Home » උඳුවප් මාසය ඔබට කොහොම ද?

උඳුවප් මාසය ඔබට කොහොම ද?

by Mahesh Lakehouse
November 25, 2023 12:31 am 0 comment

– දෙසැම්බරයේ ග්‍රහ මාරු 4ක් සහ ග්‍රහ යුද්ධයක්
– දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගතියක් කෘෂිකර්මාන්තයේ දියුණුවක්
– අසරණ ජනතාවගේ දුක නිවන මංපෙත් විවර වේ

2023 වසරේ අවසන් මාසයට පියවර තබන ඔබට 2024 නව වසරක් පිළිබඳ නැවුම් බලාපොරොත්තුද සිතෙහි මැවෙනු ඇත. ඒ සමග දෙසැම්බර් මාසය තුළ ග්‍රහ රටාවන් අනුව ග්‍රහ මාරු 4ක් සහ ග්‍රහ යුද්ධ 1ක් දක්නට ලැබෙයි. ග්‍රහලොව ප්‍රධානියා වන රවි ග්‍රහයා දෙසැම්බර් 16 දින 15.58 ට ධනුවටද ශුක්‍ර හෙවත් සිකුරු 25 දින 06.45 ට වෘශ්චිකයටද කුජ 28 දින 00.19 ට ධනුවටද බුධ 28 දින 11.22 ට වෘශ්චිකයටද පිවිසේ. දෙසැම්බර් 28 දින 06. 02 ට පවතින කුජ – බුධ ග්‍රහ යුද්ධයෙන් බුධට ජය ලැබෙයි.ඉහත ග්‍රහ සිත්තම අනුව පසුගිය කාලසීමාවේ පැවති කාලගුණික, දේශගුණික විපර්යාස ඉදිරි මාසය තුළ යම් සුබවාදී තත්ත්වයක් පෙන්නුම් කරනු ඇත. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය, කෘෂිකාර්මික අංශවල දියුණුවක් දැකගත හැකි වේ. රාජ්‍ය හෝ රාජ්‍ය නොවන අංශවලින් අසරණ ජනතාවගේ දුක කඳුළ නිවන මංපෙත් විවර වේ.

දෙසැම්බර් 14 දින සිට 2024 ජනවාරි 3 දක්වා කාලය දරුවන් පිළිබඳව අපල තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් වැඩි අවධානයක් ඔවුන් කෙරෙහි යොමු කිරීම මවුපියන් සතු වගකීමක් වේ. දැන් ඔබගේ ලග්නයට මේ ග්‍රහ ගෝචරය කුමන අයුරකින් බලපවත්වන්නේදැයි විමසා බලමු. මෙහිදී ඔබට සුබපලම හිමි නොවුණත් අසුබපල මඟහරවා ගැනීමට දහමට නැඹුරු වීම තුළින් හැකි වනු ඇත. යහපත් වූ චේතනා පෙරදැරිව අන්‍යයන්ට උදවු උපකාර කරමින් සාමාජයීය හා පොදු වැඩවලට දායක වෙමින් ඉවසීම සහ මෛත්‍රීසහගතව කල් ගෙවීම ජීවිත ජයග්‍රහණය සලසනු ඇත.

මේෂ – මිතුරන් සහ සහෝදරයන්ගෙන් උපකාර

ගෘහ ජීවිතය :- දෙසැම්බර් මාසය ලබන විටත් ගුරු ලග්නගතව පිහිටීම ඔබේ උද්‍යෝගිමත් බව වැඩි කරයි. උසස් උගත් මිතුරන්ගෙන් සහ සහෝදර පක්ෂයෙන් උපකාර ලැබේ. අනෙකුත් ග්‍රහ දෝෂ සමනය කරයි. පදිංචි ස්ථානයේ සහ දරුවන්ගේ දියුණුව උදෙසා වෙහෙසෙයි. කරන කියන කටයුතුවල සාර්ථක බව මෙන්ම ආර්ථිකයද ශක්තිමත් වේ. කීර්ති ප්‍රශංසා හිමිකර දෙයි.

