– ළඟදී විවාහ වන අයත් මේ චාරිත්‍ර දැන සිටීම සුදුසුයි
– පෝරු චාරිත්‍රය පූර්ණ චාරිත්‍රානුකූලව සිදු කරන මංගල්‍යයක්
දියණියක මෙලොව එළිය දුටු දිනය සිට ස්වකීය ජීවිතයේ විශේෂිත වූ සංධිස්ථාන තුනකට ඇය මුහුණ දෙන බව ඔබ දන්නවා ඇත. එම සංධිස්ථාන ත්‍රිත්වයම කෙසේ හෝ ජයගන්නට ඇයට සිදු වෙනවා. කෙටියෙන් කිවහොත් පළමුවෙන් මල්වරය, දෙවනුව විවාහය සහ තෙවනුව ප්‍රථම දරු ප්‍රසූතියයි. මේ කාරණා ත්‍රිත්වයම වේදනාවකින් පසු ලබන සතුටක් වුවත් වේදනාව යටපත් කර සතුටු කාරණා හැටියට පිළිගන්නවා.
කන්‍යාවියකගේ මල්වරය නිශ්චිත කාල සීමාවක් තුළ ස්ථිර වශයෙන් නොවූවද සාමාන්‍ය වශයෙන් ස්වකීය මවගේ හෝමෝන ක්‍රියාකාරිත්වයට සාපේක්ෂව සිදුවන අතර, වයස අවුරුදු 8 – 12 අතරදී එය සිදු වේ. ජ්‍යොතිෂයට අනුව මෙය චන්ද්‍රයා සහ අඟහරු අතර සිදුවූ ග්‍රහ මාරුවක ප්‍රතිඵලයකි. ඒ නිසාම මෙම වෙනසෙන් පසු ඇගේ ප්‍රථම මල්වරය සිදු වනවා. සුපුරුදු පරිදි එම ප්‍රථම මල්වරයෙන් පසු පුන් පොහෝදා පායන පූර්ණ චන්ද්‍රයා මෙන් ක්‍රමයෙන් ඇගේ සිරුර වර්ධනය වීමට පටන්ගනී.
නියම වයස ළඟා වෙත්ම සුදුසු සහකරුවෙකුට ඇය විවාහ කර දීමට මවුපියෝ සාකච්ඡා අරඹයි. තමන්ට හිතවත් එසේම දන්නා හඳුනන අයට ඥාතීන්ට මේ සම්බන්ධව මවුපියෝ පවසයි. සුදුසු අයගේ පොරොන්දම් සසඳයි. එක දවසක ඇගේ මව පුංචි අම්මා සමඟ කාගේදෝ කේන්දර කොපියක් සමඟ සුපුරුදු ජ්‍යොතිෂවේදියා අතට දී බලා සිටියේ ඡන්ද ප්‍රතිඵලයක් ලැබීමට බලා සිටින අපේක්ෂකයෙක් මෙනි. ‘තුන්වැනි ඇස’ ක්‍රියාත්මක කළ ජ්‍යොතිෂවේදියා පූර්ණ ජ්‍යොතිෂ පරීක්ෂණයකින් පසු ධනාත්මක තීන්දුක් ලිඛිතව අම්මා අතට දෙනවා. එනම් එම පොරොන්දම් ගැළපෙන බවත් – චාරිත්‍රානුකූලව මංගල්‍යය කෙරෙන චාරිත්‍රත් විශේෂයෙන් පෝරුවේ සියලුම චාරිත්‍රත් එනම් පෝරුවට නඟින වේලාවන්, බසින වේලාවන්, සුබ දිනයන්, වේලාවන්, සුබ දිශාවන් ඇතුළු සියලුම කරුණු මින් දැනුම් දෙනවා.
