සිය වෘත්තීය ජීවිතයේදී ජන නායකයන්, පරිපාලකයන්, දේශපාලනඥයන්, වෘත්තිකයන් ආදී විවිධ පිරිස් හමුවී සාකච්ඡා කිරීම හා තොරතුරු ලබා ගැනීම මාධ්‍යවේදීන්ගේ වෘත්තියේ එක් අංගයකි. එහෙත් විදේශ රාජ්‍ය නායකයන් හමුවී ඔවුන් සමඟ මුහුණට මුහුණලා සාකච්ඡා කිරීම වැනි දුර්ලභ අවස්ථා මාධ්‍යවේදියකුට ලැබේ නම් එය ඉතා විරල සිදුවීමකි.
එම දුර්ලභ අත්දැකීම් ලැබූ ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රමුඛම මාධ්‍යවේදියා වන්නේ ඉකුත් නොවැම්බර් 11 වැනිදා සිය දිවි ගමනට සමුදුන් ‘ද අයිලන්ඩ්’ සහ ‘සන්ඩේ අයිලන්ඩ්’ පුවත්පත්වල ප්‍රධාන කර්තෘ වශයෙන් දිගු කලක් සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වීරකෝන් ය.
ජපාන අගමැති කයිෆු ටොෂිකි (KAIFU TOSHIKI), ඉන්දීය අගමැතිවරුන් වූ ඉන්ද්‍රකුමාර් ගුජ්රාල් හා චන්ද්‍ර ශේකර්, පාකිස්තාන් ජනාධිපති සියා උල් හක් හා එරට අගමැති නවාස් ෂෙරිෆ් සහ ඇෆ්ගනිස්ථාන් ජනාධිපති නජිබුල්ලා යන රාජ්‍ය නායකයන්ගේ සම්මුඛ සාකච්ඡා ගාමිණී එම රටවල සිට සිය පුවත්පත්වලට වාර්තා කළේය.
මාධ්‍ය ලෝකයේ ගාමිණී වීරකෝන් යනුවෙන් හැඳින් වුවද ඔහුගේ සම්පූර්ණ නම ගාමිණී අභය වීරකෝන් ය. වර්ෂ 1941 මාර්තු 19 වැනිදා බෙන්තරදී උපත ලැබූ ඔහුගේ පියා ව්‍යාපාරිකයකු වූ පී.ඩී. වීරකෝන් ය. ඔහු බෙන්තර සිට සිය පවුල සමඟ ගල්කිස්සේ පදිංචියට පැමිණියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලැබූ ගාමිණීගේ පහසුව සඳහාය.
පාසල් අධ්‍යාපනය නතර කළ ගාමිණී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට 1963දී ඇතුළත් විය. පුවත්පත් කලාවට දැඩි කැමැත්තක් දැක්වූ හෙතෙම 1966දී ලේක්හවුස් ආයතනයට එක් වූයේ ඔබ්සර්වර් පුවත්පතේ වාර්තාකරුවකු වශයෙනි. කීර්තිමත් පුවත්පත් කතුවරයකු වූ ඩෙන්සිල් පීරිස් එවකට ඔබ්සර්වර් පත්‍රයේ කර්තෘවරයා විය. ඔහුගෙන් ලැබුණු ගුරු උපදෙස් ගාමිණිගේ පුවත්පත් ජීවිතයට මහත් පිටිවහලක් වූ බව පසු කලෙක ඔහු අප සමඟ පැවැසීය. ඩෙන්සිල් පීරිස් ඔහුට පැවරූ ප්‍රධාන රාජකාරියක් වූයේ උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් එවකට පැවැති සෙනෙට් සභාවේ රැස්වීම් වාර්තා කිරීමය.
ගාමිණී මට මුලින්ම මුණ ගැසුණේ කොළඹ විශ්වවිද්‍යාලයේදීය. එකල ඔහු විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු වූ අතර මා සිටියේ එම විශ්වවිද්‍යලයේ කලා පීඨයේ ප්‍රථම වසරේය. එහෙත් අප අතර සමීප මිත්‍රත්වයක් ඇතිවුණේ 1976 කොළඹ පැවැති නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව වාර්තා කිරීමේදීය. ගාමිණී ‘ඩේලි නිවුස්’ පත්‍රය වෙනුවෙන් එම සමුළුව වාර්තා කළ අතර ‘ඇත්ත’ පුවත්පතට වාර්තා කළේ මාය. රාජ්‍ය නායක සමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නොබැඳි රටවල රාජ්‍ය නායකයන් 96 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එම සමුළුවේ ආරම්භක අවස්ථාවට පමණක් එහි යෑමට වාර්තාකරුවන්ට අවසර දී තිබුණි. සමුළුවේ සෙසු කටයුතු අපට වාර්තා කිරීමට සිදු වූයේ නිදහස් චතුරස්‍රය අසල ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පිහිටුවා තිබූ ප්‍රවෘත්ති මධ්‍යස්ථානයේ සිටය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සමුළුවේ සියලු අවස්ථා පදනම් ආයතනයේ සිට යෝධ රූපවාහිනී තිරයක් ඔස්සේ අපට දැක ගත හැකි විය. ඒ අතර එහිදී ගනු ලබන තීරණ ආදිය ප්‍රවෘත්ති නිවේදන මඟින් අපට ලබා දෙනු ලැබීය. දේශීය හා විදේශීය වාර්තාකරුවන්, රූපවාහිනි කැමරාකරුවන්, ඡායාරූප ශිල්පීන් විශාල සංඛ්‍යාවක් මෙහි සිට සමුළුව වාර්තා කළහ. විශ්වවිද්‍යාලයේදී හඳුනා ගෙන සිටි ගාමිණී සහ මා අතර සමීප මිත්‍රත්වයක් ඇති වුණේ මෙහිදීය.
