(සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන වාර්ෂික ඉන්දියාවේ ප්‍රධානතම රාජ්‍ය බෞද්ධ උත්සවය වන “මහාබෝධි මහෝත්සවය” වෙනුවෙනි.)
ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ් හි පිහිටි සාංචිය ශ්‍රී ලාංකාවේ ජනතාවට කාරණා කිහිපයක් ඔස්සේ වැදගත්ය. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ ලෝකයේ විසූ අග්‍රගණ්‍ය රණශූරයා වූ අශෝක අධිරාජයා සිය මෙහෙසිය වූ විදීසා හි විසූ දේවි බිසව නමින් හා ඇය වෙනුවෙන් ඉදිකළ සාංචි චෛත්‍ය හා පරිවාර විහාරාංග අද යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
එසේම අශෝක අධිරාජ්‍යයාගේ සහ විදිසා දේවිය ගේ ජ්‍යෙෂ්ඨ පුතුනුවන් වූ සිරිලකට බුදු දහම ගෙන ආ ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට දෙවැනි බුදුන් බඳු වූ මහා මහින්ද මහරහතන් වහන්සේ සහ ඔවුන්ගේ එකම දියණිය වූ සංඝමිත්තා මහතෙරණින් වහන්සේ උපත ලැබූ බිම ද සාංචියයි. අදටත් ලෝකයේ ඇති පැරණිතම සාක්ෂි සහගත වෘක්ෂය ලෙස සැලකෙන අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරනු ලැබුවේ සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ විසිනි.
සාංචිය ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට හැම අතින්ම වැදගත් වන්නේ ශ්‍රී ලාංකේය බුදු දහමේ සහ බුද්ධ ශාසනයේ තිඹිරිගෙය සාංචිය වන බැවිනි.
ඒ පුරාවෘත්තය සහ ඉතිහාසගත කතාව මෙරට බෞද්ධයන් නිවැරැදිව නොදන්නා හෙයින් බොහෝ දෙනකු දඹදිව වන්දනාවේ ගිය ද සාංචිය දැක වැඳ පුදා ගැනීමට යෑම මොනයම් හෝ හේතුවකින් හෝ මඟ හැර හෝ මඟ හැරීයාම කණගාටුවට කරුණකි.
සාංචිය පිළිබඳ තතු දැනගත් ඕනෑම අයකුගේ මුවින් පිට වන්නේ සාංචිය නොවේ නම් අපිට බුදු දහම කොහෙන්ද යනුවෙනි. වසර ගණනාවක් පුරා සාංචි චේතියගිරි විහාරවාසිව වැඩ වාසය කරන උඩුගම තපස්සි හිමියෝ සාංචිය පිළිබඳ ඓතිහාසික තොරතුරු මෙලෙස පැහැදිළි කළහ.
“එවකට බෝපාල් පාලක නවාබ්තුමා පරිත්‍යාග කළ ඉඩමක ඉදි කළ මෙම විහාර ගර්භයේ තැන්පත් කර ඇති අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා වසරකට වරක් එම විහාර ගර්භයෙන් විහාර මන්දිරයට වැඩම කර මහජනයාට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීම මහාබෝධි මහෝත්සවයේ ප්‍රධාන කාර්යය වෙනවා.
ඉන්දියානු මධ්‍ය ප්‍රදේශ් රජය ශ්‍රී ලංකා මහාබෝධි සංගමය හා එක්ව සාංචි චේතියගිරි විහාරාධිකාරි පූජ්‍ය බානගල විමලතිස්ස ස්වාමීන් ඇතුළු සංවිධායක පිරිස මහාබෝධි මහෝත්සවය ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ගේ සහභාගිත්වයෙන් එළැඹෙන වප් පුර පසළොස්වක පොහොයදා සහ නොවැම්බර් 25, 26 දෙදිනේ ද අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා. අද වන විට මධ්‍ය ප්‍රදේශ් රජයේ ප්‍රධානතම බෞද්ධ උත්සවය මෙයයි.
තුෂාර හෙට්ටිආරච්චි