Home » වයසට යෑම හා මරණයට පත් වීම දෙස බලා සිටින අයුරු

වයසට යෑම හා මරණයට පත් වීම දෙස බලා සිටින අයුරු

by Mahesh Lakehouse
November 11, 2023 12:28 am 0 comment

සිහියෙන් යුතුව, නිරන්තරයෙන් හුස්ම ඉහළ හා පහළ යෑම නිරීක්ෂණය කිරීමේදී නොනවතින ශාරීරික සංවේදනා හා චලන ප්‍රවාහය ඔබ දකින අයුරු හා නොසැලී කාලය ගමන් කිරීමේදී නැඟෙන දෝංකාරයේ රිද්මය දැනෙන අයුරු හා නොනවතින චලනයන් මැද බලා සිටින්නෙකු නැති බවත් එහි ඇත්තේ බැලීම පමණක් බවත් අපි අවබෝධ කර ගතිමු.

මෙම අවබෝධිත තත්ත්වයේදී, අනුක්‍රමික මොහොතවල් දෙකක් තුළ කිසිවක් එක ලෙස නොසිටියි. සෑම දෙයක්ම නිරන්තරයෙන් වෙනස්වෙමින් පවතියි. සියලු දේ ඉපදී, වැඩී, මරණයට පත් වෙයි. එයින් පිටස්තර කිසිවක් නොමැත. ඔබගේ ජීවිතයේ සිදුවන නොනවතින වෙනස්වීම්වලට ඔබ අවදිවෙයි. වටපිට බලන ඔබට සෑම දෙයක්ම, කිසිදු ඉතිරියක් නැතිව සෑම දෙයක් ම ගලායන ප්‍රවාහයක් බව පෙනෙයි. ඒ සෑම දෙයක් ම ඉහළ යමින් හා පහළ බසිමින්, වැඩිවෙමින් හා අඩු වෙමින්, ජීවය ලබමින් හා මරණයට පත් වෙමින් තිබේ. සෑම ජීවයක් ම, ක්ෂුද්‍ර ජීවියේ සිට පැසිෆික් සාගරය දක්වා සියල්ල නිරතුරුවම චලනය වෙමින් පවතියි. ගලායන මහා අත්දැකීම් ගංගාවක් සේ ඔබ විශ්වය දකිනු ඇත. ඔබ මහත් ආශාවෙන් රැක බලාගත් වස්තුව ගිලිහී යයි. ඔබගේ ජීවිතය ද එසේමය. මෙම අස්ථිර බව කනගාටුවට හේතුවක් නොවේ. ඔබ ගල් ගැසුනාක් මෙන් මේ අනවරත ක්‍රියාවලිය දෙස විශ්මයෙන් බලා සිටියි. ඒ සෑම දෙයක් ම චලනය වෙමින්, නටමින් ජීවයෙන් පිරී පවතියි.

මෙසේ අඛණ්ඩ වෙනස්වීම් දෙස බලා සිටින ඔබ සියල්ල එකට ගැලපෙන අන්දම දකියි. සියලුම මානසික, ඓන්ද්‍රීය හා චිත්තවේගී සංසිද්ධීන්වල අන්තර් සම්බන්ධතා පිළිබඳව අවබෝධයක් ලබා ගනියි. එක සිතිවිල්ලක් තවත් සිතිවිල්ලකට පාර කපන අන්දම, බිඳීයාම ආවේගී ප්‍රතිචාරයන් ඇති කිරීම හා හැඟීම් තවත් සිතිවිලිවලට මග සලසන අයුරු ඔබ දකියි. ක්‍රියාවන්, සිතිවිලි, හැඟීම් හා ආශාවන් සමීපව හේතු ඵල වියමනේ එකට ගෙතී ඇති අයුරු ඔබට පෙනෙයි. වින්දනාත්මක අත්දැකීම් ද රැඳී නොසිට, ඇතිවී නැතිවී යන අන්දම ඔබ දකී. ආරාධනාවකින් තොරව පැමිණෙන වේදනාව ඉවතට විසිකිරීම සඳහා ඔබ දරන ප්‍රයත්නය ඔබ දකියි. ඔබගේ අසාර්ථකත්වය ඔබ දකියි. ඔබ ඒ සියල්ල සිදුවන ආකාරය බලා සිටින අතර මේ සියලු දෙය නැවත නැවතත් සිදුවෙයි.

