සල්මාන් ඛාන් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම නළුවන් අතර ඉහළින්ම සිටින කෙනකු බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ලොව පුරා සිටින ඔහුගේ සුවහසක් රසික රසිකාවියන්ට අද දවස විශේෂ දවසක්. ඒ ඔවුන්ගේ වීරයාගේ අලුත්ම චිත්‍රපටය අද (12) ප්‍රදර්ශනය ආරම්භ කරන නිසයි. මේ සිනමාපටයේ නම ‘ටයිගර්-3’.
මෙය ප්‍රේක්‍ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය වූ ‘ටයිගර්’ චිත්‍රපට මාලාවේ තුන්වැනි සිනමාපටය වන අතර පළමු චිත්‍රපටය වූ ‘ඒක් තා ටයිගර්’ 2012 වසරේ ද, දෙවැනි චිත්‍රපටය වූ ‘ටයිගර් සින්ද හයි’ 2017 වසරේ ද තිරගත වුණා. මෙම චිත්‍රපටවල සල්මාන් රඟපාන්නේ අවිනාශ් ‘ටයිගර්’ සිං රතෝර් නමැති රහස් ඔත්තු නිලධාරියකුගේ චරිතයක්. ඔහු නිරත වන අභියෝගාත්මක මෙහෙයුම් සහ ඒවායේ දී දක්වන වික්‍රමයන් තමයි මෙම සිනමාපටවලට පසුබිම් වන්නේ.
‘ටයිගර්-3’ සිනමාපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය නිළි කත්‍රිනා කායිෆ්ය. සිනමාපටයෙහි ඇති විශේෂත්වයක් වන්නේ මේ වන විට ‘පතාන්’ සහ ‘ජවාන්’ චිත්‍රපට හරහා දැවැන්ත ජනප්‍රියත්වයක් දිනා සිටින ෂාරුක් ඛාන් ද මෙහි කෙටි චරිතයක් නිරූපණය කිරීම යි. ඔහු රඟපාන්නේ ‘පතාන්’ගේ චරිතයම වීමත් විශේෂත්වයක්.
‘පතාන්’ චිත්‍රපටයේ සල්මාන් ද ටයිගර් ලෙස දර්ශන කිහිපයක පෙනී සිටි බව ඔබට මතක ඇති. ෂාරුක් ද පතාන් හැටියට මෙම සිනමාපටයේ රඟපාන්නේ ඒ ආකාරයෙන්මයි. ෂාරුක්ට අමතරව රිතික් රෝෂන් ද ‘ටයිගර්- 3’ හි රඟපාන බව සඳහන්. ඔහු රඟපාන්නේ මේජර් කබීර් දාලිවාල් නමැති චරිතය යි. කබීර් යනු රිතික් ඔහුගේ War චිත්‍රපටයේ රඟ පෑ චරිතයම බව ඔහුගේ රසිකයන් කවුරුත් දන්නා කාරණයක්. මේ අනුව පෙනෙන්නේ චිත්‍රපට කිහිපයක පෙනී සිටි රහස් ඔත්තු නිලධාරීන් තිදෙනකුම ටයිගර්-3 හි පෙනී සිටින බවයි. සුපිරි නළුවන් තිදෙනෙකුම රඟපාන නිසා ටයිගර්-3 දැඩි ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් දිනාගන්නට ඉඩ ඇති බවට මේ වන විට අදහස් පළ වෙනවා. විශේෂයෙන් පසුගිය දිනවල ප්‍රේක්‍ෂකයන් අතර උන්මාදයක් ඇති කළ ෂාරුක්ගේ පෙනී සිටීම ඊට බෙහෙවින් ඉවහල් වනු ඇති.
