Home » කුඩා පියවරකින් ආරම්භ කළ ව්‍යාපාරය රන් සම්මානය දක්වා රැගෙන ආවා

කුඩා පියවරකින් ආරම්භ කළ ව්‍යාපාරය රන් සම්මානය දක්වා රැගෙන ආවා

අමල් ජයසිංහ / ජයසිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment
ජනාධිපති රන් සම්මානය ලබාගනිමින්

2023 වසරේ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රබල ආයතන රැසක් අභිබවා ඇසුරුම්කරණය හා සම්බන්ධ මහාපරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ “රන් සම්මානය” හිමි වූයේ ජයසිංහ ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රීස් ආයතනයටය. තිස් වසරක ඉතිහාසයක් ඇති ජයසිංහ ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රීස් ගත වූ වසර තිහක කාලය තුළ දේශීයව සියලූම ප්ලාස්ටික් ඇසුරුම් නිපදවන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත්ව සිටින්නේ නවීනත්වය සමග පෙරට ගමන් කරමිනි.

1992 වසරේ මතුගම කුඩා ස්ථානයක ආරම්භ කළ ජයසිංහ ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රීස් ආයතනය මේ වන විට කර්මාන්ත ක්ෂේත්‍රයේ තවත් ව්‍යාපාර ගණනාවක් වෙත පිවිසෙමින් ජයසිංහ සමූහ ව්‍යාපාරය බවට පත්ව සිටී. ජයසිංහ ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රීස් ආයතනය 2020 වසරේ ලංකා ස්ටාර් රන් සම්මානය දිනාගනිමින් ආරම්භ කළ ඉදිරි ගමන ISO 9001- ISO 22000 සහ FSSC 22000 යන ප්‍රමිති සහතික තුළින් වඩාත් ශක්තිමත්ව තහවුරු කරන ලදී.

ජයසිංහ සමුහ ව්‍යාපාරයේ සහ ජයසිංහ ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අමල් ජයසිංහ මහතා අප සමග පිළිසදරකට එක්වන්නේ සිය සාර්ථකත්වයේ ගමන් මඟ පිළිබඳ මෙසේ කරුණු පැහැදිලි කරමිනි.

ජයසිංහ ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රීස් ආයතනය මෙවර කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මහාපරිමාණ ඇසුරුම් අංශයේ රන් සම්මානය හිමිකර ගන්නේ ප්‍රධාන පෙළ ව්‍යවසායක ආයතන රැසක් අබිබවා යමින්. කුඩා ව්‍යවසායකයකු හැටියට ආරම්භ කර කොහොමද මේ තරම් සාර්ථකත්වයකට ළඟා වුණේ?

ප්ලාස්ටික් ඇසුරුම් ක්ෂේත්‍රය තුළ මේ රන් සම්මානය දක්වා ආ ගමන ලේසිපහසු එකක් නෙවෙයි. මගේ ගම මතුගම. මට තව සහෝදරයො දෙන්නෙක් ඉන්නවා. එම සහෝදරයින් දෙදෙනා වන ශ්‍රීමාල් සහ නාමල්, ජයසිංහ සමූහ ව්‍යාපාරයෙ අධ්‍යක්ෂවරු විදියට කටයුතු කරනවා. මම සහ සහෝදරයෝ දෙන්නා මූලික අධ්‍යාපනය ලැබුවේ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයෙන්. පසුව මම පහේ ශිෂ්‍යත්වය සමත් වී කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. සහෝදරයෝ දෙන්නා මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලැබුවා.

