Home » මට ලිවීමේ විනෝදයක් නෑ ඒක වෙලාවකට මහ හිසරදයක්

මට ලිවීමේ විනෝදයක් නෑ ඒක වෙලාවකට මහ හිසරදයක්

සුරත් ද මැල්

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

ළමයින් අමුතු නැත. එහෙත් හැම ළමයකුට ම ආවේණික ක්‍රමයක් තිබේ. එහෙයින් කිසිම ළමයෙක් එක හා සමාන නොවේ. ළමුතු අමයා කියන්නේ ම ඒ වෙනස ගැන දැනුම්වත් ව ලියැවුණකි. අවුරුදු 10ක දරුවකුගේ ආත්ම කථනයක් ලෙස උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලියැවී ඇති ළමුතු අමයා ගැන කතුවර සුරත් ද මැල් පවසන්නේ එය තමාගේ ම ළමා කාලයේ මතක සටහන් ඇසුරෙන් ලියැවුණු බවෙකි. ළමුතු අමයා කියවන පාඨක අපට සිතෙන්නේ මේ කෘතිය දරුවන් කෙසේ වෙතත් සියලු මවුපියන් කියවිය යුතු කෘතියක් ලෙසිනි.

ළමුතු අමයා සුරත්ගේ නිර්මාණ ක්ෂේත්‍රයේ ද වෙනස් අත්දැකීමකි. තී හා තා නවකතාවෙන් පටන් ගත් ඔහුගේ නිර්මාණ ජීවිතයේ සී+ හා DUO ගෙන් පසු බිහි වුණු සිවුවන නිර්මාණ ප්‍රවේශය මෙයයි.

ළමුතු අමයා කෘතියේ නමේ ඉඳන් ඔබ යම්කිසි වෙනසක් අපේක්ෂා කරමින් ලියන බව පැහැදිලියි.

වෙනසක් අපේක්ෂා නොකර නිර්මාණ කරන අයත් ඉන්නවද මන් දන්නේ නෑ. නිර්මාණකාරයො කරන්න හදන වෙනස පාඨකයන්ට ග්‍රහණය වෙනව ද නැත්තම් වෙනසක් ග්‍රහණය කරගන්න තරම් අර්ථවත් දෙයක් නිර්මාණය ඇතුළෙ තාර්කිකව ගොඩනැඟිලා තියෙනව ද කියන එකයි වැදගත් වෙන්නේ. කෘතියක නම කියන්නේ එකම ඉලක්කයට විදින බහුකාර්යය දැන්වීමක්නේ. මේක දොරටුවේ අලවලා තිබුණම ඇතුළෙ තියෙන්නේ මොනවද කියලා වටහා ගන්න පිරිසක් දොරෙන් ඇතුළු වෙනවා. තවත් අය දැන්වීම හොඳ නිසා ඇතුළු වෙලා බලනවා මොනවා තියේවිද කියලා.

අවුරුදු 10 ක ළමයකුගේ ආත්ම කථනයක් විදියට උත්තමපුරුෂයෙන් මෙය ලියැවෙන්නේ. හැබැයි ඔබ ගෙවමින් ඉන්නේ හතරවැනි දශකය. අමාරු වුණේ නැද්ද ඒ රූපාන්තරණය?

හතරවැනි දශකයට පිවිසෙන්නේ පළමු දශකය ගෙවලා ඉවර වෙලානේ. ඒ කාලේ මතක හිටියේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. මට ගොඩාක් දේවල් මතක හිටින්නේ නෑ. ඉගෙන ගත්ත කිසිම දෙයක් මතක නෑ. කියවපු පොත්, නරඹපු චිත්‍රපට, මිනිස්සුන්ගෙ නම් මතක නෑ. හතරමං හන්දියක් හමුවුණාම හැරෙන්න ඕන මොන පැත්තට ද කියලා මතක නෑ. ඒත් ජීවිතේ සිද්ධි මතකයි. ඒ හා සම්බන්ධ වුණු අන් අය⁣ට අමතක දේත් මතකයි. වරක් මිතුරෙක් පැවසුවා ඒ නිසා තමයි නවකතා ලියන්න පුළුවන් වෙන්නැත්තේ කියලා. සමහර විට එය මගේම ස්වරූපරාගී බවේ රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. අනෙක ජීවිතයේ වැදගත්ම කාලය තමයි මුල් වසර කිහිපය. ඒ කාලයේදී ‘ඔබ’ අත්විඳින ‘ඔබ’ අනාගතයේදී ‘ඔබ’ කවුරුන් වේද යන්න තීරණය කරනවා. එහෙමත් නැත­්නම් සරලවම ගත්තොත් වර්තමාන අපි කියන්නේ අපේ ළමා කාලයේ ප්‍රඩක්ට් එකක්. ඒ නිසයි ළමයින්ට යහපත් ළමා කාලයක් ලබා දෙන්න ඕන කියන්නේ. අද ඉන්න මම මගේ ළමා කාලයේ දිගුවක් නිසාත් ඒ පිළිබඳව මම සවිඥානික නිසාත් එයට පිවිසීම මට කොහෙත්ම අපහසු වුණේ නෑ.