මෙම සජීවී විද්‍යාගාරය තුළින් ගැඹුරු හා බිඳහෙළිය නොහැකි නිගමනයක් මතුවෙයි. ඔබගේ ජීවිතය බලාපොරොත්තු සුන්වීම් හා ඉච්ඡාභංගත්වයෙන් සලකුණු වී ඇති බවත් ඒවායේ මූලාශ්‍රයනුත් ඔබ පැහැදිලිව දකියි. මෙම ප්‍රතික්‍රියා පැන නඟින්නේ අවශ්‍ය දේ ලබා ගැනීමට ඔබගේ නොහැකියාව, ඔබ සතු දේ ගිලිහී යාමේ බිය හා තිබෙන දෙයින් කිසි දිනෙක තෘප්තියට පත් වීමට නොහැකිවීම වැනි පුරුදුවලින් බව ඔබ දකියි. මේවා තවදුරටත් න්‍යායාත්මක සංකල්ප පමණක් නොවේ. ඔබ විසින් ම දැකගත් මේවා සත්‍ය බව ඔබ දනියි. ඔබගේ බිය, ජීවිතය හා මරණය හමුවේ ඔබගේ අනාරක්ෂිත බව ඔබ වටහා ගනියි. ජීවත්වීම වෙහෙසකාරී ප්‍රයත්නයක් බවට පත් කරන එය සිතිවිල්ලෙන් මුලටම යන ප්‍රබල ආතතියකි. අන්ධකාරයේ අතපත ගාමින්, බියෙන් සැලෙමින්, ස්ථිරසාර නොසැලෙන බිමක් අල්ලා ගැනීමට දරන උත්සාහය ඔබ දකියි. ඔබ අස්වැසිල්ලක් නැතිව කුමක් හෝ අල්ලා ගැනීමට නොනැවතී දරන ප්‍රයත්නයත් සියල්ල වෙනස් වෙමින් යන එහි අල්ලා ගැනීමට ස්ථිර වූ කිසිදෙයක් නැති බවත් ඔබ දකිනු ඇත.

ඔබ, තිබෙන දේ නැතිවීමෙන් ඇතිවන වේදනාව හා ශෝකය දකියි. ඔබගේ එදිනෙදා ජීවිතයේදී වේදනාත්මක සිද්ධීන්වලට හැඩ ගැසීමට ඔබ ඔබටම බලපෑම් කරන අන්දම බලා සිටියි. ජීවන ක්‍රියාවලියේ ස්වාභාවික ගැටුම් හා ආතති සියැසින් දකින ඔබ, ඔබගේ ගැටලු මොන තරම් කුඩා, ගණන් ගත යුතු නැති ඒවා ද කියා දකියි. වේදනාව වර්ධනය වීම, රෝග පීඩා, වයසට යෑම හා මරණයට පත් වීම දෙස ඔබ බලා සිටියි. මේ දරුණු දේ කිසිසේත් බියකරු නොවන බව විශ්මයෙන් යුතුව ඔබ දකියි. ඒවා හුදෙක් ම යථාර්ථය පමණි.

ඔබගේ පැවැත්මේ ඍණාත්මක පැතිකඩ පිළිබඳව මෙම දැඩි අධ්‍යයනය තුළින් ජීවිතයේ තිබෙන අතෘප්තිමත් ස්වභාවය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලැබෙනු ඇත. යම් දෙයකට බැඳීමක් ඇතිකර ගත් මොහොතේ ම නොවැළැක්විය හැකි අන්දමට දුක ඒ පිටුපස එන බව ඔබ දකියි. ආශාව ක්‍රියාකරන අන්දම පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇතිකරගත් පසු ඔබ එයට සංවේදීතාවයක් දක්වයි. එය නැඟෙන ස්ථානය එය නැගෙන වේලාව හා ඔබට එය බලපාන අන්දම ඔබ දකියි. සෑම ඉන්ද්‍රියයක් තුළින් ම ප්‍රකාශ වෙමින් මනසේ පාලනය සියතට ගනිමින් හා විඥානය තමාගේ වහලෙකු කර ගනිමින් නැවත නැවත එය ක්‍රියාකරන අන්දම ඔබ දකියි.