රැකියාව :- රැකියා ස්ථානය වූ 10 වැන්නේ අධිපති 11 වැන්න වූ අයස්ථාන ගත වීම සුබ කරුණකි. අතමිට සරු වේ. තම රැකියාව කුමක් වුවත් එය අවංකව සත්‍යවාදීව කරන්නට උනන්දු වන බැවින් කාගේත් පිළිගැනීමට ලක් වෙයි. මෙතෙක් රැකියා නොලැබ සිටි අයට සුදුසු රැකියා ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති අතර විදෙස්ගත වීමේ අවස්ථා හිමිකර දෙයි.

අධ්‍යාපනය :- අධ්‍යාපන කටයුතු හොඳින් සාර්ථකව කරගෙන යාමට අවැසි ග්‍රහබල දෙසැම්බර් මාසය තුළ බලපවත්වයි. මාසයේ මැද භාගයෙන් පසු උසස් ඥාන ශක්තියක් ගෙන දෙයි. විභාගවලින් ජයග්‍රහණ ලබයි.

සෞඛ්‍යය :- සෙම් රෝග, ස්නායු දුබලතා, වාත රෝග සෑදීමට ඉඩ ඇති හෙයින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. අවේලාවේ කෑම සුදුසු නොවේ.

මාසයේ අපල අවම කර ගැනීමට අඟහරුවාදා දිනවල නිර්මාංසව කොලොන් කොළ මත පහන් දල්වා බෝධි පූජා කරන්න. අභිසම්භිධාන පිරිත නි‍ෙවසේදී උදේ හෝ සවස 7ට හෝ 21 වරක් කියන්න.

සුබ අංක – 7, 8, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – අඟහරුවාදා, සෙනසුරාදා

වෘෂභ – සතුරන් මිතුරන් වන කාලයක්

ගෘහ ජීවිතය :- යෝග කාරක ශනි සහ රවි යන ග්‍රහයන් දෙදෙනා සිටින ස්ථානයන් අනුව එළඹෙන මාසය ඔබට අයහපත් නොවේ. සිතුවිලි අරමුණු සාමකාමී සහ පල දරන ඒවා බවට පත්වේ. ඇසුරු කරන අය අතර ප්‍රසාදය හිමි වේ. පදිංචි ස්ථානයේ දියුණුව පිණිස වැඩ කටයුතු කරයි. උද්‍යෝගිමත් බව ඇතිවන අලසකම් දුරුවන සතුරන් පවා මිතුරු වන කාලයක් වනු ඇත.

රැකියාව :- බොහෝ වෙහෙස මහන්සි වී කරන රැකියාවක වුවත් ඔබට සැනසීම හිමි කර දෙයි. අතමිට සරු වෙයි. සාධාරණ අයුරින් හරිහම්බ කිරීම ඔබේ අරමුණ වෙයි. මෙතෙක් රැකියාවක් නොලැබ කනගාටුවෙන් පසු වූයේ නම් ඔබට රැකියා ලැබිය යුතු කාලයකි. විදෙස් ගමන් සපල විය හැකියි.

අධ්‍යාපනය :- විද්‍යාස්ථාන අධිපති බුධ 8 වැන්නේ ගෝචර වීම අනුව උත්සාහයේ හැටියට ප්‍රතිඵල නොලැබී යා හැකි වුවත් මාසයේ අග කොටසේදී සුබපල ගෙන දෙයි. ජනවාරි මස වන විට බොහෝ සෙයින් සතුටුදායක වේ.

සෞඛ්‍යය :- දැනට පවතින්නා වූ සෙම් රෝග, උගුරේ ආසාධන හා දණහිසේ, පාදවල අසනීප ආදියට සහනයක් ලැබෙනු ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නොසලකා හැරීම ඒවා වැඩි වීමට හේතු වේ.

අපල අවම වීමට සමාජ සේවා පොදු වැඩවලට සහභාගි වීම විහාරස්ථානවල කටයුතුවලට උදවු උපකාර කිරීම, වකුගඩු රෝගීන්ට පිහිට වීම තුළින් හැකි වේ.