හැම ළමයෙක් ම එකිනෙකාට වෙනස්. මේ වෙනසට ජීව විද්‍යාවට වඩා බලපාන්නෙ සංස්කෘතිකමය සීමා ද කියලා වෙලාවකට හිතෙනවා. ඒ සිතීම ළමුතු අමයා කියෙව්වාම තව දුරටත් සනාථ වුණා. මොකද ඒ ගැන කියන්නෙ.

සෑම ළමයක්ම ස්වකීය අනන්‍යතාවකින් යුත් අයෙක් කියලා තමයි අපි වටහා ගන්න ඕනේ. එක හැන්දෙන් හැමෝටම බෙදනවා කියන න්‍යාය ළමයින්ට සරිලන්නේ නෑ. ඒ ඒ ළමයා සමඟ ගනුදෙනු කළ යුත්තේ ඔවුන්ගේ සීමා සමඟ. අනෙක ජීව විද්‍යාත්මක වෙනස වැදගත් වෙන්නේ පිරිමි ළමයෙක් වීම ගැහැනු ළමයෙක් වීමට වඩා උතුම් යැයි සලකන ප්‍රාග් ඓතිහාසික ගෝත්‍රික සමාජීය චින්තනය දැන් සංස්කෘතික සීමාවක් විදියට රූපාන්තරණය වෙලා තියෙන තැන්වල තමයි. ලංකාව තවම ඉන් මිදිලා නැතත් මේ සංස්කෘතික ගැටලුව ඊටත් වඩා දෙපාර්ශ්වයටම පොදුයි.

ළමයා කියන කෙනාව අච්චුවක් ඇතුළට දාලා නිර්මාණය කරන්නනේ ලංකාවේ දෙමාපියෝ කැමති. ශිෂ්‍යත්වේ සමත් වෙන්න, හොඳ ඉස්කෝලෙකට යන්න, දොස්තර කෙනෙක් වෙන්න, ගෙවල් දොරවල් යානවාහන අරන් ඊළඟට උඹලත් ළමයි හදලා ඒ පාරෙම යවන්න. නැත්තන් ජාත්‍යන්තර පාසලකට ගිහින් විදේශීය විශ්වවිද්‍යාලයකට ගිහින් ලංකාවට ඇවිත් විවාහයක් කරගෙන ඒ රටටම නැවත ගිහින් පදිංචි වෙලා අපිට නොතේරෙන උඹලටම තේරෙන විදියටකට ළමයි හදලා නිවාඩුවට අපිව බලලා යන්න එන්න. මේ සෙනාරියෝ දෙක වෙලාවකට මිශ්‍රත් වෙනවා. මේකට තමයි මවුපියෝ හිතන්නේ පර්ෆෙක්ට් ලයිෆ් කියලා. අන්න ඒ ඉලක්කයට යන්න හදන සොම්බි ප්‍රඩක්ට් එකකට තමයි මෙහේ ළමයි කියන්නේ. හරියට මැට්‍රික්ස් චිත්‍රපටයේ මිනිස්සු නිෂ්පාදනය කරනවා වගේ.

අනික ගුරුවරු තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න කොයිතරම් දීර්ඝ සටනක් කරනව ද? හැබැයි ළමයින්ගෙ අයිතිවාසිකම් ගැන සංවිධාන ගත වෙනව ද? එක්කෝ ඔවුන් හිතනවා මේ ක්‍රමය හරි කියලා. මේ ක්‍රමය පවත්වා ගැනීමෙන් ගුරුපියවරු මවුවරු විදියට වැඳුම් පිඳුම් ලැබීම වටිනවා කියලා. නැත්තන් හිතනවා අදාළ නෑ කියලා. අනික ගුරුවරු උගන්නන්නේ මොනවද කොහොමද කියන එකට වැඩිය අඳින සාරිය තමයි වැදගත් කියලා හිතන අය ඉන්න සංස්කෘතියක්නෙ මේක. පාරේ දඩාවතේ යන බල්ලොන්ගේ අයිතීන් සුරකින්නත් සංවිධාන තියෙනවා. හැබැයි ළමයින්ගේ අයිතිවාසිකම් ගැන කවුද කතා කරන්නේ? ඒකට හේතුව වැඩිහිටියෝ හැමෝම හිතනවා එයාලා තමයි හොඳටම කරන්නේ කියලා. එහෙම කිව්වා කියලා එක මිනිහෙක්ට හිනා වුණාට ඔක්කොම වැඩිහිටියෝ හිතන්නෙ එහෙමම තමයි.

