Home » මනුස්සකමේ සිස්ටම් චේන්ජ් කළ ගම්පොළ නර්ස් නෝනා

මනුස්සකමේ සිස්ටම් චේන්ජ් කළ ගම්පොළ නර්ස් නෝනා

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment
මල් රැගෙන නර්ස් නෝනා බලන්න ආ රෝගීන්

අම්මලාගේත් තාත්තලාගෙත් දිලිසෙන දෑස්වලින් ගලා හැලෙන ප්‍රේමය දුටුවෙමි. ඒ ප්‍රබෝධය විමතියක් දනවමින් තිබිණි. පුංචි රජයේ රෝහලක වෛද්‍ය සායනයක් මෙහෙයවන එකම පුංචි හෙදියක් දකින්නට මලක් රැගෙන උදේම පැමිණි රෝගී මවුවරු සහ පියවරු… ඔවුන්ගේ දිප්තිමත් මුහුණු, ආදරණීය හඬ… තත්ත්පර කීපයක් තුළ දිවෙන කෙටි වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන්නේ මේ සමාජය ඉල්ලා සිටින මහා මානුෂික වෙනසක් පිළිබඳ මොඩලය හදවත්හි ගැඹුරුම ඉම ස්පර්ශ කළ නිසා බව විශ්වාස කරමි.  

දුකම වළඳමින් නිස්සාර, දුගී පරඬැල් ජීවිත ගතකර, ඒ දුක් වේදනාහී නියත ඵල ලෙස නිදන්ගත රෝග කන්දරාවක් උරුමව, ජීවිතයේ අවසන් කාලය ගත කරමින් සිටින මිනිස්සුන්ගේ වේදනා පිරි මුහුණු රජයේ රෝහල්වල මාසික වෛද්‍ය සායනවලදී අනේක වාරයක් දැක තිබිණි. ඒ මුහුණුවල බොහෝවිට ලියැවී තිබුණේ අපේක්ෂා භංගත්වය, වේදනාව සහ අසරණකමය. ඔවුන් ඉදිරියේ නිල ඇඳුම්ලාගෙන සිටියේත් එවැනිම පීඩාවට සහ වෙහෙසට පත් සුව සේවක පිරිසකි.

එහෙත් ගම්පොළ කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලේ වසර 04ක් පුරා සායනය මෙහෙයවන එකම හෙදිය දකින්නට, ඇය වෙනුවෙන් මලකුත් රැගෙන සායනයට පැමිණෙන අම්මලා තාත්තලා දකින විට කාරුණික වචනයකින්, ආදරණීය බැල්මකින් මිනිසෙකුට තවත් මිනිසකු වෙනුවෙන් ප්‍රදානයෙන් පමණක් කළ හැකි පරිවර්තනය පිළිබඳ මහා කතාවක් අප ඉදිරියේ කියැවෙමින් තිබිණි. මේ පුංචි රෝහලේ පුංචි හෙදිය සොයා යන්නට අප පොලඹවන්නේ ඒ මනුෂ්‍යත්වයේ අංශු මාත්‍රයක් බෙදා ගැනීමෙන් සිදු වූ සැබෑ මානුෂීය අරගලයකින් කළ හැකි “සිස්ටම් චේන්ජ්” එක ගැන ප්‍රායෝගික මොඩලය ඒ රෝහලේ පැළ කර තිබුණු බැවිනි.

කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහල, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇති දරුණු බිඳ වැටීම් රැසක මුල්ම ගොදුරු බවට පත්වන පර්යන්තයේ ඇති රෝහල් පද්ධතියෙන් එකකි. එවැනි රෝහලක් තුළ මුදල් වැය නොකර මනුෂ්‍යත්වය පමණක් කළමනාකරණය කරමින් සිදු කරන මෙම ආදර්ශ සායනය සම්බන්ධව මුල්ම අභිමානය දරන්නේ රෝහල් පරිපාලනය භාර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයාය. මේ වැඩසටහනින් මුලින්ම ප්‍රකට වූයේ රෝහල් පරිපාලනයේ පවතින පරිකල්පනයේ අපූර්වත්වයයි. ගම්පොළ කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලේ වත්මන් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී මුදිත එදිරිසිංහ ඒ ගැන කීවේ මෙවැන්නකි.