සුබ අංක – 3, 6, සුබ වර්ණ – රෝස, ක්‍රීම්, සුබ දවස් – සෙනසුරාදා, බදාදා

මිථුන – ආර්ථිකය ශක්තිමත් වන කාලයක්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 7 වැන්නේත් යෝගකාරක සිකුරු 5 වැන්නේත් ගෝචරව සිටින දෙසැම්බර් මාසය ඔබගේ ආර්ථිකය ශක්තිමත් වන දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු වන කාල පරිච්ඡේදයක් වනු ඇත. බුද්ධිමත් මිනිසුන් ජීවිතයට මුණගැසෙන සහ ලියන කියන අංශ දියුණු වන බව දක්නට ඇත. සුළු වශයෙන් යුග දිවියේ ගැටලු මතු වුවත් ඒවා තාවකාලික වේ. ධෛර්යයෙන් යුතුව අනාගත සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරයි.

රැකියාව :- 10 වැන්න වූ රැකියා ස්ථානයේ අධිපති ගුරු 11 වැන්න වු අයස්ථානයේ සිටියදී ආරම්භ වන මාසය ඔබ කුමන රැකියාවක නියැළුණද ලාභ ප්‍රයෝජන ආර්ථික වාසි අත් වේ. මිල මුදල් අතමිට ගැවසේ. රැකියා ස්ථානයේ සිටින උගත් බුද්ධිමත් අයගෙන් ගුරු හරුකම් ලැබේ.

අධ්‍යාපනය :- කලාත්මක විෂයන් හදාරන දරුවනට ඉතා හොඳ විශිෂ්ට ප්‍රතිඵල උදා කරන ග්‍රහ බල නිර්මාණය වී ඇත. ඔවුන්ගේ දක්ෂතා කැපී පෙනෙයි. ඒ වගේම අන්‍ය දරුවනට ද තම අධ්‍යාපනික මට්ටම උසස් කර ගැනීමට හැකියාව පවතී.

සෞඛ්‍යය :- ලේ දෝෂ, හදිසි අනතුරු, අජීර්ණ, සෙම් රෝග ඇතිවීමේ අවදානම පෙන්වයි.

අපල අවදානම අඩුකර ගැනීමට හැකි පමණ අසරණ මනුෂ්‍යයන්ට උදවු උපකාර කරන්න. කුඩා දරුවනට ආරක්ෂාව ආදරය ලබා දෙන්න. කොහොඹ පැළයකට සත්කාර කරන්න.

සුබ අංකයන් – 5, 11, සුබ වර්ණය – කොළ, සුබ දවස් – සිකුරුදා, බදාදා

කටක – දරුවන්ගේ බලාපොරොත්තු ඉටු වේ

ගෘහ ජීවිතය :- යෝගකාරක කුජ 5 වැන්නේ ගෝචරව සිටීම අනුව උත්සාහය ධෛර්යසම්පන්න බව වැඩිදියුණු වේ. පදිංචි ස්ථානය ගෘහය තුළ කටයුතු අනලස්ව කරගනිමින් පිරිසිදුකම ගැන වැඩියෙන් සිතයි. ඒරාෂ්ටකයක් පවතින නිසාවෙන් අපල අනතුරු ඇති නිසා කරන කියන දේවල් ප්‍රවේශමෙන් සිදු කරන්න. සඳු 12 වැන්නේ බැවින් පුණ්‍ය කටයුතුවල නිරත වීම ඔබට යහපත ගෙන දේ.

රැකියාව :- ඔබ කරන කියන රැකියා ක්ෂේත්‍රය කුමක් වුවත් ඉදිරි කාලය තුළ ඔබගේ තනතුරු උසස් වීමක් හෝ පිළිගැනීමකට භාජනය වීමක් සිදුවේ. සමහර විට විදෙස් රැකියා ඉල්ලුම් කළ අයට ඒවා ලැබෙන්නට ඇති ඉඩකඩ වැඩිය.

අධ්‍යාපනය :- විද්‍යා අධ්‍යාපනය පමණක් නොව අනෙකුත් ක්ෂේත්‍රවල ඉගෙනගන්නා දරුවන්ගේද ධෛර්යශක්තිය දැනුම වැඩි දියුණු වන ග්‍රහපල පෙන්වන හෙයින් විභාග ආදියෙන් ජයග්‍රහණ ලබයි. ඉගෙන ගන්නා දරුවනට යහපත් කාල පරිච්ඡේදයකි.

