සමුගැන්ම
ගිනි හිරුට පෙම් බැන්ද
සඳවතිය
මා වෙලා
හිරු දිලෙන නෙතු ඉමේ නැවතුණා
ගිරි හිසට
හිස තියා
සෙනෙහසේ ගීතිකා
වලා සළු
මීදුමේ ලියවුණා
අප දුර ම
බව දැනී
අමාවක
මහ රෑක
සඳ වතේ සෝ වලා විසිරුණා
නුබ කුසේ
මා ගැයූ
කාන්සියෙ
දුක් ගීය
තරු දෙනෙත් බොඳ කරන්
පා වුණා
සුනේත්‍රා හේමමාලි
අත්
බිම
පුරාම
බළල්
අත්.!
ගාමිණී දළුවත්ත
ආවර්ජනා
අනියත දහම කොයිකාටත් පසක් කොට
ගිනි ගත් සමයෙ වැඩ සිටි ආවාස ගෙට
මුනි පුත් රුවන් මහ තෙරවරු මතක් කොට
විනි මුතු පොටක් මුවගේ ඔබෙ දයාවට
මතු බවයකදි ලෝසත ගොඩ ගන්න රිසින්
පැතු බෝදිය උනොත් තුන් ලෝ ඇදුරු ලෙසින්
තතු පහදවන සිව් සස් ගුරු සමිඳු පසින්
සිතු වෙමි එන්න රාහුල ආනන්ද ලෙසින්
සිතුවිලි පොදිය මගෙ ඒ මේ අතට පැන
මතු කර පෙන්නවයි හිමි රුව වැඩම වන
පැතු බෝ මූලකදී නිවසින් දිනෙන දින
මතු සසරෙදී අපටත් මුන ගැසෙනු මැන
යසපාල සුබසිංහ
ඔබ කවුද කොහේද
නොම සිට කැපී පෙනුමෙන් ලොව පසිඳු වෙමින්
සුව සහනයක් ඇඟ දැවටී සදන පෙමින්
රජ සිටු ගෙයි මිදුලේ අගුපිල් සමසේ ගමින්
ඔබ මහ මෙරක වැඩ සලසයි නිබඳ නොමින්
නිසසල ජල තලේ වැව්වල පොකුණු වල
දැවටී සුමුදු ලෙස නිල් දිය සසල කළ
නැංවු තරඟ තරගෙට මෙන් සිඟිති රළ
හැඩ කළ චමත්කාරය කළ හැකිද මිල
ඉවසිලි වන්ත නැහැවුන සංවරෙහි ජලෙන්
ඔබ මෙන් අපද ජීවත්වන නමුදු නලෙන්
මොහොතක නොසිතු ලොව අනියත දහමෙ බලෙන්
සමුගත යුතුයි අප මේ ලෝ රඟන හලෙන්
ඩී. සී. වැලිකල
රළ
ඉතා ඈත මද්දහනේ රළ නඟනා මිරිඟු දියකි
ඉතා මෑත වැව් දිය මත රළ නඟනා සැබෑ දියකි
ඒ දිය රළ දකිනා සඳ සිත් විල තුළ නැඟෙන රළකි
රඟනා රළ තුළ වෙනසක් නැත රළ රළමය මගෙ සකී
කේ. ඩබ්ලිව්. සිරිසේන
හුදකලා වු මිනිබිරිය හා අත්තම්මා
වැහැරි ගිය ගත හම රැලි ගැහුණේ
වයසට බැඳිලද අත්තම්මේ
දෙතනේ කිරි බිඳු දෙතොලින් උරවපු
දරු මුණුබුරු කැල කොහෙද ගියේ
පිල්කඩ මත්තේ දෑස අයාගෙන
මොනවද ඔය හැටි මුමුණන්නේ
මවු කිරි සුවඳේ පාර සොයාගෙන
එන්නේ කවදාද දූ දරුවෝ