සෑම ආශ්වාදජනක අත්දැකීමක් මැදදීම ඔබගේ තෘෂ්ණාව හා ඇලීම් හටගන්නා ආකාරය දෙස ඔබ බලා සිටියි. අමිහිරි අත්දැකීම් මධ්‍යයේ ඉතා බලවත් විරෝධයක් හටගනු ඔබ දකියි. මේ කිසිම සංසිද්ධියකට බාධා නොකරන ඔබ ඒ දෙස බලා සිටියි. මිනිස් සිතිවිල්ලක සැබෑ ලක්ෂණයක් ලෙස ඔබ ඒවා දකියි. “මම” කියන දෙය සොයන ඔබට හමුවන්නේ කායික සිරුරක් හා ඔබගේ යයි ඔබ හඳුනාගෙන ඇති ඇට ගොඩකින් හා සමකින් වැසුණු මල්ලකි. තවදුරටත් ඔබගේ යැයි සිතා සංවේදනා, සිතුවිලි රටා මතිමතාන්තර සමඟ සම්බන්ධවීමට ඔබ වෑයම් කරන සැටි ද මේවා කෙරෙහි ඔබ තණ්හාවක් ඇති කර ගැනීම, ආරක්ෂා කිරීම හා ඒ වෙනුවෙන් සටන් වැදීම හා එය කොපමණ උන්මත්තක ක්‍රියාවක් ද යන්න ඔබ දකියි. භෞතික දේ, ශාරීරික සංවේදනා, හැඟීම් හා ආවේග අවුස්සමින් නිරතුරුව “ඔබ “මම” යන්නක්” සොයයි. ඒ අතර එය වේගයෙන් කැරකැවෙමින් නොනැවතී ගමන් කරයි.

ඔබට කිසිවක් හමු නොවනු ඇත. ඒ සියලුම මානසික සංඝටක අතර හා නොනිමි, නිරතුරුවම වෙනස්වන අත්දැකීම් ප්‍රවාහයේ දී ඔබට හමුවන එකම දෙය වන්නේ අසීමිත නිර්පුද්ගල ක්‍රියාවලියකි. සිතිවිලි හමුවුන ද සිතන්නෙකු හමුනොවේ. හැඟීම් හා ආශාවන් තිබුණ ද ඒවා කරන පුද්ගලයෙක් නැත. නිවහන හිස්ව ඇත. එහි කිසිවෙක් නැත.

මේ අවස්ථාවේදී තමා පිළිබඳ ඔබගේ දැකීම මුළුමනින්ම වෙනස් වෙයි. පුවත්පතක තිබෙන ඡායාරූපයක් ලෙස ඔබ, ඔබව දකියි. පියවි ඇසින් බලන කළ ඡායාරූපයක් නිශ්චිත රූපයක් ලෙස දකියි. නමුත්, විශාලකර දක්වන කාචයක් තුළින් දකින විට ඉතා සියුම් වූ එහි ආකෘතිය තිත්වලට බිඳී ඇති සැටි පෙන්නුම් කරයි. මෙලෙස සිහියේ විනිවිද යන බැල්මට හසුවන “තමා” හෝ “මම” යන්නෙහි ඝනත්වය නැතිවී දියවී යයි. මෙම අවස්ථාවේදී විපස්සනා භාවනාවේ එන ජීවිතයේ ත්‍රිවිධ ලක්ෂණ වන අස්ථිර බව, අතෘප්තිකර බව හා අනාත්ම බව යන සත්‍යයන් විශාල බලයකින් ඔබගේ සිත තුළට පිවිසෙයි. ජීවිතයේ අනිත්‍ය බව. මිනිස් පැවැත්මේ තිබෙන අතෘප්තිය හා අනාත්ම බවේ සත්‍යය ඔබ පැහැදිලිව දැක ගනියි. මෙය සිතට කාවදින ලෙස අත්දකින ඔභ එකවිටම තෘෂ්ණාව, ඇලීම හා ගැටීම යන ප්‍රතික්‍රියාවල නිෂ්ඵලත්වයට අවදි වෙයි. මෙම ප්‍රබල මොහොතේ පැහැදිලි බව හා නිර්මලත්වය ඔබගේ දැනීම කරයි. තමා යන වස්තුව අතුරුදන් වෙයි. එකිනෙක හා බැඳුණු නිර්පුද්ගල සංසිද්ධීන් සමුදායක් පමණක් ඉතිරිව තිබේ. තෘෂ්ණාව ඉවත්වී විශාල බරකින් නිදහස්වී ඇත. ඉතිරිව ඇත්තේ ආතතිය හෝ ප්‍රතිරෝධය අංශු මාත්‍රයක් හෝ නැති පහසු ගලායෑමකි. සාමය පමණකි. උත්තරීතර, අසංඛත නිර්වාණ ධාතුව අවබෝධ වී ඇත.

භාවනා සම්බන්ධ වූ ලිපි පෙළ මෙයින් නිමාවන අතර මේ ලිපි පෙළ සම්බන්ධ පසුවදන ලබන කලාපයේ සිට පළ වේ. ඒ අනුව ලබන කලාපයෙන් කලබලකාරී ගුවන් තොටුපලක් සම්බන්ධව විස්තර බලාපොරොත්තු වන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division