සෞඛ්‍යය :- පාදවල වේදනා, හදිසි තුවාල, සෙම් රෝග ඇති විය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.

අපල අවම වීමට සඳුදා දිනවල සුදු මල් සහිත බෝධි පූජාවක් සිදු කර විශේෂයෙන් පත්තිනි මෑණියන්ට පින් දෙන්න. අන්තරාය නිවාරණ පිරිත නිතර ගමන් බිමන් යාමට ප්‍රථම කියන්න.

සුබ අංක – 7, 9, සුබ වර්ණ – සුදු, කහ, සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ – ගේදොර යානවාහන හිමිකම්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති රවි යෝග කාරක කුජ සමඟ සිවුවැන්නේ ගෝචර වී සිටින බැවින් දෙසැම්බර් මාසය ඔබට අයහපත් නොවනු ඇත. ගෙදර දොර වැඩ කටයුතු සියල්ලක්ම අතපසු නොකර කර ගැනීමේ භාග්‍ය වෙති. ස්වෝත්සාහයෙන්ම කර ගැනීමට බලනු මිස කිසිවකුගෙන් සහයෝගය බලාපොරොත්තු නොවේ. දෙමවුපිය උපකාර පිය පාර්ශ්වයේ සහයෝගය නොඅඩුව ලැබේ. උද්‍යෝගය ධෛර්යය තුළින් ජයග්‍රහණ ලබයි. ගේදොර යානවාහන හිමි වේ.

රැකියාව :- සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය ස්වයං රැකියා දියුණු තත්ත්වයකට පත් වේ. කෘෂිකාර්මික අංශද දියුණු වේ. ස්වර්ණාභරණ අලෙවිය මැණික් යොදා කරන ආභරණ ඉල්ලුම වැඩි වෙයි. නිමි ඇඳුම් ව්‍යාපාරයද ලාභ ලබයි.

අධ්‍යාපනය :- උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ නැණ නුවණ වර්ධනය වන ග්‍රහ බල ඇත. කලා අංශවල වැඩි දියුණුවක් පෙන්නුම් කරයි. දක්ෂ ගුරුවරුන්ගේ සහාය ලැබෙයි. භාෂාමය හැකියාවන්ද මතු කරයි.

සෞඛ්‍යය :- සෙම් පිත් රෝග, උණ, ස්නායු දුර්වලතා නිසා ඇති වන වාත රෝග ආදියට හේතු වෙයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

අපල අවම කරගැනීමට මාසයේ මුල් ඉරිදා දින රතු නෙළුම් නැතහොත් වෙනත් රතු මල් බුදුන්ට පූජා කර දෙවියන්ට පින් දෙන්න. සූරිය පිරිත, මෝර පිරිත නිතර උදේට කියන්න.

සුබ අංක – 1, 4, සුබ වර්ණ – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා – උසස් නිලධාරින්ගෙන් උදවු උපකාර

ගෘහ ජීවිතය :- ලග්නාධිපති බුධ සිවුවැන්නේත් යෝගකාරක සිකුරු දෙවැන්නේත් ගෝචර වෙමින් ආරම්භ වන මාසයේ ඔබට ද අතපසුව තිබූ ගෙදර දොර වැඩ කටයුතු බොහොමයක් කරගැනීමට හැකි වනු ඇත. දුවා දරුවන්ගේ යහපත් කරුණු කාරණාවලට වැඩි ආයාසයක් දරයි. ඔබගේ වචනයට ගරු කරමින් උසස් නිලධාරීන්ගේ උදවු උපකාර ද ලැබෙනු ඇත. අනාගතය ගැන සිතා දිරියෙන් කටයුතු කරන්නට ගන්නා උත්සාහයට ප්‍රතිඵල එළඹෙන මාසය තුළ ඔබට ලැබේ.

රැකියාව :- ලිපි ලේඛන සම්බන්ධව කෙරෙන මුද්‍රණ කර්මාන්ත, තැපැල් දෙපාර්තමේන්තුවේ සේවා, ගුරු වෘත්තිය, නිතිඥ වෘත්තිය, පුවත්පත් පොත්පත් ආයතනවල නියැළෙන අයට සුබදායක කාලයකි. බ්‍රෝකර් වැඩවලින්ද ලාභ ප්‍රයෝජන අත්වන අතර ස්වයං රැකියා දියුණු වේ. අතමිට සරු වන කාලයකි.

