Home » අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කළ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය

අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කළ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය බස්නාහිර පළාත තුළ පිහිටි ප්‍රභාමත් පාසලක් වන අතර, මෙහි ඉතිහාසය විමසා බලන විට ආරම්භය බ්‍රිතාන්‍ය යටත් විජිත සමය දක්වා දිවයයි. 19 වැනි සියවසේ අවසාන භාගය වන විටත් කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ දරු දැරියන්ට සිප්සතර හැදෑරීමට පාසලක් නොවීය. මේ පිළිබඳ අවධානය යොමු කළ එච්.ඒ.ඩී. ලුවිස් ගුණසේකර 1890 දී පමණ පහළ බෝමිරිය, සල්ගහමුල පාරේ, තමාට අයත් ඉඩමක පොල් අතු සෙවිලි කරන ලද මඩුවක් තනා, එය පාසලක් ලෙස ලියාපදිංචි කර පවත්වාගෙන ගියේය. මෙම පාසල “බෙලිගහ යට ඉස්කෝලය” නමින් ව්‍යවහාර වූ බව ජනප්‍රවාදිතයේ සඳහන්ය. එහෙත් වැඩි කලක් යන්නට මත්තෙන් මෙම පාසල අබලන් වී කඩා වැටුණි. ඉන්පසු එවක විදුහලේ ගුරුවරයකු වූ දොන් සයිමන් ගුණසේකර විසින් තමා පදිංචිව සිටි පහළ බෝමිරිය අවිස්සාවේල්ල පාරේ නිවෙස වෙත පාසල ගෙන යන ලදී. නිවෙසේ ඉස්තෝප්පුවේත් යාබද මඩුවේත් කලක් යනතුරු පාසල පැවැත්විණි. මෙකල පාසලේ විදුහල්පති ධුරය දොන් ජෝන් දාබරේ විසින් උසුලන ලදී.

මේ කාලයේ බෝමිරියේ ගම්මුලාදෑනි තනතුර හෙබවූ සාතන් ආරච්චි තමාට අයත් අක්කරයක පමණ ඉඩමක වර්ෂ 1898-1902 පමණ කාලයේ ගම්වැසියන්ගේද ආධාර හා සහයෝගය ඇතිව ස්ථිර නව පාසල් ගොඩනැඟිල්ලක් ඉදිකර පරිත්‍යාග කළේය.

මෙම ගොඩනැඟිල්ලට ගෙන ආ පාසල බෝමිරිය රජයේ ද්විභාෂා පාඨශාලාව (Government Bilingual School – Bomiriya) නමින් හඳුන්වන ලද අතර, එහි මුල්ම ප්‍රධානාචාර්යවරයා වූයේ දොන් සයිමන් ගුණතිලකය. මෙම ද්විභාෂා පාසලෙහි සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකම උගන්වන්නට කටයුතු කෙරිණි. වික්ටර් ඩියුක් ද ලැනරෝල් මෙහි ගුරුවරයෙකු වශයෙන් සේවය කළ අතර, වර්ෂ 1909 දී මුණිදාස කුමාරතුංගයන් ද පුහුණු ගුරුවරයකු ලෙස මෙම විදුහලට තේරී පත්ව සේවය කළ බව වාර්තාවල සඳහන් වේ. පසු කාලයේ එම විදුහල කුමාරතුංග මුණිදාස කනිෂ්ඨ විද්‍යාලය ලෙස නම් කරන ලදී.

වර්ෂ 1917-18 පමණ වන විට පාසලේ සිසුන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීම නිසා පාසලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයට පත්විය. විදුහල්පති, ගුරුවරුන් සහ ගම්වාසීන් ද කළ ඉල්ලීම නිසා ඉඩකඩ ඇති ස්ථානයක මෙම පාසල පිහිටු වීමට රජය තීරණය කරන ලදී. මේ සඳහා බෝමිරියේ විසූ එච්. ඩී. ඩවුසන් ගුණසේකර ඔහුගේ ඉඩමෙන් අක්කර දෙක හමාරක පමණ කොටසක්, නව විදුහල ඉදිකිරීම සඳහා රජයට පරිත්‍යාග කළේය. ඒ අනුව රජයේ අනුග්‍රහයෙන් සහ ගම්වැසියන්ගේ සහයෝගයෙන් වත්මන් බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය පිහිටි මෙම භූමියේ පළමු ගොඩනැඟිල්ල ඉදිකොට, ද්විභාෂා පිරිමි පාසලක් ලෙස වර්ෂ 1920 දී ආරම්භ කරන ලදී. වර්තමානයේ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය යනුවෙන් හැඳින්වෙන්නේ මෙම ද්විභාෂා පාසලයි. මෙම විද්‍යාලය ආරම්භයේ වර්ග අඩි 4,200 ක විශාලත්වයක් ඇති ගොඩනැඟිල්ලක සිසුන් 150 – 200ක ප්‍රමාණයක් හා ගුරුවරුන් 6 දෙනෙකුගෙන් සමන්විත විය. එවක විදුහල්පතිවරයා වූයේ සේරම් විපේමාන්නය..

