Home » ගැමියාගේ සේසත ම හූරා වැලේ වැල් නැති කරන ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල

ගැමියාගේ සේසත ම හූරා වැලේ වැල් නැති කරන ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

ක්ෂුද්‍ර මූල්‍ය ණය කරුවන්ගේ අර්බුදය පිළිබඳ කතිකාව නැවතත් කරළියට පැමිණ තිබේ. ඒ මෙම අර්බුදයට විසඳුමක් ලෙස නියාමන ක්‍රමවේදක් හඳුන්වාදීමට ඉකුත් නොවැම්බර් 30 වැනිදා රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගැනීමත් සමඟය.  

වාර්තා වන අන්දමට ණය ගෙවා ගත නොහැකිව 300ට ආසන්න පිරිසක් මේ වන විට මියගොස් ඇති අතර, නිල නොවන සංඛ්‍යාව 400ට ආසන්න බව ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. ඒ අය අතර පවුල් පිටින්ම දිවිනසාගත් අය ද වන බව ඔවුන් පෙන්වා දෙයි. මෙකී කාරණා හේතුවෙන් මෙම අර්බුදයේ තරම පැහැදිලි වන අතර, එමඟින් මේ සඳහා කඩිනමින් විසඳුමක් ලබාදීම දැඩිව අවධාරණය කෙරෙයි.

දශක තුනක පමණ කාලයක සිට මෙරට තුළ ක‍්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය වෙනස්කම් රාශියකට බඳුන් වී මේ දක්වා පැමිණි අතර, 1970 දශකයේ මැද භාගයේ පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ මෙම ණය ක්‍රමය මේ වන විට ඉහළ ක්‍රියාකාරිත්වයෙන් යුතු ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන 11,000 පමණ මූල්‍ය ක්ෂේත්‍රය පුරා තම සේවාවන් පුළුල් කර ඇතත් ඉන් මහා බැංකුවේ ලියාපදිංචි කර ඇති ආයතන සංඛ්‍යාව 5ක් පමණක් වන බව මේ වන විට අනාවරණය වී තිබේ.

‘ක‍්ෂුද්‍ර මූල්‍ය ණය’ යනු “දිළිඳු බව තුරන් කිරීමට සහ ආර්ථීක සහ සාමාජීය වශයෙන් අඩු වරප්‍රසාද ලත් සමාජ කණ්ඩායම් විශේෂයෙන් කාන්තාවන් නඟා සිටුවීමට යොදා ගතහැකි ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියකි. 1970 දශකයේ මැද භාගයේ බංග්ලාදේශයේ ඉතා දුෂ්කර ගම්මානයක් ආශ්‍රිතව සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය ලොවට හඳුන්වා දෙනු ලැබුයේ නොබෙල් සම්මානලාභී ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය මොහොමඩ් යුනුස් ය. මෙය අභියෝගාත්මක ගැටලුවක් ලෙස සැලකීමට හේතු වී ඇත්තේ එකී නියාමන ක්‍රමයන් ක්ෂුද්‍ර මූල්‍ය වෙළඳපළෙහි පවතින සුවිශේෂි ලක්ෂණ හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල පවත්නා අසමානතාවලට ගැළපෙන ආකාරයට සකස් කළ යුතු වීමයි. ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා යහපත් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් යුතුව නීතිමය රාමුවක් සැකසීම සඳහා බොහෝ රටවල් මූලික පියවර ගෙන තිබේ. එසේ වුවත් මෙබඳු ක්‍රියාදාමයක සාර්ථකත්වය රඳා පවතින්නේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂි ලක්ෂණ පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් තුළ පවත්නා අවබෝධය මතය. මහාචාර්ය යුනූස් විසින් ද මෙම කරුණ නිරන්තරව අවධාරණය කර ඇත. මෙම මූල්‍ය ආයතන නියාමනය සඳහා රජය මේ ආකාරයකට මුලපුරා ඇත්තේ ද එකී කාරණා පිළිබඳ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී නිරෝෂා ගුරුගේ මේ ගැන අදහස් දක්වමින් සිළුමිණට ප්‍රකාශ කර සිටියේ “නව පනත ගෙන ඒම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කළත්, මෙය ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස පහුගිය කාලය පුරා ඉල්ලූ ඉල්ලීම්වලින් එක කරුණකට පමණක් අවධානය යොමු කරමින් සිදු කළ මැදිහත්වීමක් බවයි. නමුත් මෙම පනතට අඩංගු විය යුතු තවත් කාරණා ගණනාවක් ඇති බවත්, පීඩාවට පත් වෙච්ච වින්දිතයන් ඉල්ලපු ප්‍රධානම කාරණාව නම් අසාධාරණ ලෙස ලබා දුන් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කළ යුතුය යන්න බවත් ඇය පෙන්වා දුන්නාය.