අධ්‍යාපනය :- අධ්‍යාපනයේ නියැළෙන දරුවන්ට සුබපල උදා කරන ග්‍රහ බලයක් 3 වැන්නේ නිර්මාණය වී ඇත. ඒ අනුව ප්‍රාථමික අංශවලට වඩා උසස් අධ්‍යාපනය ලබන දරුවනට දැනුම බුද්ධිය වැඩි දියුණු කෙරේ.

සෞඛ්‍යය :- ගුරු අටවැන්නේ ගෝචර වීම අනුව උණ, සෙම් රෝග, හිසරදය මතු කෙරෙයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ උනන්දු වීම, අවේලාවේ නෑමෙන් සහ පිනි බෑමෙන් වැළකීම අසනීප අඩු කරයි.

අපල අඩු වීමට උදෙන්ම බුදුන් වහන්සේට පැන් වීදුරුවක් තබන්න. කොහොඹ පැළයකට සත්කාර කරන්න.

සුබ අංක – 3, 5, සුබ වර්ණ – කොළ, සුබ දවස් – සිකුරාදා, බදාදා

තුලා – ස්ත්‍රී පක්ෂයෙන් උදවු උපකාර

ගෘහ ජීවිතය :- යෝගකාරක සෙනසුරු 5 වැන්නේත් ලග්නාධිපති ලග්නයේත් ගෝචරව සිටීම යහපත්ය. ගෘහ ජීවිතය තුළ සතුට සමාදානය සැහැල්ලු බව පවත්වාගෙන යාමට හැකි වාතාවරණයක් පවතී. දුර ගමන් බිමන් යෙදෙයි. ස්ත්‍රී පක්ෂයෙන් උදවු උපකාර ලැබෙන දූවරුන්ගේ ප්‍රමාද වූ කටයුතු පල දරන කාලයකි. යානවාහන මිලදී ගැනීමට ඔබ සිතා සිටියේ නම් ඒවාට ද ඉඩකඩ සැලසේ. චාම් ගති පැවතුම් ඇති උගත් උසස් මිත්‍රයන් ඇසුරට හමු වේ.

රැකියාව :- එතෙර රැකියා ඉල්ලුම් කර තිබුණේ නම් ඒවා ලැබීමට ඉඩ ප්‍රස්ථා ඇතිවේ. රැකියා කාරක සෙනසුරු 5 වැන්නේ වීම තුළ මෙතෙක් රැකියා නොලද ඔබට රැකියා ලැබීමට පුළුවන. ඇවිදිලි වැඩිවේ. ඒත් ලාභ ප්‍රයෝජන හිමි වේ. හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අංශවලින් වැඩි ආදායමක් උපයා ගත හැකිවේ.

අධ්‍යාපනය :- සෙනසුරු 5 වැන්න වූ විද්‍යස්ථානයේ ගෝචරව සිටීම ඉගෙනුම ලබන දරුවනට බාධාවක් විය හැකි අවස්ථා උදා වේ. සෙනසුරාදා දිනවල බෝධි පූජා පවත්වා එම දරුවන්ට සෙත් පැතීමෙන් ඒවා වළකා ගත හැකිය.

සෞඛ්‍යය :- මුත්‍ර දෝෂ, උණ, තුනටියේ පහළ වේදනා, කොඳු ඇට පෙළේ පහළ ප්‍රදේශයේ අපහසුතා ඇති විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

අපල අවම කරගැනීමට සිකුරාදා දින බෝධි පූජා තබන්න. වකුගඩු රෝගීන්ට උපකාර කරන්න. දසදිසා පිරිත උදේ සවස කියන්න.

