින්ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ද කතා කළේය. හවස අයවැයට පක්ෂව ඡන්දය දෙන්න ඒන්නැයි ඔහු නාමල්ට කීවේය. ඒ වෙන විට නාමල් සිටියේ සිය ලඟම හිතවතෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගී වෙමිණි.

“මේ වෙලාවේ අපි මේ බජට් එකට සපෝර්ට් කරන්න් ඕනෑ….ඒ හින්දා මොන වැඩේ තිබුණත් එන්න” මහින්ද නාමල්ට කිවේය.

ප්‍රසන්න, මහින්දව අස්වසයි

පැය 05කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ රැඳී සිටි මහින්ද හවස අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය. ඡන්දය දී යන ගමන් ඔහු අගමැති දිනේෂ්ට හා ඇමැති ප්‍රසන්නට කීවේ “මම මගේ යුතුකම කළා” කියාය.

“සර් කොහොමත් ඕනෑම වේලාවේ දී රට වෙනුවෙන් ඉදිරිපත් වෙන බව අපි දන්නවනේ . ඒකනේ කවුරු මොනව කියුවත් රටේ මිනිස්සු ඔබතුමාට ආදරේ” ඇමැති ප්‍රසන්න කිවේය.

සජිත්ගෙන් පෙත්සමක්

රට ආර්ථීක අර්බුදයට යාම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව තුළින් මතුවන කරුණු ජනගත කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සඳහන් කළේ එය රට වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමක් බව පෙන්වා දෙමින්ය.

එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කීවේ. මේ ගැන පාර්ලිමේන්තුවට 27/2 යෝජනාවක් ලෙස අධිකරණ තීන්දුවේ සඳහන් කරුණු ඉදිරිපත් කළ යුතු බවයි.

විපක්ෂ නායක සජිත් ඒ මොහොතේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පැවසුවේ ඒ පිළිබඳ යෝජනා 21 වැනිදාම ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම්වරයා සඳහන් කළේ මේ පිළිබඳව පුළුල් ජන මතයක් ඇති කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතු බවයි.

ඒ අනුව එම කටයුතු මන්ත්‍රී නලින් බණ්ඩාර , මන්ත්‍රී එස්.එම් මරික්කාර් සහ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසට පැවරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ ද සහය ද ලබාගන්නා ලෙස පවසමින්ය.

එම අධිකරණ තීන්දුවට අනුව වගඋත්තරකරුවන් කර ඇති පිරිසගේ ප්‍රජා අයිතිට අහෝසි කිරීම එම පිරිස දැනට බුක්ති විඳින වරප්‍රසාද අහෝසි කිරීම සහ ඒ ගැන සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටිම වැනි කරුණු මුල් කරගෙන මහජන පෙත්සමක් අත්සන් කිරිම ආරම්භ කරන ලෙස එම මන්ත්‍රී කණ්ඩායමට උපදෙස් දෙමිස් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ජනාධිපතිවරණයට ඉදිරියෙන්ම ඉන්නේ කවුද?

නව සන්ධානයේ දේශපාලන මණ්ඩල නියෝජිතයන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේ පිහිටි නලින් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ කාමරයේ රැස්වී අයවැය ගැන මෙන්ම වත්මන් දේශපාලන කරුණු කාරණා ගැන කතාබහ කළහ.

“පාර්ලිමේන්තුවේ විනය දැන්නම් හොඳටම පිරිහිලා,මේ ක්‍රමය වෙනස් නොවුණහොත් ඒක මේ පාර්ලිමේන්තුවේ ගෞරවයට කරන ලොකු හානියක්” අනුර යාපා පසුගිය දින පාර්ලිමේන්තුවේ ඇතිවූ ගාලගෝට්ටිය සිහිකරමින් කිවේය.

“ඔව් ඒකනම් ඇත්ත, ඕක දෙපැත්තේම අය කරනවා අමුතුවෙන් හැසිරීම ගැන කියල දෙන්න කථානායකතුමාට තියෙන්නේ, පාර්ලිමේන්තුව ඇතුළේ ඉස්කෝලයක් දාන්න තමයි”ලසන්ත අලගියවන්න කිවේය

දැන් විපක්ෂෙට ලොකු බයක් තියනවා ජනාධිපතිතුමා මේ ගේම් එක ස්කෝර් කරයි කියල එකයි මේ ආණ්ඩුවේ හැම එකටම විරුද්ධ වෙන්නේ”ජෝන් සෙනෙවිරත්න කිවේය.

රනිල්, සජිත්ට වජිර පෙන්වමින් කීවේ මොකක්ද?

ජනාධිපති වැය ශීර්ෂ පිළිබඳ විවාදය පසුගිය බදාදා දිනය පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. මෙම විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළේ, අයවැය දෙවන වර කියවීම ඊයේ (21) රාත්‍රියේ සම්මත කර ගැනීමට හැකිවීම පිළිබඳව එතුමන්ගේ සතුට ප්‍රකාශ කරන අතර ඒ සඳහා ඡන්දය දුන් මන්ත්‍රීවරු එකසිය විසි දෙනාටම විශේෂයෙන්ම ස්තූතිවන්ත වන බවත් එම ශක්තියෙන් අපට ඉදිරියට යාමට තිබෙන බවත්ය.

ජනාධිපතිතුමන්ගේ විශේෂ ප්‍රකාශයෙන් පසුව විවාදයට එක් වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි. ඔහු කතාව පටන් ගෙන යන අතරවාරයේදී ජනාධිපතිතුමා දෙස බලමින් පැවසුවේ,

“ජනාධිපතිතුමා ඔබතුමාගේ ගෝලබාලයින්ට කියන්නකෝ මගේ කතාවට බාධා නොකර ඉන්න කියලා. “

මෙයට පිළිතුරු වශයෙන් වජිර දෙසට අත දිගු කළ ජනාධිපතිතුමා එකහෙළාම පැවසුවේ,

“මේ ඉන්නේ මගේ ගෝලයා. එතුමා කිසිම බාධාවක් ඔබතුමාට කළේ නැහැ” යනුවෙනි.

ඉන් අනතුරුව තවත් කථිකයින් දෙදෙනෙකුගෙන් පසුව පාර්ලිමේන්තුව ඇමතීම සඳහා අවස්ථාව ලැබුණේ වජිර අබේවර්ධනටයි.

රාජ්‍ය නායකයන්ගේ කෙරුවාව වජිර හෙළි කරයි

ඔහු පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේ, කවුරුන් හෝ කෙනෙක් ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් කළහොත් එහි ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ටම යනුවෙනි.

අජිත් රාජපක්ෂ ගංවතුර සමඟ

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පසුගිය 23 වැනිදා පෙරවරුවේ ගියේ අම්බලන්තොට, බෝලාන ප්‍රදේශටය. වළවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් අවතැන්වූ පවුල් ගැන සොයාබැලීමට අජිත් රාජපක්ෂ එහි ගොස් තිබුණි. මේ අවස්ථාවේදී අජිත් රාජපක්ෂ ගමන් ගත් ජීප් රථය ද සුළු ගංවතුරකට හසුවිය.

වළවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් විපතට පත් අම්බලන්තොට ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ඒකකය අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු අදාළ නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division