මල්වරයෙන් පසු ශරීරගතවූ කිසියම් විසක් හෝ හෝමොනික විසක් ශරීරයෙන් ඉවත් කර හැරීමට මෙම මංගල පෝරු චාරිත්‍රය කරනු යැයි පුරාණයේ එක් මතයකි. මල්වරයෙන් පසු ඇයට උරුම වූ කිසියම් කාර්යයක් ඉටුකිරීම සඳහා බවට තවත් මතයකි. නිසි පිළිවෙළට පෝරුව මත තබා ‘ශ්ලෝක‘ කීමෙන් දරු සම්පත් ලැබීමට වරම් ලැබීම සහ මවට කෙළෙහිගුණ සැලකීමක් සිදුවීමකැයි තවත් අයගේ මතයයි. මේ කරුණු කෙටියෙන් වටහාගෙන කන්‍යාවියකට මෙම පෝරු චාරිත්‍රය අත්‍යවශ්‍ය හිමිකමක් ලෙස සලකන බව ජ්‍යොතිෂයේ පැහැදිලි කර ඇත. පෝරු චාරිත්‍රය මුළුමනින්ම පූර්ණ චාරිත්‍රානුකූලව කරන මංගල්‍යයකි. මෙම චාරිත්‍රය යසෝධරා – සිදුහත්, ඔක්කාන බැමිණියගේ මුතුකෙළි සහ සම්මත රජදරුවන් උදෙසා වූ මඟුල් පෝරුව යනුවෙන් ප්‍රධානම වර්ග තුනකි. මෙම පෝරුව එක් ජෝඩුවකට එක් පෝරුවක් වශයෙන් කෙරුණ ද වර්තමානයේ ඇති බොහෝ අඩුපාඩුකම් මත යුවළ සිටගෙන සිටින ලෑල්ල පමණක් වෙනත් කිරි ලෑල්ලකට මාරු කර හෝ නව සුදු කපු රෙද්දක් අතුරා තැබීම කරනු ලබයි. මෙම පෝරු චාරිත්‍රයේ සියලුම කාර්යයන් සංකේතවත් කිරීමක් කරයි. එනම් සතර වරම් දෙවියන් සිහිකිරීම, වස් පුන් කලස් හතර මත පොල් මල් හතරක් සිටුවීම, දෙවිවරු සිහිකිරීම, වස් රතු – නිල් – සුදු – කහ රෙදිවලින් සැරසීම. පෝරුව මත ඖෂධ වර්ග, මල්, කාසිවලින් අලංකාර කිරීම එම සිරිතය. නියම නැකැත් වෙලාවට මඟුල් බෙර – සක්හඬ මැද්දේ කුමරියගේ ඇත් ගමනින් පෝරු මෂ්ටක ප්‍රාප්තිය කරන්නෙ ‘පෝරු මාමාගේ’ මංගල අෂ්ටක ස්තෝත්‍ර මැද්දේය. දෙවියන්ගෙන් පළමු අවසර ගත් පසු සියලුම පෝරු චාරිත්‍ර කිරීම ‘පෝරු මාමාගේ’ සිරිතය.
කිරිකළ හේලය පිදීම ඔක්කාන බැමිණිය සිහි ගැන්වීමකි. මෙය මනාලයා හා නැන්දනිය අතර වූ විවාදයක ප්‍රතිඵලයකි.
මවු බැමිණි එදෙසේ – ඇවිදින් ළඟට සුව සේ
කතා කරමින් මෙසේ – කිව්වේ වදනක් ඉතා දුක සේ
මා විඳපු දුක සේ – දුව දැඩි කළේ මලක් සේ
කුමරුනි නිධන් සේ – වදා දැඩි කළේ දුව කෙතක් සේ
මෙසේ බැමිණිය කියත්දි බමුණු කුමරාගේ වදන් මෙය විය.
දස එකඩ මස සරි – උපන්දා සිට පෙවු කිරි
කච්චියක් රෙදි සරි – තෙමෙන්නට ඇත දුවට දුන් කිරී
මේ ආකාරයට නැන්දනියට රෙදි කච්චිය පිදූ මනාලයා සියලුම චාරිත්‍රානුකූල පෝරුවේ සිටුවීම කරනු ඇත.
අවසානයේදී ‘පෝරු මාමාගේ’ මෛත්‍රී සහගත ප්‍රාර්ථනාවෙන් පෝරු චාරිත්‍රය අවසන් කරන්නේ නව යුවළ පෝරුවෙන් බසිනවාත් සමඟ පොල් ගෙඩිය පලා දෙපලු කිරීමත් සමඟය.
එදා සිට මේ පැවැති සිරිතකි – මඟුල් සක්වළ මේ ලෙසින්
එකුන් පන්සිය කුමරු බිහි වී – පසේ බුදු වුණ අනුහසින්
යසින් මේ දෙදෙනාව පෝරුවේ සිටුවමින් සෙත් කළ බලෙන්
නොවී කරදර – නොවී ලෙඩ දුක් – ලැබි පින්වත් දූ පුතුන්
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ගුප්ත විද්‍යාධර මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ගුප්ත විද්‍යාධර මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න