‘ගෙවන්න බෑ… ගෙවන්නේ නෑ’ කියන සටන් පාඨය අප සංවිධානය දිගින් දිගටම කියමින් සිටියේ ඒ නිසයි. ඒක අපි කිව්වේ නිකන් ම නෙමෙයි. මේ අසාධාරණ අය කිරීම ගෙවන්න බැරි නිසා.

මේ ණය මුදලට එකතු කළ අධික පොලියක් තියෙනවා. ඒක කවදාවත් මේ මිනිස්සුන්ට ගෙවල ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ රටේ පිළිගත් නීතිය අනුව කුමන තත්ත්වයක් යටතේ වුවත් අය කළ හැකි පොලි අනුපාතය උපරිම සීයට තිහක් (30%) පමණයි. ඒත් ණය ලබා දෙන සෑම ආයතනයක්ම එම ප්‍රතිශතය ඉක්මවා ණය පොලී වැඩි කරමින් අයුතු ලාභ රැස්කර ගෙන තිබෙනවා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යටතේ ගෙවන මුදලට වඩා අධික ලාභයක් මේ වන විටත් එම සමාගම් උපයා තිබෙනවා. ඒ නිසා අපේ පළමු යෝජනාව වුණේ, මේ ණය කිසිදු කොන්දේසියකින් තොරව කපා හැරිය යුතු බවයි. දෙවැන්න, අසාධාරණ ලෙස නඩු දමා ඇති, සමථ මණ්ඩලවලට හා පොලිසියට පැමිණිලි කර ඇති සියලු නඩු කටයුතුවලින් වින්දිතයන් නිදොස් කොට නිදහස් කරන්න කියන කාරණයයි.

තුන්වෙනුව ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන බහුතරයක් විසින් ණය ලබා දීමේදී දැනට පවතින මූල්‍ය නීති උල්ලංඝනය කර ඇති නිසා අදාළ සමාගම්වලට, ආයතනවලට, සංවිධානවලට හා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු යන්නයි. හතර, අඩු ආදායම්ලාභීන්ට රාජ්‍ය බැංකු මඟින් සහන ණය ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කර දෙන්න කියන යෝජනාවයි. පස්වැනි යෝජනාව වුණේ දැනට පවතින සමාගම් රකින ක්ෂුද්‍ර මූල්‍ය පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමට කටයුතු කරන්න කියන එකයි.