අපේ තාත්තා මම 9 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් හිටිය දී අප අතහැර ජීවිතයෙන් නික්ම යනවා. අම්මා පාසල් ගුරුවරියක්. ඒ වෙනකොට අපිට කුඩා වෙළෙඳසලකුත් තිබුණා. තාත්තගෙ මරණයෙන් පස්සෙ ඒක බලාගත්තේ මවගේ ඥාති සහෝදරයෙක්. මගෙ සහෝදරයො දෙන්න මේ ඥාතියගෙ සහයෙන් වෙළෙඳසලේ කටයුතු කරගෙන ගියා. අම්මගෙ ගුරු වැටුපත් ,තාත්තගෙ විශ්‍රාම වැටුප සහ වෙළෙඳසලෙන් ලැබෙන ආදායමේ කොටසින් තමයි අපි වියදම් පියවා ගත්තෙ. මම උසස් පෙළ හදාරා ඥාතියකුගෙ ආයතනයක රැකියාවක් කළා. එතැන රැකියාව කරන අතරෙ තමයි අදහසක් ආවෙ මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. එතැන රැකියාව කළ වසර 03 ක පමණ කාලෙ ව්‍යාපාරික දැනුම උකහා ගත්තා. ඒ වෙනකොට සහෝදරයො දෙන්නත් උසස් පෙළ හදාරලා ඉවරයි. පවුලෙ වගකීම් එක්ක මගෙ දැඩි අවශ්‍යතාවයක් වුණේ මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ඔය කාලෙ එක එක දේවල් ගැන හොයාගෙන යද්දි ප්ලාස්ටික් ඉන්ජෙක්ෂන් මෝල්ඩිං යන්ත්‍රයකින් වැඩකරන තැනක් දැකලා මම එම යන්ත්‍ර ගෙන්වන තැන් ගැන හොයලා බැලූවා. එහෙම ප්ලාස්ටික් ඉන්ජෙක්ෂන් මෝල්ඩිං යන්ත්‍ර ගෙන්වලා විකුණන තැනක් ගැන දැනගන්න ලැබිලා මම ඒ යන්ත්‍රයේ මිල ගණන් විමසා බැලූවා. යන්ත්‍රයේ මිල රුපියල් තුන් ලක්ෂ හැත්තෑ පන්දාහකට තමයි මිල කර තිබුණෙ. ඒ කාලෙ ඒක ලොකු මුදලක්. ඒත් වැෙඩ් අතහරින්න මම කැමති වුණේ නෑ. අම්මාගෙ විශ්‍රාම වැටුපෙන් ඉතිරි කර තිබූ මුදලක් සහ අම්මයි – තාත්තයි අපි තුන්දෙනාගෙ බැංකු පොත්වල දාල තිබූ පොඩි මුදලකුත් එකතු කරගත්තා. පවුලෙ වෙළෙදසලෙන් අපට ලැබුණු ආදායමෙන් තවත් සුඑ මුදලක් එකතු වුණා. එහෙම කරලා ඒ ආයතනයේ අය එක්ක කතා කරලා යන්ත්‍රයේ මිල රුපියල් 50,000 ක් අඩුකර ගත්තා. එකතු කරගත් රුපියල් 275,000 ක මුදල ගෙවලා යන්ත්‍රය මිලදී ගත්තා. ඉතිරි රුපියල් 50,000 වාරික වශයෙන් ගෙවන්න යන්ත්‍රය විකුණු ආයතනය එකඟ වුණා.

වෘත්තීය දැනුමක් හෝ පළපුරුද්දක් නැතුව මේ වැඩේට අතගහද්දි අවදානමක් දැනුනේ නැද්ද?

ප්ලාස්ටික් ඉන්ජෙක්ෂන් මෝලිඩිං යන්ත්‍රය මිලදී ගත්තට ඒක සවි කරන්නවත් තැනක් තිබුණෙ නෑ. මතුගම අපි ජීවත් වුණ ගෙදර පිටුපස පොඩි කොටසක් සකස් කර තමයි ව්‍යාපාරය සේවකයො දෙන්නෙක් යොදාගෙන පටන් ගත්තෙ. අවශ්‍ය දැනුම ක්‍රමයෙන් වැඩි දියුණු කරගත්තේ. දැන් වගේ තාක්ෂණය සුලබව තිබුණ කාලයකුත් නෙවෙයි ඒ කාලෙ.

