Home » මහානුභාවසම්පන්න රත්නමාලා බන්ධන යන්ත්‍රය සහ රත්නමාලා ගාථා

මහානුභාවසම්පන්න රත්නමාලා බන්ධන යන්ත්‍රය සහ රත්නමාලා ගාථා

by Mahesh Lakehouse
November 11, 2023 12:32 am 0 comment

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම ගෞරවාදරයට පාත්‍ර වූ සිංහල ජාතියේත්, සිංහල බෞද්ධයාගේත් හදවත බඳු වූ උත්තරීතර පූජනීය වස්තුව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේය. ඈත අතීතයේ ‘සෙංකඩගල සිරිවර්ධන පුරය’ නමින් ද වර්තමානයේ මහනුවර සෙංකඩගලපුර දළදා මැදුර නමින් වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික පූජනීය දළදා මැදුර 1998 වසරේ ජනවාරි 25 දා ප්‍රචණ්ඩ සාහසික කුරිරු බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූයේ සමස්ත බෞද්ධ ජනතාවගේම හදවත් කම්පා කරමින්ය.  

ඒ ප්‍රහාරයෙන් වාහල්කඩ සහ පත්තිරිප්පුවත් ඒ අවට පරිවාර ගොඩනැඟිලිවලට සිදු වූ හානිය අපමණය. විනාශය අතිවිශාලය. නමුත් අසමසම අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට හෝ උන්වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියට අබ ඇටයකින්වත් හානියක් සිදු නොවීම බුදු දහමේ බුද්ධ සත්‍යයේ බලයත් නිසාමය. එසේම ම සත්‍යය බලය සිරිලක සුරකින බුදු සසුන සුරකින විෂ්ණු දෙවියන්ගේ බල පරාක්‍රමයද හේතු විය.

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ සුරක්ෂිත භාවය ඇති වනු පිණිස පළමු විමලධර්මසූරිය මහීපාලයන් වෙත දළදා සමිඳුට පිදීමට පැමිණි හිමාලයේ ධ්‍යානලාභී ඍෂිවරයෙකු අතින් ත්‍රිවිධ රත්නයේ ගුණය සහ බලය කැටිකොට සකසා දුන් ශ්‍රී රත්නමාලා බන්ධන මහා යන්ත්‍ර රාජයාගේ අසීමිත ගුප්ත බල මහිමයද නිසාමය. වර්තමානයේත් දළදා වහන්සේ වැඩ සිටිනුයේ රත්නමාලා යන්ත්‍රය මතය.

ඒ අසීමිත බලයෙන් යුත්, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට සදා රැකවරණය උදා කරන රත්නමාලා බන්ධන යන්ත්‍රයේ ඓතිහාසික පුරාවෘත්තය මෙයයි.

වර්තමානයේ මෙන්ම එදාත් දළදා සමිඳුට විවිධ සතුරු උපද්‍රව ඇති වන්නට විය. පරංගි ආක්‍රමණයේදී රට අනාරක්ෂිත තත්ත්වයකට පත්විය. කෝට්ටේ රාජධානියේ තිබී සුරක්ෂිත භාවය තහවුරු කරගැනීම සඳහා හිරිපිටිය නිලමේතුමා විසින් කුරුවිට, කුරුගඟබොඩ දෙල්ගමු විහාරයේ සඟවාගෙන තිබූ දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ තොරතුරු දැනගත් පළමු විමලධර්මසූරිය රජුම දන්ත ධාතුන් වහන්සේ සෙංගඩගල පුරවරයට වඩම්මවා එහි පූර්ණ ආරක්ෂකයා ලෙස තමන්ම පත්වී දෙමහල් මැඳුරක් කරවා එහි තැන්පත් කළේය. නිතිපතා රජතුමා උදේ සවස දළදා වහන්සේට මල් පහන් පුදමින් පුද පිළිවෙත් සිදු කළේය.

දිනක් උදෑසන මහා රජතුමා සිරිත් ලෙස පුද පිළිවෙත් පැවැත්වීමට දළදා වහන්සේ වැඩ සිටි කුටියට පිවිසුණේය. ඒ මොහොතේ එතුමාට දක්නට ලැබුණේ පෙරදිග සවස තමා පිළිවෙළට සකසා ගිය මල් අසුන අවුල් කර තිබෙන අයුරුය. මෙය රජ්ජුරුවන්ට කුතුහලයක් විය. දින 2ක් 3ක් මේ පිළිබඳව පරීක්ෂාවෙන් සිටි රජතුමාට අවබෝධ වූයේ දිනපතාම මල් අසුන අවුල් කර තිබෙන බවය. වහා ක්‍රියාත්මක වූ රජතුමා දළදා වහන්සේ වැඩ සිටි මන්දිරය වටා දැඩි මුරකාවල් පැන වීය.