“මේක අපූරු වැඩසටහනක්. මේ සංකල්පය මේ සායනය තුළ ප්‍රායෝගික වෙන්නේ මීට අවුරුදු කීපයකට සිට ගත් උත්සාහයක් විදිහට. මම මේ රෝහලට ඇවිත් මාස තුනයි. ඒ වනතුරු මේ රෝහල පරිපාලනය කළ වෛද්‍ය නිලධාරීන් මෙන්ම මේ සංකල්පය වෙනුවෙන් කැපවී එය යථාර්ථයක් කළ හෙදි නිලධාරිනියට තමයි මේ ගෞරවය හිමි වෙන්න ඕනේ. මා මට හැකි උපරිම සීමාව තුළ ඒ සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා.

රෝහලක සායනයක් කියන්නෙම හරිම ආතතියක් සහිත පීඩාකාරී තැනක් බව අපි අත්දැකීමෙන් දන්නවා. එතැන තියෙන නොසන්සුන්කම, අසරණකම, මානසික වේදනාව සුවපත් කරන එක සීමිත පහසුකම් සහිත රජයේ රෝහල් සායනයක කිසිසේත් පහසු දෙයක් නොවෙයි. එහෙත් එය කළ හැකි දෙයක් බව අපේ රෝහලේ මෙම වෛද්‍ය සායනය සනාථ කර තිබෙනවා. ඒ ගැන සතුටුයි. මේ මොඩ්ල් එක ගැන දැන් මේ රටේ රජයේ වෛද්‍ය සායන පවත්වන රෝහල් උනන්දුයි.

මා මින් පෙර සේවය කළේ ගම්පොළ රෝහලේ. මේ සායනය පවත්වන හෙදි නිලධාරිනියත් ගම්පොළ රෝහලේ සිට තමයි කුරුඳුවත්ත රෝහලට මීට පස් වසරකට පෙර අාවේ. ඇය ඉතා උනන්දුවෙන් සායනයට සම්බන්ධවන පිරිසට රෝගීන්ට සෞඛ්‍යය පවත්වා ගැනීම පිළිබඳ දැනුම ලබා දෙනවා. ඔවුන්ගේ මානසික සුවය වෙනුවෙන් පුංචි සාහිත්‍ය වැඩසටහන් කරනවා. කාරුණිකව හැම රෝගියෙකුටම අවධානය යොමු කරනවා. සතියකට රෝගීන් 1,000ක් පමණ සංඛ්‍යාවක් අපේ සායනවලට සම්බන්ධ වෙනවා. වෙනදාට වඩා උනන්දුවෙන් රෝගීන් සායනවලට දැන් පැමිණෙනවා. ඔවුන් නිසි පරිදි ඖෂධ භාවිත කිරීමට මානසිකව පෙලඹීම, ඔවුන් ඔවුන්ටම ආදරය කිරීමට පෙලඹීම වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති සරල මූලිකම සිද්ධාන්තයක් ප්‍රායෝගිකව කර ගත හැකි වීම තමයි අර්ථවත් රෝගී සත්කාර සේවාව. එහි ප්‍රතිඵල හරිම ආකර්ෂණීයයි…” කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී මුදිත එදිරිසිංහ සමඟ ඒ කතාබහෙන් පසු මේ අපූරු හෙද නිලධාරිනිය සමඟ මේ කතාව පෙළ ගස්වන්නට අපට අවස්ථාව සලසා දෙන්නෙත් දිස්ත්‍රික් වෛද්‍ය මුදිතම ය.

අප වීඩියෝවේ දුටුවාටත් වඩා ඇය ඉතා කාරුණිකය. දැරියක තරම් ප්‍රාණවත් මේ පුංචි හෙදි නිලධාරීනිය අයෝමා හර්ෂි වික්‍රමආරච්චි ය.

“මම පදිංචිය ගම්පළ. ඉපදිලා හැදි වැඩුණේ ඇහැලියගොඩ. අම්මයි තාත්තයි රාජ්‍ය සේවකයො. අයියයි මමයි තමයි පවුලේ ඉන්නේ. අධ්‍යාපනය ලැබුවේ මුලින්ම ගමේ පාසලෙන්. පාසලේ මුලින්ම ශිෂ්‍යත්වය සමත් වුණු ළමයි කිහිපදෙනා අතර මමත් හිටියා. ඊට පස්සේ මම අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ජේසු බිලිඳාගේ කන්‍යාරාම ජාතික පාසලෙන්. මුලින්ම නර්තන ගුරුවරියක් වෙන්න ඕන වුණා. පස්සේ ඒ හීනේ වෛද්‍යවරියක් වීමේ හීනෙකට හැරුණා. නැවතුණේ හෙදියක් වෙලා..ඒ අම්මගේ කැමැත්තට…