කොහොම වුණත් මිලදී ගත් යන්ත්‍රයෙන් නිෂ්පාදනය පටන් ගත්තේ වැහි පීලි රඳවන කොකුවලින්. ඒක ටිකින් ටික දියුණු කළා. වසරකට පස්සෙ තවත් යන්ත්‍රයක් මිලදී අරගෙන නිවාස වයරින් කිරීමට අවශ්‍ය ප්ලාස්ටික් ද්‍රව්‍ය කිහිපයක් නිපදවා මගේ වැඩිමල් සහෝදරයා වෙළෙදපොළට අරගෙන ගියත් ඒක ඒ තරම් සාර්ථක වුණේ නෑ. මේ කාලෙ කුකුළු ගොවිපළවල කුකුළන්ට ජලය දීමට සහ කෑම දීමට අවශ්‍ය ප්ලාස්ටික් බඳුන් විශාල මුදලක් වැයකරලා පිටරටින් ගෙනාවෙ. ඊට අඩු මුදලකට එම ප්ලාස්ටික් භාජන එම ගුණාත්මක තත්ත්වයෙන් නිපදවන්න හැකි බව අපට හැඟුණා. මගේ බිරිඳ එවකට සේවය කළේ එම භාණ්ඩ ආනයනය කරන ආයතනයක. මෙම ප්ලාස්ටික් භාජන නිෂ්පාදනය කර සාර්ථක කරගන්න ඇය තමයි දිරිගැන් වූවේ. කුකුළු ගොවිපළ ප්ලාස්ටික් භාජන සඳහා හොඳ ඉල්ලූමකුත් හැදුණා. ඒ වගේම සහෝදරයින් දෙදෙනාගෙනුත් මේ සඳහා විශාල සහයෝගයක් ලැබුණා. සේවකයො දෙන්නෙකුගෙන් පටන් ගත් ව්‍යාපාරය වර්තමානයේ සේවකයන් 400 කට ආසන්න පිරිසක් දක්වා වැඩිකරන්න පුළුවන් වුණේ එහෙමයි.

ඔබේ ආයතනය ප්ලාස්ටික් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළ සන්නාමයක් බවට පත් වෙලා ඉදිරියට යමින් ඉන්නවා. මේ ක්ෂේත්‍රයේ නිෂ්පාදන කාර්යභාරය කොයිතරම් පුළුල් එකක් ද?

අපි මේ නිෂ්පාදනවලදි පරිසර ආරක්ෂණය කියන කාරණයට ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා. ඉහළ ආරක්ෂිත සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුව ආහාර පාන, රසායනික, ඖෂධ සහ පුද්ගලික සත්කාරක නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා අපි නිෂ්පාදන සකස් කරනවා. මීට පෙර ලංකාවේ ප්‍රමුඛ සමාගම් රාශියක් රූපලා‍වණ්‍ය, දත් බෙහෙත්, ආහාර ද්‍රව්‍ය ඇසුරුම් වගේ දේවල් විශාල මුදලක් වැය කර විදෙස් රටවලින් ආනයනය කළා. මේ විශාල මුදලක් විදේශයට යන එක රට තුළ රඳවාගෙන ඇයි අපිට ඒවා නිෂ්පාදනය කරන්න බැරි කියන ප්‍රශ්නය මට තිබුණෙ. අපි මුල් කාලෙ අතින් වියදම් කරලා එම ඇසුරුම් සඳහා ආකෘති හදලා එම සමාගම්වලට පෙන්නුවා. ඒ ආයතන අපේ නිෂ්පාදන ප්‍රමිතිය ගැන සෑහීමට පත් වුණා. ඒ ආයතන අපේ නිෂ්පාදන ගැන සෑහීමට පත්වෙලා ඇසුරුම් නිෂ්පාදනය එකින් එක අපිට පැවරුවා.

ශ්‍රී ලංකාව තුළ මුල්ම ප්ලාස්ටික් ටියුබ් (දත් බෙහෙත් සහ රූපලාවණ්‍ය ටියුබ්) මුද්‍රණය සහිතව නිෂ්පාදනය ආරම්භ කළේ අපි. කොවිඩ් සමයේ විශාල මුදලක් වැය කර යුරෝපයෙන් සහ ජපානයෙන් ඒ යන්ත්‍ර ආනයනය කරන්න අප කටයුතු කළා. ඒ නිෂ්පාදන අරම්භ වීමත් සමග එම ටියුබ් ආනයනයට ඉන්දියාව වගේ රටවලට ගිය විශාල මුදලක් රටට ඉතිරි කර ගන්න දායක වෙන්න අපිට හැකි වුණා.

ගත වූ දශක දෙකක කාලය තුළ කාර්මික අත්දැකීම් , මානව සම්පත් සහ තාක්ෂණික ධාරිතාවයෙන් යුත් කාර්ය මණ්ඩලයක් අප ආයතනය සතුවීම අපට විශාල ශක්තියක් වුණා. ජයසිංහ ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රීස් මහා පරිමාණ කර්මාන්ත ශාලාවක තත්ත්වයට වර්ධනය කරන්න හැකි වුණේ අප සතු ඉහළ පළපුරුද්ද සහිත වෘත්තීය නිපුනයින් ආයතනය තුළ රඳවා ගැනීම නිසයි. අපිට දැන් ලෝකෙ ඕනෑම ප්ලාස්ටික් ඇසුරුමක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නවීන තාක්ෂණයයෙන් යුත් අංගසම්පූර්ණ යන්ත්‍ර සූත්‍ර අප සතුයි. අපේ සැලැස්ම වුණේ අංශක 360 ක්ම ප්ලාස්ටික් ඇසුරුම්කරණ ක්ෂේත්‍රයෙන් අපේ සේවාදායකයින්ගේ අවශ්‍යතාවලට විසඳුම් ලබාදීමයි.