සුබ අංක – 3,6, සුබ වර්ණ – රෝස, ක්‍රීම්, සුබ දවස් – සෙනසුරාදා, බදාදා

වෘශ්චික – විදෙස් ගමන් බිමන්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති ලග්නයේම පිහිටීම සහ කර්මස්ථානාධිපති රවි සමඟ යෝග වීමත් ආශීර්වාදයකි. ධෛර්යයෙන් යුතුව නොපැකිළව තමා සතු යුතුකම් කොටස ඉටු කරයි. ලෞකික දියුණුව අපේක්ෂාවෙන් වැඩ කටයුතු කරයි. එමෙන්ම ප්‍රධානියෙකු සේ යුක්තියට මුල් තැනක් දී සාධාරණව කටයුතු කිරීම තුළ අන්‍යයන්ට ද ආදර්ශයක් වනු ඇත. ගේදොර, යානවාහන හිමි වීමේ භාග්‍යසම්පන්න කාලයකි. පොදු වැඩ සාමාජයීය කටයුතුවල නිරායාසයෙන් ගැවසේ. විදෙස් ගමන් යෙදෙන්නට ඉඩකඩ ඇත.

රැකියාව :- රාජ්‍ය අංශවල සේවය කරන්නේ නම් ප්‍රධානීන් සමඟ උරෙන්උර ගැටී තම රාජකාරි හරිහැටි ඉටුකරයි. ප්‍රතිපත්තිගරුක වේ. පෞද්ගලික අංශවල වුවද නියමිත සේවා කාලය අවංකව ඉටුකිරීමට පෙලඹෙයි. උසස්වීම් සහ නායකත්වය ගෙන කටයුතු කිරීමට අවස්ථා උදා වේ. ආර්ථිකය ශක්තිමත් වනු ඇත.

අධ්‍යාපනය :- අධ්‍යාපන කටයුතුවලට සුළු වශයෙන් බාධා පැමිණීමට ඉඩ ඇත. ඒ රාහු 5 වැන්නට පැමිණීම නිසාය. ඉගෙනීම පිණිස විදෙස්ගත වීමද සිදු වනු ඇත. වැටකේ මල් බෝධියට චෛත්‍යයට පූජා කර දෙවියනට පින් දී එම බාධා මඟ හැර ගන්න.

සෞඛ්‍යය :- උණ, සෙම් රෝග මෙන්ම උෂ්ණාධික රෝග ද මතු විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.

පවතින අපල අවම වීමට අඟහරුවාදා දිනවල නිර්මාංසව කුසගින්නේ සිටින අයෙකුට ආහාර ලබා දෙන්න.

සුබ අංක – 5, 11, සුබ වර්ණ – රතු, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ධනු – බලාපොරොත්තු ඉටු වේ

ගෘහ ජීවිතය :- කර්මස්ථානාධිපති බුධ ලග්නගත වීමත් ලග්නාධිපති ගුරු පූර්ව පුණ්‍යස්ථානයේ වීමත් අනුව ඉදිරි මාසය තුළ ඔබගේ බලාපොරොත්තු බොහොමයක් සපල වීමේ ප්‍රවණතාව පෙන්වයි. විදෙස් ගමන් ඉල්ලුම් කර තිබුණේ නම් ඒවා පිළිබඳ ලිපි ලේඛන සුබවාදී විය හැකිය. කරන කියන කටයුතුවල දියුණුවක් දක්නට ලැබෙයි. ගේදොර, යානවාහන පිළිබඳව යම් ගැටලුවක් තිබුණේ නම් ඒවා විසඳේ.

රැකියාව :- මේ කාලය තුළ පිහිටි ග්‍රහබල අනුව රාජකාරි ස්ථානයෙන් දුරස්ව එම කටයුතු කිරීමට ඉඩකඩ ඇත. එසේ නොවුණහොත් සුළු කලකට හෝ විදෙස්ගත වීමක් සිදු වීමට පුළුවන. කුමන අංශයක රැකියාවක් කළත් ලාභ ප්‍රයෝජන මෙන්ම මුදල් වැඩි වීම් ද සිදු වනු ඇත. බුද්ධිමත් තීන්දු තීරණ ගැනීමට උනන්දු වන්න.

