Home » බැරි බැරියාව තමයි ලොකුම ලෙඩේ

බැරි බැරියාව තමයි ලොකුම ලෙඩේ

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment

ටික දවසකට කලින් හරියට කෙළින් පාරක ඇවිදින්නවත් බැරි වයසක මනුස්සයෙක් මොප් බාස්කට් එකත් තල්ලු කර කර අපාර්ට්මන්ට් එකේ ලිෆ්ට් සුද්ද කරනවා දැක්කම නිකමට වගේ , හලෝ කියලා කතා කළා. නම, ong sean චීන ජාතිකයෙක්, වෙච්ච ඒ මනුස්සයා වයස අවුරුදු 84 ක පැන්ෂන් ගිය කළමනාකරණ නිලධාරියෙක්. හොඳට හම්බකරලා දරුවන්ගේ යුතුකම් එහෙමත් ඉවර කරලා, ලොකු ගාණක අර්ථසාධක හිමිකමක් තියන ආර්ථිකව හොඳ ස්ථාවර මනුස්සයෙක්.

දැන් ටිකක් වයසත් එකේ ගෙදරට වෙලා ටිකක් නිදහසේ හිටිය නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද කියලා මම ඇහුවම ඒ මනුස්සයා මට හරි පුදුම උත්තරයක් දුන්නා.

මිනිහෙක් වුණාම මුකුත්ම කරගන්න බැරි වෙනකම්ම මොනවහරිම කරන්න ඕනේ. තමන්ට, පවුලට, රටට, ලෝකෙට, මේ මොහොකට හරි වැඩක් වෙන දෙයක් කරන්න ඕනේ. වයස කියන්නේ අංක මිසක් පුළුවන් බැරිකමට නෙමෙයිනේ. පැන්ෂන් ගියා කියන්නේ රැකියාව නවත්තනවා කියන එක නෙමෙයි ක්ෂේත්‍රය මාරු කරන්න අවස්ථාවක් ලැබෙනවා කියන එක.

දෙකම ලෙඩ වෙනවා. ඉස්සර වගේම දඟලල කරලා වැඩ කරන්න බැරි වුණාට මම තාම හොඳ ෆිට් එකේ සතුටෙන් වැඩ කරලා හවසට ගෙදර යනවා. මම මට පුළුවන් තාක් කල් රටේ ශ්‍රම බළාකාය ඇතුළේ ඉන්නවා ..

සිංගප්පුරුවෙ වයෝවෘද්ධ ong මහත්තයාගේ ඒ කතාව එක කනක දෝංකාර දෙන අතරෙම වෙන වැඩකට ලංකාවේ දන්න කියන සමන් කියලා මහත්තයෙකුට කතා කළා.

“දැන් අපි වයසයි, මම තව මාස හතරකින් පැන්ෂන් යන්නනේ ඉන්නේ, තව අවුරුදු දෙක තුනකින් මටත් හැටක් නේ ඉතිං..

ආ එහෙමද, එතකොට සමන් මහත්තයා පැන්ෂන් ගියාට පස්සේ මොනවද කරන්න හිතන් ඉන්නේ?

පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ඉතින් පැන්ෂන් යන්නේ ඒකට නේ ..

එතැනින් එහාට ඒ ගැන සමන් මහත්තයට කියන්න දෙයක්වත් මට අහන්න දෙයක්වත් ඉතුරු වුණේ නැහැ.

සිංගප්පුරුවේ ong මහත්තයා 84ත් වයසක්ද කියලා අහද්දී, ශ්‍රී ලංකාවේ සමන් මහත්තයා මටත් දැන් 60යි කියලා දීපු උත්තර දෙක ඇතුළෙ තියෙන්නෙ, ඒ මිනිස්සු දෙන්නගේ පුද්ගලික ආකල්ප නෙමෙයි. ඒ තමයි අපේ රටවල්වල ආකල්පවල වෙනස.

ලෝකේ දියුණුයි කියලා හඳුන්වන රටවල්වල ආර්ථික අංක, යටිතල පහසුකම්, මූලික අවශ්‍යතා ගැන ලොකු ලොකු මහප්‍රාණ කතා කළාට, ඒ රටවල් එහෙම වෙන්න ඒ රටවල්වල මිනිස්සුන්ගේ ආකල්ප කොච්චර දුරට හේතු වුණාද කියලා අපි වැඩිය හිතන්නේ නැහැ.

ලංකාවේ බහුතරයක් මිනිස්සු ජීවිතෙන් දශක පහක් ඉවර වුණ ගමන්ම ජීවිතේ බරම කොටස අතෑරලා දාලා මොකද්දෝ මන්දා අමුතු නිදහසක්, නිවාඩුවක් සැහැල්ලුවක් හොයන්න පටන් ගන්නවා,

දැන් අපි පැන්ෂන්, අපිට දැන් වයසයි, අපි දැන් මහලුයි, නාකියි කිය කිය…. බැරි බැරියාව කියවන්න ගන්නවා. වැඩක් නැතුව ගෙවල් වලම ඉන්නකොට දරුවන්ගේ බෑනාගේ ලේලිගේ අඩුපාඩු පේන්න ගන්නවා. දරුවන්ගේ අනුකම්පාව අවධානය ගන්න එක එක දේවල් කරන්න හිතෙනවා. හේතුවක් නැතුව කියවන්න පටන් ගන්නවා.

අවුරුද්දක් දෙකක් එක දිගට ඔය කියවිල්ල කියව කියව තුන් වේල බත් කකා පුටු උඩ, ටීවී ඉස්සරහ විසිහතර පැය ගෙවද්දී, අතපය අමාරු, හන්දිපත් වේදනා, දියවැඩියා, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, විතරක් නෙමෙයි, ඩිමෙන්ෂියාවල මුල් අදියරටත් සාඩම්බර හිමිකම් ඉබේටම ලැබෙනවා.