ඒ අනුව තමයි අපි ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පතක් සඳහා වන යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේ. ඉකුත් වසරේ අය වැයෙන් මේ සම්බන්ධයෙන් පත් කළ ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරිය නව අය වැය ගෙන එනතුරුම වරසරක් පුරා කිසිවක් කළේ නැහැ. පසුගිය කාලය පුරා සංවිධානයේ සියලු දෙනා එක්ව අපේ යෝජනා ඇතුළත් කෙටුම්පතක් සකස් කර වගකිවයුතු පාර්ශ්ව වෙත ලබා දුන්නා. ඊට අමතර මේ යෝජනා සම්බන්ධයෙන් වන ප්‍රබල කාරණා සාක්ෂි සහිතව ඉදිරිපත් කළා. නමුත් මේ සියලු දේ කර තිබියදී වසරක් පුරා කටයුතු නොකළ අධිකාරිය හදිසියේ නව පනතක් ගෙනැවිත් තිබෙනවා. පනත තුළ වින්දිනයින් ආරක්ෂා කරගැනීමට අදාළ යම් යම් සාධනීය කාරණා අන්තර්ගතව තිබුණ ද අසාධාරණ ලෙස අය කරන ණය කපාහැරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ පනතින් හෝ මුදල් අමාත්‍යාංශය විසින් හෝ මහ බැංකුව විසින් හෝ ගන්නා බවක් සඳහන් වී නැහැ. මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ලබා නොදී මෙවැනි අසම්පූරණ පනත් ගෙනැවිත් අහිංසක ග්‍රාමීය ජනතාව මුළා කිරීමට උත්සාහ ගන්නේ නම් ජනතාව දැනුම්වත් කරමින් මේ කරන වංචාව හෙළිදරව් කරන බව ද ඇය පැවසීය.

මේ පිළිබඳ අදහස් දැක්වූ නීතීඥ දිනූෂා තිරාණගම කියා සිටියේ “වින්දිතයන්ගේ පූර්ණ අරගලය පවතින්නේ මෙම ණය සම්පූර්ණයෙන් අහෝසි කිරීමත්, ජනතාවට ජීවත් විය හැකි ආර්ථික ක්‍රමයක් දිනා ගැනීම උදෙසා වුවත්, ඔවුන් දිනෙන් දින මුහුණපාන සමාජ හා ආර්ථික තත්ත්ව ඉතාමත් බරපතළ ලෙස අවදානමට ලක්ව ඇති බැවින් ඔවුන්ගේ පස්වන යෝජනා හෝ මෙම කෙටුම්පත මඟින් සැලකිල්ලට ලක්කර තිබීම වැදගත් කාරණයක් බවයි. මෙම කෙටුම්පත සමස්ත වින්දිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් එළි දක්වා ඇති අතර, මේ මොහොත දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින එමෙන්ම කිසිදු ආකාරයකින් ආර්ථික ස්වාධීනත්වයක් නැති ලාංකික කාන්තාවගේ ජීවිත වහල්භාවයේ ගිල්වා ඇති අවස්ථාවක් බව ඇය පෙන්වා දෙන්නීය.

දුප්පත්කම අහෝසි කිරීමට යැයි පවසමින් හඳුන්වා දුන් මෙම ණය නිසා කාන්තා ජීවිත පමණක් නොව දරුවන් සමඟ දිවි නසාගැනීම් 200ට වැඩිය. නිල වාර්තා එසේ වුවත් නිල නොවන වාර්තා අනුව බිලිගත් ජිවිත තවමත් ගණනය කර නොමැත. එමෙන්ම දෛනිකව සිදුවන අතවර, අපචාර අති මහත්ය. දේපළ අහිමි වීම්, නඩු, විවාහ ජීවිත කඩාකප්පල්වීම්, මානසික රෝගීන් බවට පත්වීම් මෙම ණය තුළ අපට හිමිව ඇති දෑවැද්දක් බවට පත්ව ඇත. දිනෙන් දින රට පුරාම මෙම තත්ත්වය දලුලා වැඩෙමින් ඇත.

මෙම පීඩාවට පිළිතුරු ලබා දෙන මුවාවෙන් ජනතා ඡන්දයෙන් බලයට පත්වූ ආණ්ඩු ණය කපා හැරීමේ පොරොන්දු පමණක් නොව ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීම ගැන ද පොරොන්දු මලු පිටින් ලබා දුණි. මෙම ණය ක්‍රමය අහෝසි කරන ලෙස බල කරමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය දිනෙන් දින රැවටීමට ලක්වන අතර, ජනතාව දැනුම්වත් කරමින් ඔවුන් සංවිධානය කිරීමට පියවර ගෙන ඇති බව ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරයේ කළුතර දිස්ක්‍රික්කයේ සංවිධායිකා සඳමාලි කරුණාසිංහ පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ මෙම පනත් කෙටුම්පත සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීමට ඔවුන් මේ වන විට කටයුතු කර ඇති බවයි. ඒ අනුව මෙම නව පනත පැනවීමෙන් පසු එය ක්‍රියාත්මක වන දිනට පෙර සහ පසුව ලියාපදිංචි වී ඇති සියලුම ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන (MFIs) සඳහා මෙම පනත අදාළ විය යුතුය. සියලුම ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන මහ බැංකුව යටතේ ලියාපදිංචි විය යුතුය.