ගම් මැද්දේ එහා කොනේ රැහැයි හඬන්නේ
සිත් මැද්දේ නුඹ තවමත් සිහින දකින්නේ
ගෙයි මැද්දේ වවුල් පැටව් නැටුම් නටන්නේ
මින් පස්සේ කිරි අම්මේ අපි තනි වෙන්නේ
බිමල් හේරත් මුදලි නායක
එදා පෙරහර
රස පුපුරණ හඬ තාලෙට බෙර හඬවන හඬ
වන්නම් තාලෙට නැට්ටුවො නැටුම් නටන හඬ
දළඳා කරඬුව ඉහළට එසවෙන මුතු කුඩ
සිංහල උරුමය පෙන්වන පෙරහැර යන හැඬ
බුදු ගුණ අහගෙන අලි ඇත් පෙළට ඇදෙන හැඩ
දෙනෝදහක් දෙනෙක් අසා බලන් ඉන්න හැඩ
සාමය ඉවසීම උතුම් මිනිස්කමේ හැඩ
පෙරහැර දැක නතර වෙලා යුද්ධය වෙඩි හඬ
සාදු සාදු පෙරහැර මුලින් ඇදෙන හැඩ
විෂ්ණු කතරගම දෙවියන් පෙළට වඩින හැඩ
පෙළ බිඳගෙන යන සිරිතට නැති බව ඉඩ කඩ
උතුර දකුණ දෙකට කියන පෙරහැර යන හැඩ
ගාමිණි චන්ද්‍රසේන
තරු සඳට ලියූ කව
පුන් සඳ ඇවිත් රෑ තරු ළඟ ඉහිරෙන්න
සුපිපුණු කුසුම් අතරින් නුඹ හිනැහෙන්න
සමනොළ ගිරට හිස මුදුනෙන් නමදින්න
ඇත තරු සඳක් පායා විත් නැළවෙන්න
මල් පෙති සියුම් කම්මුල් පොඩි සිපගන්න
නැත අද වරම් නුඹ සුළඟින් පැමිණෙන්න
හුස්මෙහි තවන පතිදම් වෙත සැනසෙන්න
නුඹ වැනි සඳක් මට හමු වී නැත දන්න
රොන් බිඟු අතර සැඟවී නුඹ සැතපෙව්ව
සම්මත ප්‍රේමයෙන් පපුවට දුක කිව්ව
දහමට අවනතව නුඹ මා සැනසෙව්ව
සොයනවා හැඟුම් තවමත් සඳ මත ලිව්ව
සඳුනිකා කුෂානි උපවංශ
පොඩි නංගියේ
පිරිසිදුකමට මුල් තැන දී දිවි ගෙව්වා
යුතුකම් හොඳින් ඔබ හැමටම ඉටු කෙරුවා
අසාධාරණය වස මෙන් සැලකූවා
සිල්පද පහම ඔබ මැනවින් ඇදහුවා
බඩ පිස්සී වෙලා අප අතරට ආවා
හැමටම පළමු අප හැරදා වෙන් වුවා
අනියත දහම මැනවින් ඔබ පෙන්වුවා
මෙත් බුදු සසුනෙ අම නිවනින් සැනසේවා
ඩී. ඩී. ඉන්ද්‍රා අයිරාංගනී
ගොළු රහස්
සීතල වැහි වැටී පොළොවට
පීදෙන සිත හිරි ගඩු තියා උගසට
උණුසුම පතන ආදර කතා සුමට
බොහො ඇත කිරි ගස්සන එමට
එයතර දරා නිහැඬියාවන් අවනතව
සමහරුන් හුදකලා මතක විදිති ලොව
එදා සිට අද තෙක්ම ලියැවුණු කුරුටු කව
මත – බොහො කවීන් ගොළු කළ රහස් ඇත සැඟව
ඔමේෂ් ශෙහාන් දහනායක