ගාමිණී වීරකෝන් 1977දී ‘ඩේලි නිවුස්’ පත්‍රයේ ප්‍රවෘත්ති කර්තෘ වශයෙන් පත්විය. පසුව ඔහු ඔබ්සර්වර් පත්‍රයේ පාර්ලිමේන්තු කර්තෘ ලෙස පත් කෙරිණි.
උපාලි විජයවර්ධන 1981දී උපාලි පුවත්පත් සමාගම පිහිටුවා දිවයින හා අයිලන්ඩ් පුවත්පත් ආරම්භ කළ අවස්ථාවේ ගාමිණී වීරකෝන් ද ‘දි අයිලන්ඩ්’ පත්‍රයට එක්වූයේ එහි ප්‍රවෘත්ති කර්තෘ වශයෙනි. පසුව ඔහු ‘දි අයිලන්ඩ්’ හා ‘සන්ඩේ අයිලන්ඩ්’ පුවත්පත්වල නියෝජ්‍ය කතුවරයා විය. එම පුවත්පත් දෙකේ ප්‍රධාන කර්තෘව සිටි විජිත යාපා ඉවත්ව යෑමෙන් පසු 1986දී ගාමිණී වීරකෝන් ‘දි අයිලන්ඩ්’ හා ‘සන්ඩේ අයිලන්ඩ්’ පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ලෙස පත් කෙරිණි. පසුව 1999දී ඔහු උපාලි පුවත්පත් සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස ද පත් කරනු ලැබීය.
‘ද අයිලන්ඩ්’ හා ‘සන්ඩේ අයිලන්ඩ්’ පුවත්පත්වලට ගාමිණී ලියූ කතුවැකි ඉංග්‍රීසි පාඨකයන් අතර ඉමහත් ප්‍රසාදයට ලක් වූයේ ඔහුගේ ස්වාධීන හා නිර්භය මත දැක්වීම් නිසාය. ඒවා ‘ඇත්ත’ පත්‍රයේ බී.ඒ. සිරිවර්ධනගේ කතුවැකි වැනිය. ඔහු ලියූ ඇතැම් කතුවැකිවලින් උරණ වූ ඇතැම් දේශපාලඥනයන් උපාලි පුවත්පත් සමාගමේ සභාපතිනියටද පැමිණිලි කළ අවස්ථා තිබුණි. එහෙත් ඔහුගේ පෑන නතර කිරීමට ඒ කිසිවකුට හැකි වූයේ නැත.
වෘත්තීය කටයුතු වෙනුවෙන් ලැබුණු ආරාධනා මත අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, පාකිස්තානය, ප්‍රංශය යන රටවල සංචාරය කොට ඇති ගාමිණී දකුණු ආසියානු රටවල මාධ්‍යවේදීන් සහ සංවිධාන සමඟ සමීප සබඳතා පැවැත්වීය. ‘හින්දු’ පුවත්පත මඟින් මදුරාසියේ පැවැත්වූ කලාපීය සමුළුවකට සහභාගි වූ ගාමිණී එහිදී කළ කතාව ඉන්දියාවේ ප්‍රධාන පුවත්පත් කතුවරුන් වූ එන්. රාම් ශේකර් දස්නා සහ කේ. කේ. කට්යාල් ආදීන්ගේ පවා පැසැසුමට ලක්විය.
ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ ගාමිණී කොළඹ, නවදිල්ලිය, හරාරේ සහ ජාකර්තා හි පැවැත්වූ නොබැඳි ජාතීන්ගේ සමුළු 4ක් ද වාර්තා කොට ඇත.
‘දි අයිලන්ඩ්’ පුවත්පතට එක්වී ගාමිණීගේ මඟපෙන්වීම හා උපදෙස් ලැබූ තරුණ මාධ්‍යවේදීන් හා මාධ්‍යවේදිනියන් රැසක් මේ වන විට පුවත්පත්, විදත් මාධ්‍ය හා සමාජ මාධ්‍යවල සේවය කරන ප්‍රධාන මාධ්‍යවේදීහු ලෙස කටයුතු කරති.
සහෝදර මාධ්‍යවේදීන් විසින් ‘ගම්මා’ යන සුරතල් නමින් අමතනු ලැබූ ගාමිණී වීරකෝන්ගේ බිරිය වූයේ ලේක්හවුස් ආයතනයේ ඔබ්සර්වර් පත්‍රයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ රජිතා වීරකෝන්ය. එම දෙපලගේ එකම දරුවා වන්නේ දියණිය සුරංගිය.
‘දි අයිලන්ඩ්’ පත්‍රයෙන් ඉවත් වීමෙන් පසු ගාමිණී ‘සන්ඩේ ලීඩර්’ පත්‍රයේ උපදේශක කර්තෘ වශයෙන් ද කටයුතු කළ අතර, පසුගිය මාසය වනතුරුම ‘සන්ඩේ ටයිම්ස්’ පත්‍රයට තීරු ලිපියක් ද ලිව්වේය.
වසර 57ක පමණ කාලයක් ක්‍රියාකාරීව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ එඩිතරව සහ අභීතව කටයුතු කළ ගාමිණී වීරකෝන් වැනි කෘතහස්ත කතුවරුන් ලාංකීය පුවත්පත් කලාවේ පෝෂණයට සිදු කළ සේවය අසමසමය.
දයා ලංකාපුර