සාම්ප්‍රදායිකත්වය ළමා කාලය විඳින්න බාධා සම්පාදනය කරනවා ද?

සම්ප්‍රදාය කියන වචනයේ වැරැද්දක් නෑ. මොකක්ද සම්ප්‍රදාය කියන එකයි ප්‍රශ්නේ. ළමයින්ට නිදහස්ව අධ්‍යාපනය විඳින්න දෙන, විභාග තියලා ළමයින්ව මරවන්නේ නැති, ගෙදර වැඩ දෙන්නෙ නැති, කිලෝ දහයක පොත් බෑග් එකක් උස්ස ගෙන යන්න ඕනෙ නැති, තමන්ට සරිලන වේගයට ඉගෙනීම කරන්න පුළුවන්, ඉගෙනීම විනෝදයෙන් කර ගන්න හැකි ඉගෙනුම් සම්ප්‍රදායනුත් ලෝකයේ තියෙනවා. ඒ වගේම වසරකට විභාග තුනක් ලියන්න වෙන, ප්‍රතිඵල අනුව බැණුම් අහන්න ගුටි කන්න ⁣වෙන, අනෙකා සමඟ සන්සන්දනය කර මානසිකව වද දෙන, ටියුෂන් යන්න ටියුෂන් ඩබල් කරන්න වෙන, සෙල්ලම් කරන්න වෙලාවක් නැති, ළමා කාලයක් නැති, විභාගේ ලකුණු මත ජීවිතේ තීරණය කරන, ප්‍රතිඵල දැක සියදිවි හානි කර ගන්නා තත්ත්වයට ළමයින්ව පොලඹවන සම්ප්‍රදායනුත් තියෙනවා. අනික ළමයින්ට ගහලා බැණලා දස වද දීලා ලොකු මහත් කරලා ලොකු නෝනා මහත්තුරු කරන්නේ ළමයින්ට තියෙන ආදරයටම නෙමෙයි, තමන්ට අනාගතයේදි සලකන්න ඕන කියන නිහඬ ගිවිසුම නැත්තන් ආත්මරාගී ලයිෆ් ඉන්ෂුවරන්ස් එකටයි එයාලා ඒ ආයෝජනය කරන්නේ. ලංකාව හරි සම්ප්‍රදායික රටක් නේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නේ අපේ සම්ප්‍රදාය හරි නෑ.

සමහර සාමාජීය සත්‍ය පාඨකයා කොනිත්තමින් පහදන එක නිර්මාණවලින් කළ යුතු කාර්යයක් විදියට ඔබ සිතනවද?

සමාජ සත්‍ය ප්‍රතිනිර්මාණය කරමින් පාඨකයා කොනිත්තනව ද නැත්තන් හීන දකිමින් සැනසෙන්න නැළවෙන්න දෙනව ද කියන එක නිර්මාණ කරන කාටත් කළ හැකි තේරීමක්. මින් දෙවැන්න තෝරා ගන්න අය පිළිබඳ මගේ කිසිම අගරුවක් නෑ. මන්ද ලොව සියලු රස පැවතිය යුතු නිසා. හැබැයි පාඨකයා කුල්මත් කරන්න මේ ක්‍රම දෙකෙන්ම පුළුවන්. ඒ වගේම ඉතාම අප්‍රසන්න දෙයක් හාස්‍යයෙන් උද්දීපනය කරලා ඉදිරිපත් කිරීම තවත් ක්‍රමයක්. එතකොට ඒක අයිසින් කරපු කේක් එකක් නෙමෙයි චොක්ලට් ටොපින් දාපු බෝම්බයක්. කනකොට රහයි. රස නහර පිනා යනවා. හැබැයි බඩේදි පිපිරෙනවා.

ඔබ නිර්මාණ භාවිතයේදී විවිධ පාඨක පිරිස් අත්හදා බලනවා ද?