අධ්‍යාපනය :- ඉගෙනුම් කටයුතුවලට බාධා ඇති නොවේ. ගුරුභවතුන්ගේ උත්සාහය කැපකිරීම ඔබ තුළ උනන්දුවක් ඇති කරයි. එවන් ගුරුභවතුන් මුණ ගැසෙන කාලයක් ලෙස පෙන්නුම් කළ හැකිය. පොතපත දැනුම, පරිගණක දැනුම උකහා ගැනීමට සුදුසු භාග්‍යසම්පන්න කාලයක් බැවින් ඒ සඳහා කැපකිරීමක් කර ජයග්‍රහණය ලබන්න.

සෞඛ්‍යය :- සෙම් රෝග, උණ, බඩපුරවා දැමීම වැනි අසනීප ඇති විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීමෙන් ඒවා අඩු කර ගන්න.

පවතින අපල අවම කර ගැනීමට බෝධින් වහන්සේට උවටැන් කරන්න. බෝපත්‍ර අතින් අහුලා ඉවත්කර පැන් බඳුනක් දමන්න.

සුබ අංක -9, 11, සුබ වර්ණ – කහ, සුබ දවස් – ඉරිදා, බදාදා

මකර – ආර්ථිකය ශක්තිමත් වන කාලයක්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති ශනි දෙවැන්නේ පිහිටීමත් යෝගකාරක සිකුරු කර්මස්ථානයේ පිහිටීමත් දෙසැම්බර් මාසය ලබන විට ඔබට සුබපල දනවන කරුණකි. අනුකම්පාසහගතව අන්‍යයන්ට අසල්වාසීන්ට ආගන්තුකයන් හට උදවු උපකාර කරන්නට පෙලඹේ. සමහර විට ඒ නිසාම කරදර ද ඇති විය හැකි බැවින් බුද්ධිමත් වන්න. ගෙදරදොර වැඩකටයුතු, පිරිසිදු කිරීම් ආදිය නිසා වෙහෙසට පත්වේ. දානමාන කටයුතු පිළියෙල කරයි.

රැකියාව :- ඔබ කුමන රැකියාවක නියැළුණද එය අවංකව ඉටු කිරීමට අරමුණු කර ගැනීම නිසාම ගැටලු ඇති නොවේ. සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය, ස්වර්ණාභරණ මැණික් ව්‍යාපාර දියුණුවේ. ගෘහස්ථ කර්මාන්ත ලෙස ස්වයං රැකියාවල නිමැවුම්වලට ඉල්ලුම වැඩි වේ.

අධ්‍යාපනය :- කලාත්මක අංශවල ඉගෙනුම ලබන දරුවන්ගේ දක්ෂතා වැඩිදියුණු වේ. අනෙකුත් අංශවලින් ඉගෙනුම ලබන දරුවනට ද පවතින ග්‍රහබල අනුව තම අපේක්ෂා මුදුන්පත් කරගැනීමට සුදුසු වාතාවරණයක් පෙන්නුම් කරයි. සමහරකුට තමන් බලාපොරොත්තුව සිටි විදෙස් අධ්‍යාපනයට අවතීර්ණ වීමට හැකිවේ.

සෞඛ්‍යය :- අක්ෂි රෝග, ස්නායු දුබලතා, පාදවල අසනීප ඇති විය හැකි අවදානම වැඩිය. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ උනන්දු වන්න.

පවතින අපල අවම කරගැනීමට රෝගී වූ අසරණ කෙනෙකුට බෙහෙත් ලබා ගැනීමට සුළු මුදලක් හෝ පරිත්‍යාග කරන්න.

සුබ අංක 9, 11, සුබ වර්ණ – නිල්, සුබ දවස – සිකුරාදා

කුම්භ – පදිංචි ස්ථානයේ දියුණුවක්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති ලග්නයේත් යෝගකාරක සිකුරු භාග්‍යස්ථානයේත් ගෝචරව සිටින ඉදිරි මාසයේ ඔබට ද වාසනාවන්ත කාලයක් උදා වනු ඇත. ගෙදරදොර දියුණුවට අදාළ මුදල් හදල් උපයා ගැනීම්වලට දෙවරක් නොසිතා අත ගසයි. ඒරාෂ්ටකයක් පවතින බැවින් සහ රාහු දෙවැන්න වූ ධනස්ථානයේ ගෝචරව ඇති බැවින් හවුල් ව්‍යාපාරවලදී මෙන්ම ඇපවලට අත්සන් තැබීම් ආදියේදී බුද්ධිමත් වන්න. වංචාවලට අසු විය හැකි බැවින් වචනය ද ප්‍රවේශමෙන් හසුරුවන්න.

