Home » මල්වරය ජ්‍යොතිෂ ඇසින්

මල්වරය ජ්‍යොතිෂ ඇසින්

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

– වෙසක් – නිකිණි – වප් – උඳුවප් – නවම් මාසවල මල්වර වන දැරියන් වාසනාවන්තයි
– මල්වරයෙන් පසු මල්වර කේන්දරය සහ ජන්ම කේන්දරයෙන් පලාපල බලා ගැනීම සුබයි

කාන්තාවන්ට ම සුවිශේෂී වූ චාරිත්‍රයක් වන මල්වරයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. වැඩිහිටි කාන්තා උපදෙස් අනුව මල්වරයේදී යුවතියක් කටයුතු කළ යුතුය. යුවතියක් නැතිනම් දැරියක් මල්වර වීම වර්තමාන ජන සමාජයේ බොහෝ විට මංගල කාරණයක් ලෙස සලකනු ලබයි. ඒ අනුව අපගේ චාරිත්‍රයන් අතරින් දැරියකගේ මල්වර චාරිත්‍රයට හිමි වනුයේ ඉතාම වැදගත් වූ ස්ථානයකි.

නීරෝගි දැරියකගේ මල්වරය වයස අවුරුදු 10ත් 14 ඇතුළතදී සිදුවන අතර කලාතුරකින් වයස අවුරුදු දහයට පෙර හා 14 පසු සිදුවන මල්වර වීම් ද දක්නට ඇත. එය විවිධ රෝගාබාධ හා ස්ත්‍රියගේ ශාරීරික තත්ත්වය මත සිදුවන්නකි. යම් ස්ත්‍රියකගේ ගර්භාෂය දරුවන් බිහි කිරීමට සකස් වීම නැතහොත් පළමු සෘතු වීම ප්‍රථම ඔපස් වීම යනුවෙන්ද මල්වරය හඳුන්වනු ලබයි.

මෙසේ දැරියක් ප්‍රථමයෙන් මල්වර වූ කල්හි දෛවඥයකු කරා ගොස් එහි සුබ අසුබ පරීක්ෂා කිරීමත් ඊට අදාළ මල්වර කේන්දරය හා මල්වර නැකැත් සාදා ගැනීමත් සිදු කරනු ලබයි. යුවතියක් මල්වර වන අවස්ථාවේදී දවස, නැකත, තිථිය, ලග්නය, මාසය, හැඳ සිටි වස්ත්‍රය හා ස්ථානය පදනම්කොට ගෙන මල්වර පල ප්‍රකාශ කරනු ලැබේ.

යම් යුවතියක් මල්වර වූ ස්ථානය අනුව ඇගේ අනාගත ජීවිතයේ සුබ අසුබතා මෙසේ දැක්විය හැකිය.

. තමා පදිංචි නිවස ඇතුළේදී මල්වර වීම ඉතාම සුබදායක වන අතර තම ගෞරවය ආරක්ෂා කරගනිමින් දියුණුවෙන් දියුණුවට පත් වනු ඇත.

. ගෙදරින් පිට තනිවම සිටින අවස්ථාවක නම් අනාගත ස්වාමියාට අසුබදායක අතර තමාට දුක් කරදර ඇතිවනු ඇත.

. ඥාති නොවන නිවසක හෝ අතරමඟකදී නම් තම කල්ක්‍රියාව යහපත් නොවන අධික වියදම්කාරියක වනු ඇත.

. නෑ ගෙදරකදී මල්වර වූ යුවතිය තම ඥාතීන්ට හිතවත් වන අතර ඇයට එම ඥාතීන්ගෙන් උදවු උපකාර බෙහෙවින් හිමි වනු ඇත.

. තමා පදිංචි ග්‍රාමයේ නොව පිට ගමකදී නම් ගමන්බිමන් වැඩි අතර පිට අය සමඟ ආශ්‍රයද ඉතාමත් වැඩිය.

. යම් උත්සව අවස්ථාවකදී හෝ ජනකායක් මැදකදී මල්වරය සිදු වූයේ නම් ඇයට සියලු සැප සම්පත් ලැබෙන අතර ප්‍රසිද්ධිය හා දියුණුව ලැබී යහපත්ව වාසය කිරීමට ලැබෙනු ඇත.