ජයසිංහ ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රීස් ආයතනයෙන් කෙරෙන නිෂ්පාදන කාර්යභාරය මොනවගේද?

අපේ නිෂ්පාදන කාර්යභාරය තමයි ලෝකය පිළිගත් නිෂ්පාදන ඇසුරුම්කරණයන් දේශියව එම ගුණාත්මක තත්ත්වයෙන්ම නිපදවීම. එම ඇසුරුම්කරණ නිපදවීමට අවශ්‍ය නවීන කර්මාන්ත ශාලාවක් අප සතුයි. නවීන තාක්ෂණික දැනුම සහ එම දැනුම සහිත පූර්ණ මානව සම්පත් අප ආයතනය සතුව තිබෙනවා. මේ වනවිට ලෝකය තුළ ඇති හරිත සංකල්පයට අනුගත වෙමින් උපරිම තත්ත්ව පාලනයකින් යුතුව සේවාදායකයාට වෙළෙඳපොළ තරගකාරී මිලකට ප්ලාස්ටික් ඇසුරුම් නිෂ්පාදනය අපේ ප්‍රමුඛ කාර්ය වී තිබෙන්නෙ. ප්‍රතිචක්‍රීකරණය වැනි අංශ කෙරෙහි අපේ සේවාදායකයින් ගේ අවධානය යොමු කරමින් එම අංශයේ තාක්ෂණය ශක්තිමත් කිරීමටත් අප කටයුතු කරනවා.

ශ්‍රී ලංකාව තුළ නිපදවන නිෂ්පාදන ප්‍රමිතිය සහ වගකීම සම්බන්ධයෙන් තමයි ගැටලු මතු කරන්නෙ. ඔබේ ආයතනයට මෙවැනි චෝදනා එල්ල වී නැද්ද?

අපේ ඉලක්කය තමයි “තිරසර ප්ලාස්ටික් ඇසුරුම් විසදුම් සංවර්ධනයේ දේශීය සහ කලාපීය ප්‍රමුඛයකු වීම” කියන තේමාව. සේවාදායකයාට පරිපූර්ණ විසදුමක් සහිත සේවයක් ලබාදීමට කටයුතු කිරීම තමයි අපේ පරමාර්ථය. ඒ අනුව භාජනය, ලේබලය, එය ඇලවීම, බහාලුම් පෙට්ටි ඇතුළු සම්පූර්ණ සේවයක් අපි ලබාදෙනවා. අපේ ආයතනය ඉහළම තත්ත්වපාලන ක්‍රම අනුගමනය කරනවා. අපි මේ ගමන ආවේ අදියරෙන් අදියර නවීන තාක්ෂණ දැනුමත් එක්ක යාවත්කාලීන වෙමින්. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ ලංකාවේ ප්‍රමුඛයෙක් බවට පත්වීමට අවශ්‍ය හැම අංශයක්ම අපි ශක්තිමත් කළා. අපේ නිෂ්පාදනවල ප්‍රමිතිය ගැන නියමිත සහතිකවීම ලබාදෙනවා. ඒ සඳහා අපි නවීන තාක්ෂණය වගේම පරිසර හිතකාමී ප්‍රමිතීන් අනුගමනය කරමින් ඒවා සේවාදායකයින්ට හදුන්වාදීමත් සිදුකරනවා. අපි අලෙවියෙන් පසු සේවය සැලසීමත් සිදුකරනවා. නිෂ්පාදන ප්‍රමිතියත් ප්‍රවීන ඉංජිනේරු මට්ටමින් තහවුරු කරලයි ලබා දෙන්නේ. ව්‍යාපාරයේ ආරම්භක සේවකයින් තවමත් අප සමග සිටීම අපට විශාල ශක්තියක්. අපේ වසර 30 ක සාර්ථකත්වයේ රහස තමයි ඉහළ නිෂ්පාදන ප්‍රමිතිය, ඒ සඳහා වගකීම, සහ නිරන්තර කැපවීම.