රැකියාව :- අවිවේකය බලපවත්වන අතර රැකියා කරන ස්ථානයේ වගකීම් අණපනත් නිසි ලෙස පිළිපැදිය යුතු කාලයක් වෙයි. දිවා රෑ නොබලා සේවය කරන්නට ද සිදුවේ. සමහර විට ස්ථාන මාරු ආදියට ද ඉඩ ඇත.

අධ්‍යාපනය :- දරුවන්ගේ ඉක්මන්කාරී ස්වභාවය නිසා අමතක වීම් අතපසු වීම් යෙදෙන්නට හැකි බැවින් කලබල නොවී තැන්පත් බුද්ධියෙන් කටයුතු කළ යුතුව ඇත. ඔවුනට සුදුසු වාතාවරණයක් නි‍ෙවස තුළ ගොඩනඟා දීම මවුපියන් සතු කාර්යයකි.

සෞඛ්‍යය :- ආමාශගත අසනීප, සෙම්, පිත් රෝග, හෘද රෝගවලට ඉඩ ඇති බැවින් සුළු හෝ විවේකයක් ගැනීමත් උදය ආහාර වේල නොවරදවා ගැනීමත් වැදගත් වේ.

පවතින අපල අවම කර ගැනිමට භාවනාවක යෙදෙන්න.

සුබ අංක – 8, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මීන – ලැබීම් මෙන්ම වැය පක්ෂයද වැඩි වේ

ගෘහ ජීවිතය :- වැඩ රාජකාරි බහුල ඇවිදිලි වැඩි කාලයක් බව පෙන්වයි. මනස එක අරමුණක පිහිටුවා ගැනීමට නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන්නේ රාහු ලග්නගත වීම අනුවය. ඒරාෂ්ටක තත්ත්වයක් ද උද්ගතව ඇති බැවින් ඔබ බොහෝ කල්පනාකාරීව මෙන්ම බුද්ධිමත්ව සිය කටයුතු කළමනාකරණය කරගත යුතුව ඇත. අමතක වීම් අතපසු වීම් නිසා ගැටලු මතු විය හැකිය. ආගමික නැඹුරුතාව මත ඔබට සහනදායී බව ගෙන දෙන බැවින් ඒ සඳහා කාලයක් වෙන්කර ගැනීම වැදගත් වේ.

රැකියාව :- ඔබ කුමන රැකියාවක නිරත වුවද එය නිසියාකාරව ඉටු කිරීමට වෙහෙසෙන බැවින් පාලකයන්ගේ දෝෂාරෝපණයට ලක් නොවේ. සමහර විට කාල වේලාවෙන් පිට වැඩ කිරීමට ද තමාට අදාළ නැති වැඩ කොටස් කිරීමට ද සිදු වනු ඇත. එසේ හෙයින් ඉවසීම ඉතා වැදගත් වේ. ලැබීම් මෙන්ම වැය පක්ෂය ද වැඩි වනු ඇත.

අධ්‍යාපනය :- ප්‍රාථමික අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය ලබන දරුවනට ද පවතින ග්‍රහ රටාවන් අනුව යම් ගැටලු මතු වුවත් ඒවා නිරාකරණය කර ගැනීමට අපහසු නොවනු ඇත. මතක ශක්තිය වර්ධනය කර ගැනීමට බෝධි පූජාවලට සහභාගිවන්න.

සෞඛ්‍යය :- ප්‍රධාන වශයෙන් සෙම් රෝග තත්ත්වය නිසා අපහසුතාවන්ට ලක් වෙයි. හිස බර ගතිය, හෘදය සම්බන්ධ පීඩාකාරී ස්වභාවයන් පෙන්නුම් කරයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.

අපල අවම වීමට බ්‍රහස්පතින්දා දිනවල බෝධි පූජා පවත්වන්න. භික්ෂූන් වහන්සේට ගිලන්පස පිළිගන්වන්න.

සුබ අංක – 3, 4, සුබ වර්ණය – කහ, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී - ශ්‍රියා ගනේගොඩ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division