. ස්නානය කරන විට හෝ ළිඳක්, ගඟක්, හෝ ජලාශයක් අසල නම් ආයුෂ වැඩිවන අතර නීරෝගිභාවය ඇති වනු ඇත. ඇය බෙහෙවින් අනුන්ට උපකාර කරන තැනැත්තියක් වන අතර ඇයට බොහෝ අලංකාර වස්තු ද ලැබෙනු ඇත.

. තමා ජීවත්වන ගමේ අසල්වැසි නිවෙස් අසල නම් එම යුවතිය නිතරම අසල්වැසි ගෙවල්වලට යාමට කැමති වනු ඇත.

. ස්ත්‍රීන් මධ්‍යයේ මල්වර වූ යුවතියට වස්තුව, සැප සම්පත් ලැබී සැප සේ වාසය කිරීමට ලැබෙන අතර පිරිමින් අසලදී මල්වර වූ යුවතියට එසේ නොවන අතර ඇයගේ ශරීර ශක්තිය අඩු වන අතර, ඇය සතු ලැජ්ජා බය ද නැති වී යයි. එවන් වූ කාන්තාවගේ ජීවිතය සැපවත් නොවේ.

. ගවයන් සමීපයේ හෝ ගව ගාලක් අබියසදී මල්වර වූ ස්ත්‍රියගේ ගති පැවතුම් ඉතා යහපත් වන අතර ඇයට කෑමබීම හිඟ වන්නේ ද නැත.

. සොහොනක් අසල, දේවස්ථානයක් අසල, මළ ගෙදරකදී දින හතක් ඇතුළත නම් හා හිස් භාජනයක් රැගෙන එන විට ඉදිරියට මුණ ගැසුණු විට මෙන්ම වාහනයක ගමන් කරන විටදී හෝ සිටගෙන සිටින විට යම් යුවතියක් මල්වර වූවොත් එම මල්වරය ඇයට එතරම් සුබදායක නැත.

. තම පාසලේ, පන්තියේ හෝ ළමයින් මධ්‍යයේ හෝ සභාවක් මධ්‍යයේ මල්වර වූ යුවතිය ඉතාම නිර්භීත වන අතර ඕනෑම තැනක ඉදිරියට යාමට පසුබට නොවනු ඇත. ලැජ්ජාව හා සබකෝලය ඉතාම අඩුය. ඕනෑම තැනක යාමට බය නැත. ඉහළට යාමට හා උසස් වීමට මහත් වූ අශාවක් දක්වයි. අනුන්ට යටත් නැති අතර තම මතයටම අනුව කටයුතු කරයි. තම ස්ථීර විවාහයට කලින් ප්‍රේම සම්බන්ධතා රාශියක් ගොඩ නඟා ගනී.

. නිදාගෙන සිටින විට, සෙල්ලම් කරමින් සිටින විට, පිරුණු භාජනයක් රැගෙන එන විට ඉදිරියට මුණ ගැසෙන පරිදි හෝ විහාරස්ථානයකදී, වන්දනා ගමනක් යන විටදී, ධාන්‍ය සහිත කමතකදී, වී හාල් එළවළු තිබෙන තැනකදී හෝ ගොයම් නොකැපූ කෙත් යායක් අසලදී යම් ස්ත්‍රියක් මල්වර වුවහොත් ඇය ඉතාම වාසනාවන්ත වන අතර සියලු සැප සම්පත් අනාගතයේදී ලැබෙනු ඇත. එසේම ඇය නීරෝගි වනු ඇත. දෙමාපියන්ටත් සුබදායක වේ.

වෙසක්, නිකිණි, වප්, උඳුවප්, නවම් යන මාසවලදී මල්වර වන යුවතිය ඉතාම වාසනාවන්ත වන අතර යහපත් විවාහ, දූදරු ලාභ හිමි, උසස් අධ්‍යාපනයක් සහිත ධනයෙන් අනූන නීරෝගි ආගම දහමට ලැදී යහපත් පැවතුම් ඇති වනු ඇත. බක්, පොසොන්, ඇසළ, බිනර, ඉල්, දුරුතු, මැදින් යන මාසවලදී මල්වර වන යුවතිය එතරම් වාසනාවන්ත නැත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී බණ්ඩාරගම - සම්පත් එස්. කල්පගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division