ව්‍යාපාරික ණය ලබාගැනීමේ දී බොහෝ ව්‍යාපාරිකයින් අසාර්ථක වූ අවස්ථා තියෙනවා. ඒ වගේම බැංකු ණය ලබා ගැනීමේදී වැනි කරුණු වලදී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තියෙන්නෙ මොනවගේ සහයක්ද?

ලංකාවේ ව්‍යාපාරයක් සාර්ථක කරගන්න බෑ මුදල් ආයෝජන නැතුව. අපි ව්‍යාපාරයක් හැටියට සාර්ථක වෙන්න බැංකුවල සහය ඉතා වැදගත් වුණා. අපගේ සාර්ථකත්වයට එම සහයත් හේතු වුණා. පවතින ආර්ථික අපහසුතාවලින් මිදී ව්‍යාපාරයක් සාර්ථක කරගන්න බොහෝ ව්‍යාපාරිකයින් සෑහෙන්න උත්සාහ කරනවා. බැංකුව ව්‍යාපරයක් සාර්ථක වෙද්දි වගේම ව්‍යාපාරයක් යම් පසුබෑමක් හෝ බිඳ වැටීමකට ලක්වෙන අවස්ථාවලදීත් ඔවුන්ට සාර්ථකත්වයට යන්න මාර්ගය පෙන්වීම හරිම වැදගත්. කණගාටුවෙන් වුවත් කියන්න වෙන්නෙ දැනට එවැනි තත්ත්වයක් දක්නට ලැබීම අල්පයි. බැංකුව දැන් කටයුතු කරන්නේ උපකාර කරනවට වැඩිය, දුන් ණය මුදල කොහොම හරි ලබාගන්න උත්සාහ කිරීම. මේ තත්ත්වය වෙනස් වෙනව නම් හොඳයි. බැංකුව පැත්තෙන් බිඳ වැටුණු ව්‍යාපාරයක් නැවත ගොඩනගා ගන්න වැඩසටහනක් යෝජනා කිරීම ඉතාම වැදගත් කියලයි මම හිතන්නෙ.

ඔබේ ආයතනය අනාගතයේ ඇති විය හැකි ආර්ථික අභියෝග සහ නව තාක්ෂණයට තිබෙන සූදානම මොන වගේද?

අප මේ කාලය තුළ ලබා ගත් ව්‍යාපාරික අත්දැකීම් තුළින් ජයසිංහ ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රීස් ආයතනය, සමූහ ව්‍යාපාරයක් දක්වා පුළුල් කිරීමට කටයුතු කළා. එම ව්‍යාපාරික සමූහයට තේ කර්මාන්ත ශාලාවක්, තේ, කුරුදු හා බහු බෝග වගා ව්‍යාපෘතියක්, මුද්‍රණ කටයුතු සහ කඩදාසි ඇසුරුම් නිෂ්පාදන ව්‍යාපාරයක්, බරවාහන යන්ත්‍ර සූත්‍ර කුලියට දීමේ ව්‍යාපාරයක්, නවීන යන්ත්‍රානුසාරයෙන් කළුගල් කැණීම් ව්‍යාපාරයක්, නවීන තාක්ෂණයෙන් යුතු ඉංජිනේරු සේවා සැපයීමේ ආයතනයක්, ආරම්භකර සාර්ථකව පවත්වාගෙන යමින් සිටිනවා. පසුගිය කොවිඩ් 19 වසංගතය කාලෙත් අපි නොකඩවා වැඩ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇසුරුම් අප ආයතනයේ නිෂ්පාදනය කළ නිසා රජයේ අවසරයත් ලැබුණා. අපි අපේ සේවකයන්ට විශේෂ ආරක්ෂාවක් සපයමින් එම කාලය තුළ සාර්ථකව නිෂ්පාදනයන් පවත්වා ගත්තා.

රටේ බරපතළ ආර්ථික අර්බුදයක් තිබියදී පවා අප ඉදිරි සැලසුම් සමගයි වැඩ කරන්නේ. මතුගම අපේ කර්මාන්ත ශාලාව තවත් පුළුල් කර නවීන යන්ත්‍ර සූත්‍ර සවිකිරීමේ කටයුතු ද මේ වන විට සිදුකරමින් තිබෙන්නේ. අපේ අරමුණ ලංකාවට විදේශ විනිමය උපයන ව්‍යවසායකයෙක් වීමයි. දැනටමත් ලෝකයේ ප්ලාස්ටික් නිෂ්පාදන ක්ෂේත්‍රයේ තිබෙන ඕනෑම දියුණු තාක්ෂණයක් වගේම, වෘත්තීය පළපුරුද්ද සහිත කාර්යමණ්ඩලයක් අප සතුයි. ඒ නිසා ඉදිරි අභියෝග ජයගැනීමට අපට ඉහළම හැකියාව තිබෙනවා.