ද්විභාෂා පාසල නව ස්ථානයට මාරුවීම නිසා පහළ බෝමිරියේ මුල් පාසල කාන්තා පාසල බවට පත් වූ අතර, නව පාසල බෝමිරිය පිරිමි පාසල බවට පත් විය. පසුව 1939 සිට පිරිමි – ගැහැනු මිශ්‍ර පාසලක් වූ අතර, එය 1940 දී කනිෂ්ඨ විද්‍යාලයක් ලෙස නම් කෙරිණි. වර්ෂ 1956 සිට බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය, සිංහල මාධ්‍ය මිශ්‍ර පාසලක් බවට පත් විය. මේ කාලයේ පාසලේ විදුහල්පතිවරයාව සිටි ඒ. එම්. කේ. ධනසේකර විසින් කරන ලද ඉල්ලීමක් අනුව, වර්ෂ 1963 දී සාමාන්‍ය පෙළ වාණිජ අංශයත් 1964 සිට උසස් පෙළ කලා අංශයත් ආරම්භ කරන ලදී.

1987 අප්‍රේල් මස 03 වැනිදා පාසල් සංවර්ධන සමිතිය හා පාසලේ සුබපතන්නන්ගේ සංගමය හා එක්ව ඩී.පේ. මතසිංහ හා එම මැතිණිය විසින් පාසලට පුස්තකාල ගොඩනැඟිල්ලක් ඉදිකර පරිත්‍යාග කරන ලදී. බියට්‍රිස් මතසිංහ විසින් 1992 දී දන්ත චිකිත්සාගාරය ඉදිකර පරිත්‍යාග කළාය. විදුහල්පති ධනසේකරගේ මැදිහත් වීමෙන් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් විද්‍යාගාරයක් ඉදිකොට 1966 මාර්තු මස 26 වැනිදා විවෘත කරන ලදී. එම උත්සව අවස්ථාවේදී ලුවිස් ගුණසේකරගේ පුත්‍රයා වන එඩ්මන් ගුණසේකර විසින් තම පෞද්ගලික ඉඩම පාසලට ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා පරිත්‍යාග කළේය. විද්‍යාගාරය ඉදිකිරීමත් සමඟ, 1967 වර්ෂයේ ජනවාරි පළමු වන දින සිට අ.පො.ස (සා.පෙළ) විද්‍යා අංශය ආරම්භ කරන ලදී. විදුහල්පති එන්. එස්. පෙරේරාගේ මෙහෙය වීමෙන්, 1973දී උසස් පෙළ වාණිජ අංශය විධිමත් ලෙස ආරම්භ විය. 1989දී උසස් පෙළ විද්‍යා අංශය ආරම්භ කරන ලදී. 1992.07.22 වැනිදා මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් වූ මෙම විද්‍යාලය 1998.01.06 දින ජාතික පාසලක් බවට පත් කෙරිණි. එසේම 2014 ජූනි මාසයේ තාක්ෂණ පීඨය ආරම්භ වීමත් සමඟ, මෙම විද්‍යාලය 1 AB SUPER වර්ගීකරණයට අයත් පාසලක් බවට පත් විය.

විදුහල්පතිවරුන් එකොළොස් දෙනකු යටතේ ක්‍රමයෙන් සෑම අතින්ම සංවර්ධනය වෙමින් ආ පාසලේ 12 වැනි විදුහල්පතිවරයා වන්නේ වත්මන් විදුහල්පති අසංග තිලකරත්නය. හෙතෙම අධ්‍යාපනයෙන් ක්‍රිඩාවෙන් මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් අතින්ද දරුවන් ඉදිරියට ගෙන යමින් කීර්තිමත් විද්‍යාලයක් ලෙස බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය ඔසවා තැබීමට නායකත්වය ලබාදෙමින් සිටියි.

මේ කාලය තුළ 2022 උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන්, විද්‍යා අංශයෙන්, ගණිත අංශයෙන්, කලා අංශයෙන් හා තාක්ෂණවේදය අංශයෙන් සිසු සිසුවියන් 52නකු සරසවි වරම් ලබා ඇත. මීට අමතරව නාට්‍ය, සංගීත, චිත්‍ර, සිංහල භාෂාව හා සාහිත්‍යය, ඉංග්‍රීසි භාෂා දින තරඟ හා කරාතේ ආදී සමස්ත ලංකා තරගවලින් ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගැනීමට බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සමත්ව ඇත.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division