හෙදියක් විදිහට රත්නපුර හෙද විදුහලෙන් පුහුණුව සම්පූර්ණ කරලා 2007 ගම්පොළ ශික්ෂණ රෝහලට පළමු පත්වීම ලැබුවා. හෙද සේවය දිහා මහා මානුෂීය බරකින් බලන්න මම යොමු වුණේ ගම්පොළ රෝහලෙන්මයි. මුල්ම කාලේ දකින්නේ හරිම කාර්ය බහුලව ලොකු පීඩන එක්ක රාජකාරි කළ රෝහල් කාර්ය මණ්ඩලයෙ හෙද හෙදියන්. ඒ අතරෙ මම දකිනවා හරිම ආදරණීය අම්ම කෙනෙක් වගේ කාරුණික හෙදි සොයුරියක්. ඒ සිස්ටර් තමයි මැණිකේ කීරවැල්ල. ඇය හරි වෙනස් කියලා මට හිතුණා. ඉතාම කාරුණිකව රෝගීන් එකක් ගනුදෙනු කරන විදිහ, සුළු සේවකයන් කළමනාකරණය කරන විදිහ මම ඇගෙන් දැක්කා. ඒක තමයි මගේ මුල්ම සිතිවිලි පරිවර්තනයට මුල් වුණේ.

ගම්පොළ රෝහල කියන්නෙ විශාල රෝගීන් පිරිසකට සත්කාර කරන විශාල තැනක්. මම එතැන පුංචි ආධුනික හෙදියක්. හැකි උපරිම විදිහට මගේ රාජකාරිය කළත් මට මම ගැන, මට ආදර්ශයක් වෙච්චි මැණිකෙ මිස්ගෙන් ඉගෙන ගත් දේවල් මූලිකවම අත්හදා බලන්න පුළුන් වුණේ කුරුදුවත්ත ප්‍රාදේශීය රෝහලට මීට අවුරුදු 05කට කලින් මාරු වීමක් අරන් ආවට පස්සේ. කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලට ඉන්නේ හෙදියන් හතරයි මාත් එක්කම. මේක ගම්බද වතුකරයෙ තිබෙන රෝහලක්. මෙහෙ වෛද්‍ය සායන තිබුණේ හරිම වෙනස් විදිහකට.

සායන කටයුතු සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරන්න ඕන එක් හෙදියක් විසින්මයි. ඒ වගකීම මට පැවරුණා. මේ අය පුරුදු වෙච්චි විදිහක් තිබුණා. සඳුදා සහ සිකුරාදා දවස්වල තමයි සායන තිබ්බෙ. එක සායන දවසකට 350ක් 400ක් එනවා. කුඩා ඉඩක්. පුදුම යුද්දයක්. පාන්දර 5 ඉඳන් ඇවිත් ඔවුන්ටත් ඒ වෙහෙස හරිම පීඩාකාරියි. එකපාරටම මේ විදිහ වෙනස් කරන්න බෑ. මමත් අවුරුද්දක් විතර ඒ රටාවේ හිටියා. මිනිස්සු එන්නෙත් ලේ කුපිත වෙලා. පොත් ගන්න තැනත් පෝලිම. බෙහෙත් දෙන තැනත් පෝලිම. දොස්තර මහත්තයා ගාවත් පෝලිම. එක ලෙඩාට තුන් දෙනෙක් එනවා. වචනයක් එහෙ මෙහෙ වුණොත් රණ්ඩු. අපිට රාජකාරි තියෙන්නේ උදේ 7.00 ට. ඩොක්ටර්ස්ලා එන්නේ, ඩිස්පෙන්සරිය අරින්නේ උදේ 08ට. ඉතින් 5.30 ඉඳන් සායනයට ඇවිත් වෙහෙසිලා ඉන්න රෝගින් අපි පරක්කුයි කියලා බනිනවා.

මම මුලින්ම කල්පනා කළා මේ තත්ත්වය වෙනස් කරන්න. කවුරු මොනවා කිව්වත්, මට හොඳටම බැන්නත් මේ වයසක අම්මලා තාත්තලට මම සුබ දවසක් මගේ අම්මලා තාත්තලට කියලා කතා කරන්න ගත්තා. ඉතින් අර පුංචි ඉඩේ බංකුවක්වත් නැතිව ඒ අය හිටන් ඉන්නවා. මම මොනවා කිව්වත් ඇහුම්කන් දෙනවා අඩුයි. මම මුලින්ම එයාල ක්ලිනික් එන වෙලාව හදන්න හිතුවා. හැමදාම ක්ලිනික් දවසට කිව්වා “උදේම එන්න එපා. හතට එන්න. අපිත් එන්නේ හතට කියලා. මුලින් අවනත වෙන්නේම නෑ. මමත් අත්හැරියෙම නෑ. කියපු දේ තේරුම් ගන්න ඒ අම්මලා තාත්තලට අවුරුද්දක් විතර ගියා. අවුරුද්දක් යනකොට ඒ අය 07 වෙනකොට එන්න ගත්තා.