මේ වසරේ කර්මාන්ත ව්‍යවසායකත්ව රන් සම්මානය ඔබ ආයතනය දිනාගැනීම වැදගත් වන්නේ මොන ආකාරයෙන්ද?

පසුගිය තිස් වසරක් පුරා අපගේ සේවාදායකයින් අප ගැන හදවත තුළ රඳවා ගත් විශ්වාසය දෙගුණ තෙගුණ කරමින් ඔවුන්ට ඉහළ සේවයක් සැපයීමට මේ රන් සම්මානය අපට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ ව්‍යාපාර සේවා සාර්ථකත්වයට කැපවී සිටින සේවක කාර්ය මන්ඩලයේ උනන්දුව සහ කැපවීම තවත් ඉහළින් ඉටුකිරීමටත් මේක හොඳ උත්තේජනයක් වෙයි. සියලූම කාර්ය මණ්ඩලය දක්වපු කැපවීම සහ උනන්දුව තමයි මෙම රන් සම්මානය දක්වා අප ඔසවා තැබුවෙ. අපේ තේමාව කැපවීමෙන් විශිෂ්ටත්වයට කියන එක. අපි දැනටමත් ලංකාවේ ඉහළම සමාගම්වල ප්ලාස්ටික් ඇසුරුම් සැපයුම්කරු හැටියට කටයුතු කරනවා. මෙම සේවාව තවත් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළට ගෙනයමින් , විශාල පිරිසකට රැකියා අවස්ථා ඇති කරමින් සාර්ථකත්වය වෙත යන්න මේ රන් සම්මානය අප දිරිගන්වනවා. වගකීමක් ඇති ආයතනයක් හැටියට රටට විනිමය ඉතිරිකර දී රට වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ටකරදීමට මෙම රන් සම්මානය හිමිවීම අපට ඉතාම වැදගත්.

ඔබේ ආයතනය මේ තත්ත්වයට ලඟා වෙද්දි සහාය දුන් පිරිසක් ඉන්නවද?

අපගේ ව්‍යාපාරික සාර්ථකත්වයේදී ඇණවුම් ලබා දෙමින් අප සමග සිටින සේවාදායකයින්ට ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ වගේම තාක්ෂණ අංශයේ වැඩිදියුණු කිරීම්වලදි ලැබුණ සහාය ඉතාම වැදගත්. ව්‍යාපාරික කාර්යයන් සාර්ථක කරගන්න විවිධ ආයතනවල තනතුරු දරන මගේ පාසල වුණ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුන් විශාල පිරිසක් ඉන්නවා. මූල්‍ය කළමනාකරණය හැසිරවීමේදී විගණන කාර්යයට ලැබුණ සහයත් ඒ වගේම වැදගත්. ව්‍යාපාරයේ තාක්ෂණික අංශය පුළුල් කරද්දි විදෙස් රටවල තිබෙන දියුණු තාක්ෂණය පිළිබඳව හදාරන්න උපකාර කළ පිරිසක් සිටිනවා. ඒ සියලූ දෙනාට මේ අවස්ථාවෙ ස්තූතිවන්ත වෙන්න ඕන.

නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් ඉදිරියට එන නවක ව්‍යාපාරිකයින්ට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද?

මේ ක්ෂේත්‍රයෙන් සාර්ථක ගමනක් යන්න අවශ්‍ය වැදගත්ම දේ තමයි තමන්ගේ කැපවීම. තමන්ගේ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් යට අදාළ විදේශිය ප්‍රදර්ශනවලට සහභාගීවීමෙන් විශාල දැනුමක් ලබාගත හැකියි. ඒ තුළින් නවීන ලෝකයේ ඇති දැනුම සහ තාක්ෂණය අපේ ව්‍යාපාරවලට එකතු කරගන්නෙ කොහොමද කියා අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඒ ලබාගත්ත දැනුම සහ කැපවීම ව්‍යාපාරයට එක්කර ගැනීමෙන් සාර්ථක ව්‍යාපාරයක් පවත්වා ගන්න හැකියාව ලැබෙනවා.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division