එහිදී නිකුත් කරන බලපත්‍රය වසර දෙකකට වරක් යාවත්කාලීන කරගත යුතුය. තෙවැන්න කිසිඳු පුද්ගලයකුට එකවිට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීමේ කණ්ඩායම් කිහිපයක සාමාජිකයෙක් විය නොහැකි අතර, එය එක් කණ්ඩායමකට සීමා විය යුතුය. එක් සාමාජිකයෙක් කණ්ඩායම් කිහිපයක සාමාජිකයෙක්ව සිටින අවස්ථාවකදී, එක් කණ්ඩායමක සාමාජිකත්වය තබාගෙන අනෙකුත් කණ්ඩායම්වලින් පූර්ව නොතිසියක් ලබා දීමෙන් අනතුරුව ඉවත් විය යුතුය. මෙහිදී ඉවත් වීමට අපේක්ෂා කරන කණ්ඩායමෙන් ලබා ගත් ණය මුදල ගෙවා අවසන් කිරීමට සාධාරණ කාලයක් හිමි විය යුතු අතර සම්පූර්ණ වශයෙන් මුදල ගෙවා නිම වන විට සාමාජිකත්වය ද අහෝසි වී යා යුතු බවයි.

මේ වන විට ඉදිරිපත් කර ඇති නව පනතේ හතර වැනි කාරණාව ලෙස සඳහන් කර ඇති මුදල් ණයට දෙන්නන් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ අනුව මේ ණය ලබා දෙන්නන්ට බල පත්‍ර ලබාදෙන ආකාරය දක්වා තිබෙනවා. දැනට ණය ලබා දෙන ආයතන ගණනාවක් ලියාපදිංචියෙන් තොරව ණය දෙන්න පුළුවන් කියා මින් ආයතන 15ක් පමණ ඉවත් කර තිබෙනවා. ඒ අනුව 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි කරන ලද මූල්‍ය ආයතන මේ ලෙස නම් කර තිබෙනවා.

ඒ වගේම විදේශීය ආණ්ඩුවක් හෝ විදේශීය ආණ්ඩුවක් වෙනුවෙන් ක්‍රියා කරන යම් නියෝජනයක් හෝ අයතනයක් ඇත්නම් ඔවුන්ට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙන්න පුළුවන්. නමුත් ඔවුන් සම්බන්ධයෙන් මේ පනත වලංගු වන්නේ නැහැ. ඒ අතරට ආසියානු සංවර්ධන බැංකුව, සමෘද්ධි බැංකුව ආදී විශේෂ ආයතන ගණනාවක් ඇතුළත් කර තිබෙනවා. මේ පනත ගෙන ඒමට ප්‍රථම පැවති 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ ලියාපදිංචි වී තිබුණේ ආයතන හතරයි. ඒ ආයතන හතර ඇරෙන්න රට තුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11000ක් ඇති බව මුදල් රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාම පවසනවා. ඒ ආයතන 11000 ම මේ වන විට ණය ලබා දී තිබෙනවා. ඒවා ලියාපදිංචිය ලබා නොදී ඉවත් කර ඇත්තේ ඇයි ද කියන ප්‍රශ්නය මෙහිදී පැන නඟිනවා.

අප කියන්නේ මේ ආයතන සියල්ලක්ම නියාමනය කරන්න කියලයි. නමුත් අප ඉදිරිපත් කළ ප්‍රධාන කාරණා පහ පසෙකලා මේ ගැසට් පත්‍රය යොමු කර තිබෙනවා යැයි ඕ පවසන්නීය.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division