මම ක්ලිනික් පොත් ටික දුන්නේ 08 කිට්ටු වෙලා. හතේ ඉඳන් ක්ලිනික් පොත් ටික දෙනකම් තියෙන විනාඩි 45 ඇතුළෙ මම ඒ අයට කතා කළා.

මම දකිනවා ඒ අයගේ මූණු. වේදනාව, බය, අසරණකම, නොපිළිගැනීම. හැඟීමක් නැති මේ ලෝකෙට අයිති නෑ වගේ හිතන අසරණ මවුපියවරු. මේ අයට සෞඛ්‍ය තොරතුරු විතරක් මේ සායනයකින් දීලා මදි, මේ අය තෘප්තිමත් බලාපොරොත්තු ඇති අය වුනොත් නේද ඖෂධ ප්‍රතිකාර වුණත් සාර්ථක වෙන්නෙ කියලා මම කල්පනා කළා. මේ අතර සායනය ටිකක් ඉඩ පහසු තියෙන තැනකට අරන් යන්න අපට පුළුවන් වුණා. ඒ අවසරයෙන් මම කළේ මේ අම්මලා තාත්තලගේ ජීවිත ගැන කතා කරන ඒ අයගෙම දුවක් වෙන්න හදපු එක.ඒක සාර්ථක වුණා. ඔවුන් ජීවිතේ මහා පීඩන අඬ අඬා මං එක්ක කතා කරන්න ගත්තා. ඒ කතාව ඉවර වුණාම ඒ අයගේ සැහැල්ලුව මම දැක්කා. වචනයක් දෙකක් ආදරෙන් කතා කරලා මානුෂික පිළිගැනීමක් දෙනවා නම් ඔවුනුත් එයට ආදරය කරන බව මම අත්දැක්කා. මීට මාස 06කට කලින් සායනයේ මාතෘකාව ටිකක් වෙනස් කළා. අපි උදේ සායනයේ දී පුංචි සිංදුවක් කියන්න ගත්තා. රෝගී අම්මලා තාත්තලා සිංදු කිව්වා. ලස්සන කතා කිව්වා. මම ඒ අයගේ ජීවිතවල සමහර අඳුරු තැන් ගැන ධනාත්මකව කතා කළා. ඔවුන් වෙනස් වුණා.

ඒ වෙනස අවුරුදු හතරක් තිස්සේ ඉතාම සංයමයකින් කළ උත්සාහයක්. මම ඔවුන්ට කිව්වා තියෙන ඇඳුමක් හොඳට පිරිසිදුව පිළිවෙළට ඇඳන් තමන්ගෙ දුව බලන්න එනවා වාගේ සතුටකින් සායනයට ඇවිත් මාව හමුවෙන්න කියලා. දැන් ඔවුන් සායනයට එන්නේ හරිම සතුටකින්. මේ කටයුත්තට රෝහලේ හිටපු දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී තුමා, වත්මන් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන්ම විශාල සහායක් ලැබුණා. ඒ අතරෙ තමයි මේ වයිරල් වෙච්චි වීඩියෝ එකේ සිද්ධිය වුණේ. ඔවුන් එක දවසක හැමෝම කතා වෙලා මලක් ගානේ අරන් ඇවිත් මහා පුදුමයට පත් කරමින් මට ඒ මල් දුන්නා. හැම අම්මෙක්ම තාත්තෙක්ම දාස් පෙතියා මලක් හරි අරන් ඇවිත්… එදා මට මහා හයියෙන් ඇඬුනා සතුටට. ඒ අවස්ථාවේ වීඩියෝ දර්ශනයක් මම මගේ එෆ් බී එකේ දැම්මා. එකෙන් කොටසක් අරන් මගේ හොඳම යෙහෙළිය වන ජනප්‍රිය ඡායරූප ශිල්පිනි ක්‍රිෂ් ලී ඇගේ පිටුවෙ දාලා තිබුණා. ඇය නිසා තමයි මේ වටිනා පිණිවිඩය සමාජගත වුණේ. ජීවනී කුරුප්පු ආරච්චි හෙද නිලධාරිනිය හෙද පිටුවල මේ වීඩියොව ෂෙයාර් කළා. ඒකෙන් තමයි සිද්ධිය වෛරල් වෙලා ගියේ. ඒ වීඩියෝව දැකපු නර්සින් ඩිරෙක්ටර් කතා කරලා මාව අගය කරපු දවස මට ජීවිතේ ලැබුණු වටිනාම මතකයක්. මේ කිසිම දෙයක් මං බලාපොරොත්තු වූ දේවල් නෙමෙයි…” ඇය කියන්නීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂිකා, (වෛද්‍ය සේවා) එම්. බි. සී. සමන්මලිගෙන් ද අප මේ පිළිබඳ විමසුවෙමු.