කෙසේ හෝ වේවා, සල්මාන් ඛාන් මේ වන විට ගත කරමින් සිටින්නේ ඔහුගේ රංගන දිවියේ එතරම්ම සාර්ථක කාලයක් නොවෙයි. පසුගිය වසරවල ඔහු රඟපෑ අවසන් චිත්‍රපට ඔහුගේ ඊට කලින් සිනමාපට තරම් ආකර්ෂණයක් ඇති කරන්නට සමත් වුණේ නැහැ. සුපිරි ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට සමත් වූ අවසන් සිනමාපටය වූයේ 2017 වසරේ තිරගත වූ ‘ටයිගර් සින්දා හයි’ සිනමාපටය යි. එයින් පසු තිරගත වූ රේස්-3 (2018), භාරත් (2019), දබාංග් 3 (2019), අන්තිම් (2021) සහ කිසි කා බායි කිසි කි ජාන් (2023) යන සිනමාපටවලට එතරම් ලාභ උපයන්නට හැකි වුණේ නැහැ. ‘ටයිගර් සින්දා හයි’ චිත්‍රපටයෙන් වසර 6 කට පසුව එන ‘ටයිගර්-3’ තුළින් සල්මාන්ට නැවතත් සුපුරුදු ආකර්ෂණය දිනා ගැනීමට හැකි වේවිද යන්න මේ වන විට බොහෝ දෙනා කුතුහලයෙන් බලා සිටින කාරණයක්.
සල්මාන් පෞද්ගලික ජීවිතයේ ද පසුගිය දිනවල විවිධ ගැටලුවලට මුහුණ දී සිටිනු දැක ගන්නට ලැබුණා. ඔහුට මරණ තර්ජන එල්ල වීමක් ගැනත් පසුගිය කාලයේ මාධ්‍ය හරහා වාර්තා වුණා. සල්මාන්ට ප්‍රධාන වශයෙන්ම මෙම තර්ජන එල්ල වන්නේ ලෝරන්ස් බිෂ්නෝයි නමැත්තකු නායකත්වය දරන මැර කල්ලියකින් බවයි සඳහන් වන්නේ. තමාගේ ජීවිතයේ ලොකුම අරමුණ සල්මාන් ඝාතනය කිරීම බවක් ද මෙයට මාස කිහිපයකට පෙර ලෝරන්ස් බිෂ්නෝයි පවසා තිබූ බවත් සඳහන්.
සල්මාන්ට මේ ආකාරයෙන් මරණ තර්ජන එල්ල කරන්නේ ඔහු මෙයට වසර කිහිපයකට පෙර බ්ලැක්බක් (Blackbuck) නමින් හැඳින්වෙන, ගෝනුන්ට සමාන සතෙකු මරා දැමීම පිළිබඳ චෝදනාවක් පසුබිම් කරගෙන යි. මෙම සිද්ධිය වූ බව පැවසෙන්නේ සල්මාන් ජෝද්පූර් නමැති ප්‍රදේශයේ චිත්‍රපට රූපගත කිරීමක් සඳහා ගොස් සිටියදීයි. බ්ලැක්බක් සතුන් එම ප්‍රදේශයේ බිෂ්නෝයි ජන ප්‍රජාව පූජනීයත්වයෙන් සලකන සත්ත්ව විශේෂයක් බව සඳහන් වෙනවා. ඉහත සඳහන් කළ ලෝරන්ස් බිෂ්නෝයි ද මෙම ප්‍රජාවට අයත් කෙනෙක්. මෙම සතකු මරා දැමීමෙන් සල්මාන් ඛාන් බිෂ්නෝයි ප්‍රජාවට අගෞරවයක් කළ බව ලෝරන්ස් බිෂ්නෝයිගේ අදහස බවයි පෙනෙන්නේ.
සල්මාන්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වෙද්දී ඔහුගේ ආරක්‍ෂාව දැඩි කිරීමටත් මුම්බායිහි නිලධාරීන් පියවර ගත්තා.
මේ වන විට සල්මාන්ගේ වයස අවුරුදු 57 ක්. නමුත් තවමත් ඔහු තනිකඩයෙක්. සල්මාන් කිසි දිනක විවාහ දිවියක් ගත කර නැහැ. නමුත් ඔහු බොලිවුඩ් නිළියන් කිහිප දෙනෙකු සමඟම සබඳතා පවත්වා තිබෙනවා. 1999 සිට 2001 දක්වා අයිශ්වර්යා රායි සමඟ ද, එයින් පසු 2010 දක්වා කත්‍රිනා කායිෆ් සමඟ ද ඔහු ආදර සබඳතා පැවැත්වූ බව සඳහන්. සංගීතා බිජ්ලානි, සොමි අලි යන නිළියන් ද සල්මාන්ගේ පෙම්වතියන්ව සිටි බව පැවසෙනවා. 2012 සිට ඔහු ලුලියා වාන්තුර් නමැති රුමේනියානු ජාතික නිළියක සමඟ සබඳතාවක් පවත්වන බවට කතාවක් තිබෙනවා.
කසුන් අරවින්ද