අලස නීරස නිදහසක් හොයාගෙන ගිහින් කොහොමින් කොහොම හරි හැට පනිනකොට ජනාතාවගෙන් හැමෝටම බොහොමයක් ලෙඩ හැදිලා, මානසිකව වැටිලා, මරණය එනකම් දොර ළඟට වෙලා බලන් ඉන්න තත්ත්වෙටම වැටිලා ඉවරයි.

බැරි වෙලාවකවත් හිතේ හයිය තියන අමුතු විදිහට හිතන එක්කෙනක් දෙන්නෙක් ඔය ක්‍රමය අබිබවා ගිහින් හැට හැත්තෑව වෙනකන් රියැදුරු රස්සාවක් සිකියුරිටි රස්සාවක් හරි කළා කියන්නේ, ඒ මිනිස්සුන්ගේ දරු මුනුපුරෝ පවා වසලා හමාරයි.

“අපෝ නහින දෙහින කාලේ අර මනුස්සයගෙන් වැඩ ගන්නවා, හම්බ කරගන්නවා, වයසට ගියත් සැනසීමක් නැහැ, මුන් දරුවෝද? කියලා සමාජ අපචාරයක් කරපු වැරදිකාරයො ගානට දාල කතාකරනවා,

වුවමනාව, කැමැත්ත තිබ්බත් අපි වගේ තුන්වෙනි ලෝකේ රටවල්වල වැඩිහිටියෝ ඇඟේ හයිය තිබ්බත් ජීවිතේ බාගයක් ගෙව්ව ගමන් තමන්ගෙන් වැඩක් ගන්න එක නවත්තලා මොකද්දෝ අමුතු සමාජ මට්ටමකට අනුගත වෙන්න දඟලනවා,

ශ්‍රමය මුදල් කරන්න පෙළඹෙනවා වෙනුවට අපි වැඩිහිටියෝ කියලා හිතාගෙන අමුතු විදිහකට වැඩහිටින්න පටන් ගන්නවා.

ලංකාවේ ජනගාහනයෙන් 12%කට වඩා වැඩි ප්‍රතිශතයක්‌ අවුරුදු 60ට වැඩියි. ඔය ප්‍රමාණයෙන් පහෙන් එකක්වත් ශ්‍රම බලකාය ඇතු‍ළේ නැහැ, ඒකට හේතුව වැඩ කරන්න බැරිකමවත්, මුදල් වුවමනා නැති කමවත් නෙමෙයි.

මොකද්දෝ හුඹස් සමාජ මට්ටම මේන්ටේන් කරන්න දඟලන එක.

වයසට ගියාම උපයනවා කියන්නේ අපේ රට ඇතුළේ ලැජ්ජ වෙන්න ඕනෙ කාරණයක් වෙලා, ටයි එකක් දාගෙන රස්සාවක් කරපු මනුස්සයෙක්, සාමාන්‍ය රස්සාවකට මාරු වෙන එක දරුවන්ටත් ලැජ්ජ වෙන වැඩක් බවට පත් වෙලා.

ඔය වගේ ආකල්පවලට අනිසි පාලනයත් එකතු වුණාම මේ අපේ දිවයින කවදාවත් දියුණු නොවෙන රටක් බවට පත් වෙන එක ගැන එච්චරම පුදුම වෙන්න දෙයක් නැහැ.

ඇමරිකාව, එංගලන්තේ විතරක් නෙමෙයි ලෝකෙ දියුණුයි කියලා කියන හැම රටකම වගේ, බිම අතුගාන්නෙ, පාරවල් අතුගාන්නෙ, ෂෙඩ් වල තෙල් ගහන්නේ, වතුවල මල් වවන්නේ, රෙස්ටුරන්ට්වල කෝප්ප පිඟන් හෝදන්නේ, අපේ රටවල් වල ඉතාම වයසයි කියලා නම් කරලා කොන් කරලා ඉන්න වයස 60ක්‌ 70ක්‌ පැනපු නෝනා මහත්තුරු.

සමහරු ඒ දේවල් කරන්නේ කන්න බොන්න නැති කමටවත්, දරුවෝ නොසලකන හින්දවත් නෙමෙයි, මැරෙනකම් ඉන්න ඉන්න බැරි හින්දා.

අන්න ඒ හින්දා ආසියාවට එහා යුරෝපය ඇතුළු ගොඩක් රටවල්වල මිනිස්සුන්ගේ ආයු කාලය සීයට ඔන්න මෙන්න මිසක් අපේ රටවල්වල වගේ උපරිමය 75 නෙමෙයි.

රටක් විදිහට අපි දියුණු වෙන්න නම්, ආර්ථික අංක වගේම අදහස් ආකල්ප වලිනුත් මිනිස්සු උඩු යටිකුරු වෙන්න ඕනෙ. මිනිස්සුන්ගේ දැක්ම වෙනස් වෙන්න ඕනෙ.

පණ යනකම්ම ජීවිතේ අත් නොහරින තරමට මිනිස්සු ආකල්පවලින් වෙනස් වෙන්න ඕනෙ.

රටේ වටිනාම සම්පත වෙන මානව සම්පත තමන්ගෙන් හරියට ප්‍රයෝජන ගන්න පුරුදු වෙච්ච දවසට, සමන් මහත්තයා පැන්ෂන් ගිහින් මල් වගාවක් හරි කරන්න ඕනෙ කියල හිතන තරමට මිනිස්සුන්ගේ thinking pattern එක වෙනස් වුණ දවසක රටක් විදිහට අපිට දියුණුව කියන වචනය මීට වඩා ළඟින් දැනෙන්න ගනියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division