“හෙදියක් හෙදවරයෙක් කියන්නේම සමාජයේ සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරමින් විශාල වගකීමක් දරන පිරිසක්. බොහෝ රෝහල්වල අඩු වැඩි වශයෙන් තමන්ගේ රාජකාරියෙන් එහා ගොස් මානුෂීයව, සේවයට උපරිම කැපවූ හෙද නිලධාරීන් නිලධාරිනියන් බොහොමයක් සිටියත් ඔවුන් කරන එවැනි සේවා ජනතාව අතරට යන්නේ හෝ ඇගැයීමට ලක් වෙන්නේ ඉතා සීමිතවයි. හෙද සේවයේ අප දියුණු කළ ගුණාංග හයක් තිබෙනවා. එම ගුණාංග එක්ක තමයි රෝගී සත්කාරක සේවයේ අපි නියැළෙන්නේ. අසීරු යුගවලදී පවා හෙද හෙදියන් වෙනදා මෙන්ම කැපවීමෙන් සහ දැඩි වෙහෙසකින් සාත්තු සේවයේ නොපැකිළව යෙදුණා. ඒ සම්බන්ධව මගේ සමස්ත හෙද කාර්ය මණ්ඩලටම මම කෘතවේදී වෙනවා.

මේ හෙද නිලධාරිනියගේ මානුෂීය සේවය දැන ගන්න පුළුවන් වුණෙත් සාමාජ මාධ්‍ය නිසා. මේ සද් කාර්ය වාර්තා වුණේ ගම්පොළ, කුරුවත්ත කියන ඉතාමත් සීමිත හෙද නිලධාරින් සංඛ්‍යාවක් සිටින ප්‍රාදේශීය රෝහලකින්. හෙදියකට ආදරය සහ කෘතවේදීත්වය පළ කරන්න මල් අරගෙන රෝහලකට ආපු රෝගීන් ඉන්න රෝහලක් ගැන මමත් දැක්කේ පළමු වතාවට. මා ඉතා සතුටු වෙනවා ඇගේ නොපසුබට උත්සාහය සම්බන්ධයෙන්. වසර තුන හතරක ඇගේ උත්සාහය නිසා අද ඒ සායනවලට එන රෝගීන් විශාල සංඛ්‍යාවකට මාසික සුවයක් සහනයක් ලබා දී සතුටින් සායන කරා ගෙන්වා ගන්න අද එම රෝහලට හැකි වී තිබෙනවා. දුෂ්කර යුගයක විවිධ දුෂ්කරතා මැද්දේ හෝ ඇය පෞද්ගලිකවම කැප වෙලා කිසිදු ඇග­ැයීමක් බලාපොරොත්තු නොවී මේ කරන්නේ විශාල සේවාවක් ලෙසයි මා දකින්නේ. එය සෞඛ්‍ය සේවයේ හැමෝටමත් ආදර්ශයක්.මෙය අනෙකුත් රෝහල්වලත් ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ සංකල්පයක්. “ඇය කීවේ මහා ගැඹුරක් ඇති කතාවකි.

මනුෂ්‍යත්වයේ උත්තරීතර ගුණධර්ම මත පිහිටා ගොඩනැඟුණු සමාජයක් කුමන ව්‍යසනයකට ලක් වුවද ඒ හරයන් ඒ ව්‍යසනය යට තවමත් සක්‍රියව පවතින්නේය. ඒවා පිටතට එන්නේ අපටත් නොහැඟෙන අනායස සිද්ධීන් ලෙසය. ඒ සිද්ධි හුදෙකලා සිදුවීම් නොවන බවත්, සමාජයක් පරිවර්තනය කරගත හැකි මහා බලයක් සහිත ප්‍රපංච ලෙසින් බවත් තේරුම් ගතහොත් වෙනස සඳහා එය ප්‍රමාණවත්ය. ඒ වෙනස නිර්මාණය වනු ඇත්තේ අප අත් දකින ගර්හිත සමාජ බිඳවැටීම්වලට බොහෝ ඔබ්බෙන්ය.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division