Home » ශනි ග්‍රහයාගේ සුබ සංයෝග

ශනි ග්‍රහයාගේ සුබ සංයෝග

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

ශනි බලවත් නම් රාජ්‍ය පාලකයකු හෝ විශාල ධනයක් බලයක් ඇත්තකු වෙනවාමයි

ග්‍රහලොව කම්කරුවා, යාචකයා ලෙස හඳුන්වන ශනි ලෞකික සැපතට බාධා ඇති කරන දුකට අධිපති මිනිස් ජීවිතය හකුළුවා තබන සැපයට අකමැති ග්‍රහයාය. මහලු වයසට සෙනසුරු අධිපති වේ. ශනි ග්‍රහයා වටා වළලු තුනක් ඇත. රාශියක ගත කරන කාලය වර්ෂ 2 1/2 කි. දිළිඳුකම, අවාසනාවන්තකම, නිමක් නැති දුක් විඳීම, කම්මැළිකම, මරණය, කරන වැඩවලට බාධා ඇති වීම, බලාපොරොත්තු සුන් වීම, දුක් විඳින රෝග සෑදීම, බර වැඩ, ශරීරය කෙට්ටු වීම, දුර්වර්ණ වීම සෙනසුරුට අයිති වේ.

ශනි බලවත් වූ විට රාජ්‍ය පාලකයෙකු හෝ විශාල ධනයක් බලයක් ඇත්තෙකු කරයි. ඉතා ප්‍රවේශමෙන් මුදල් වියදම් කරන, ගැඹුරින් කල්පනා කර තීරණ ගන්නා, චාම් ගතිගුණ ඇති, ඉවසීමේ ශක්තිය වැඩි, ඉලක්ක ජය ගන්නා, ආගමික නැඹුරුව ආදිය ඇති කරයි.

ශනි දුර්වල වූ විට අන්‍යයන්ට වෛර කරන, නිමක් නැතිව දුක් විඳින, අවිශ්වාසයෙන් ජීවත්වන කම්මැළි ගති ඇති තද දුක් විඳින අය වෙති. එමෙන්ම වම් පයේ ඇති වන කොර ගැසීම, මුත්‍රා ගල්, කුෂ්ඨ රෝග, ක්ෂය රෝගය, හෘද රෝග ඇති කරයි.

මනුෂ්‍ය ශරීරයේ දකුණු කන, මුත්‍රාශය, නහර, දත්, පිට කොඳු ඇටය, වම්පස ශනිට හිමි වේ. ශනි මහ දශාවේ දී හෝ නරක ග්‍රහයෙකුගේ ශනි අන්තර් දශාවේ දී වම්පස බිඳියි. තුවාල කරයි. අඩුම වශයෙන් උළුක්කුවක්වත් ඇති කරයි.

සෙනසුරුගෙන් ලබන ඒරාෂ්ටක තත්ත්වය නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒරාෂ්ටකය තුන් ආකාරයට යෙදේ. ජම්ම ඒරාෂ්ටකය, ලග්න ඒරාෂ්ටකය, අෂ්ටම ඒරාෂ්ටකය වශයෙනි. බොහෝ දෙනා මෙම ඒරාෂ්ටක තත්ත්වයන්ට බිය වේ. සෙනසුරු ඒරාෂ්ටකයට එසේ බිය විය යුතු නැත. සෙනසුරු ඒරාෂ්ටක පවතින කාලවලදී ද තම ජීවිත සම්බන්ධව ජයග්‍රහණ ලබාගත් අය බොහෝ සිටී. එබැවින් සෙනසුරුට බිය විය යුතු නොවේ.

සෙනසුරු පුෂ, අනුර, උත්‍රපුටුප යන නක්ෂත්‍රයන්ට හා මකර, කුම්භ යන රාශිවලට අධිපති වේ. මකරයට, කුම්භයට ස්වක්ෂේත්‍ර වන තුලාවේ උච්ඡ වන ශනි මේෂයට නීච වේ. ශනිට අයත් මැණික් කාක නිල් ද වෘක්ෂය නුග ද වේ.

ශනි ග්‍රහයා අනිකුත් ග්‍රහයන් සමඟ එක් වූ විට ජන්මියාට ලැබෙන සුබ අසුබ තත්ත්වයන් මෙසේය. ශනි ග්‍රහයා රවි සමඟ සංයෝග වූ විට වැඩිහිටියගෙන් උදවු උපකාර ලැබේ. ලෝබකම ඇති වේ. දක්ෂ ලෙස කටයුතුවල යෙදෙයි. මධ්‍යම වයසෙන් පසුව කා අතරත් ප්‍රකට වේ. නරකට සිටි විට හැම දේකටම බාධා ඇති වේ.

ශනි ග්‍රහයා සඳු සමඟ සංයෝග වූ විට ජන්ම ඒරාෂ්ටක තත්ත්වයක් පවතී. මෙසේ උපන් අයට නොයෙක් කරදර බාධා ඇති වේ. පසු කාලයේ දක්ෂ අය වෙති. කෙළින් කටයුතු කරන සෑම කටයුත්තක්ම කැපවීමෙන් විශ්වාසවන්තව කරයි.

ශනි කුජ සංයෝග වූ විට ඉවසීම ඇතිවේ. හොඳ ගතිගුණ නිසා උසස් වේ. ශක්තිමත් වේ. ක්‍රියාශූර වේ. බය නැති කෙනෙක් වේ. නරකට සිටියහොත් දරුණු ගතිගුණ ඇති වේ.

ශනි ගුරු සංයෝග වූ විට ඉතා වාසනාවන්ත වේ. බලවත් වේ. බලාපොරොත්තු නොවූ ආකාරයට ධනය ලැබේ. පෙර පින් මතු වේ. නරකට සිටි විට ලැබෙන්නට තිබෙන දේත් නොලැබී යයි.

ශනි ග්‍රහයා සිකුරු සමඟ සංයෝග වූ විට ජන්මියා කරුණාවන්ත වේ. සෘජු ස්ථිර ගති ඇති වේ. යහපත් විවාහයක් සිදු වේ. විවාහ ජීවිතය වාසනාවන්ත වේ. නරකට සිටි විට කිසි කෙනෙක් ඔහුව විශ්වාස නොකරයි.

මේ සෑම ග්‍රහයෙක්ම සිටින ස්ථාන අනුව යහපත් ප්‍රතිඵල ද අයහපත් ප්‍රතිඵල ද ලබා දෙයි.

ජ්‍යොතිර්වේදිනී චතුරිකා දිල්හානි ගමආරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division