පාඨක පිරිස් හෝ මාතෘකා මම අත්හදා බලන්නේ නෑ. මොකද මාර්කට් ඔරියන්ටඩ් රීසර්ච් කරන්න මට ලිවිල්ල කියන්නේ බිස්නස් එකක් නෙමෙයි. ලිවීම කියන්නේ මම මගෙන් ගැලවෙන්න ගන්න උත්සාහයක්. සමහර මිනිස්සු මට නන් අදහසින් නානාප්‍රකාර දේ ලියන්න යෝජනා කරනවා. මට එහෙම විනෝදයට, මුදලට හෝ සම්මානවලට ලියන්න බෑ. මට ලිවීමේ විනෝදයකුත් නෑ. ඒක වෙලාවකට මහ හිසරදයක්. ඊටත් වඩා විශාලෙට නැඟෙන පීඩනයකින් ගැලවෙන්නයි මම ලියන්නේ. මම මගේ හඬ කරගෙන තියෙන්නෙ අකුරු. මාව පීඩාවට පත් කරන මානසික දේශපාලනික හෝ සංස්කෘතික කාරණා තමයි මම ලියන්නේ. පුළුල් පාඨක සමාජය අතරින් ඒවාට ගැළපෙන පාඨක පිරිස් මේ නිර්මාණ කියවනවා.

සාහිත්‍යයත් සෙල්ලමක් වගේ දෙයක් ද කියලා ඔබ කරන මේ සන්දර්භගත ලියැවීම් හරහා මට හිතෙනවා. ඔබ එක එක ඉත්තො එක එක වෙලාවට පිටියට ගේනවා.

ජීවිතය සෙල්ලමක් නම් සාහිත්‍යයත් සෙල්ලමක් විය හැකියි නේද? හැම සෙල්ලමකම අනිවාර්යය කලාවක් තියෙනවනේ? ඒ වගේම හැම කලාවකම සෙල්ලමකුත් තියෙනවා. සෙල්ලම් කරන්නෙ ජයග්‍රහණය සඳහාම නෙමෙයි නේ. මේකත් එහෙමමයි. දිනන්න බැරි වෙලාවට සහභාගීත්වය තමයි වැදගත්. මම විශ්වාස කරනවා ජීවිතය හැම කලාවටම වැඩිය විශාලයි කියලා. ඉන් බිඳක් තමයි අපි ප්‍රතිනිර්මාණය කරන්නේ. මගේ නිර්මාණ බොහෝ විට මගේ ජීවිතය හා බැඳී පවතිනවා. මම දර්ශනයෙන් හෝ දේශපාලනයෙන් අරන් මෙය පත අට එකට සිඳුවා පොදු ජන සුබ සිද්ධිය වෙනුවෙන් නිර්මාණයක් ලෙස ජනගත කළ යුතු යැයි හඟින කෙනෙක් නෙවෙයි. මට අත්‍යන්තයෙන් දැනුණු දේවලට දේශපාලනය, දර්ශනය සහ සංස්කෘතිකය කළ බලපෑම්වල ස්වරූපය ලිහා විසංයෝජනය කර දක්වන්න ලියන කෙනෙක්.

ළමුතු අමයා ළමයින්ට නොවෙයි වැඩිහිටියන්ටයි. හිතනවද පොත්වලින් සමාජ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කියලා.

කෙටිකාලීනව නම් බෑ. කෙටිකාලීනව නම් කලාවෙන් නෙමෙයි දේශපාලනයෙන්වත් ඒක කරන්න බැරි බව ඉතිහාසය පෙන්නලා දීලා තියෙනවා. දීර්ඝකාලීන චින්තන වෙනසකින් සමාජය වෙනස් වෙනවා. ඒකට නිදහස් චින්තනයත්, අදහස් දැක්වීමත්, වර්තමානය කියන සදාතන අවකාශයේදී අවශ්‍යයි. වර්තමානයේ නිදහස් සංස්කෘතික සන්දර්භයන් ඇති තැනක වසර දෙතුන් සීයක ඉතිහාසය ගෙන බැලුවොත් ඔවුන් අද ඉන්න තැනට පැමිණි ගමනේ මං සලකුණු බලා ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඉතිහාසයේ අවුරුදු සිය ගණන් ආපස්සට ගිහින් බැලුවොත් අද අපි ඉන්න තැනට හේතු සාධක හොයා ගන්නත් හැකි වේවි. විශිෂ්ට චින්තන ඉතිහාසයක් තිබුණා නම් ශිෂ්ට සම්පන්න වර්තමානයකුත් තියෙන්න ඕන.

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division