එහෙත් දිගටම මල් අසුන අවුල් වීමේ සිද්ධිය දුටු රජතුමා තමාම මෙය සොයා බැලිය යුතු යැයි සිතා දිනක් සිය මඟුල් කඩුවත් සුරතින් ගෙන දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි කුටියේ තිරයට මුවා වී සැඟවී බලා සිටියේය. මැදියම් රැය උදා විය. මුළු කුටියම ආලෝකවත් කරමින් ආලෝක දහරාවක් විහිදී ගියේය. ඒ සමඟම දෑසමන් මල් සුවඳ කුටිය පුරාම පැතිරිණි. ඒත් සමඟම යම් අයෙකු කුටිය තුළට පැමිණ ඔහු අත තිබූ දිලිසෙන යම් වස්තුවක් මල් අසුන මත තබා බිම දිගා වී දළදා වහන්සේට නමස්කාර කළේය.

ඒ මොහොතේ වහා ක්‍රියාත්මක වූ රජතුමා මඟුල් කඩුවේ තුඩින් ඒ ශුද්ධ වස්තුව අතට ගෙන සළුපොටෙහි සඟවාගෙන තිරයට මුවා වී පරීක්ෂාවෙන් බලා සිටියේය. වන්දනාව අවසන් කළ එම පුද්ගලයා තමා මල් අසුන මත තැබූ මංජුසාව නොදැක ඉතා ශෝකයෙන් සහ කුතුහලයෙන් එය සොයන්නට විය. එවිට ඔහු තිරයට මුවා වී සිටි රජතුමා දුටුවේය. ඔහු රජතුමාට මෙසේ ප්‍රකාශ කළේය.

“මම හිමාල වනාන්තරයේ සිට අහසින් පැමිණෙන ඍෂිවරයෙක්. මල් අසුන මත මා තැන්පත් කළ මගේ ඖෂධ මංජුසාව මට ලබා දෙන්න. එය නොමැතිනම් යළි මට අහසින් හිමාලයට යා නොහැකියි” යැයි ඍෂිවරයා පැවසීය.

මේ වදන අසා පැහැදුණු රජතුමා ඔහුට මංජුසාව ආපසු ලබා දුන්නේය. ඒ සත්ක්‍රියාවට පැහැදුණු මේ ඍෂිවරයා නෙළුම් පෙති විහිදුණු මලක හැඩයෙන් යුත් රන් තහඩුවක් ඍෂි බලයෙන් මවා එහි නෙළුම් මලක පෙති පිහිටුවා ඒ පෙති තුළ රත්නමාලා බන්ධන යන්ත්‍රය හා දැහැන ප්‍රස්තාර නමින් පිහිටුවා මෙය මත දළදා සමිඳු තැන්පත් කරන්න. එය සදාකල්හි දළදා සමිඳුගේ රැකවරණය සඳහාය යනුවෙන් පවසා එය රජුට ප්‍රදානය කළේය. එදා එලෙස තැන්පත් කළ මහානුභාවසම්පන්න රත්නමාලා බන්ධන යන්ත්‍රය මත වර්තමානයේත් දළදා සමිඳු වැඩ සිටීම විශේෂත්වයකි.

පළමු විමලධර්මසූරිය රජතුමා එම යන්ත්‍රයේ සටහනක් සකසා දළදා වහන්සේට ඉහළින් යොදා ඇති උඩු වියනේ රන් නෙළුම් මලක් තබා ඇති බව තතු දන්නෝ වෙති.

පසු කලෙක මෙම රත්නමාලා යන්ත්‍රය සේරුවිල චෛත්‍ය රාජයාණන්ගේ ධාතු ගර්භයේදී රන් තඹ 3ක ප්‍රස්තාර කොට තැන්පත් කර ඇති බවත් සඳහන් වේ. සර්ව ආරක්ෂාවත්, සර්ව සෞභාග්‍යයත්, සර්වජන වශියත්, සර්ව කාර්යාර්ථ සිද්ධියත් උදා කරන එම ඓතිහාසික වැදගත්කමක් ඇති මෙම යන්ත්‍රය හා ගාථා දැහැනේ සුවිශේෂ ලක්ෂණයක් තිබේ. එනම් අප රට භාවිත කරන සෑම ප්‍රබල යන්ත්‍රයක්ම සැකසී ඇත්තේ ඉන්දියානු ආභාසයේ හා හින්දු පූජා ක්‍රම අනුවය. නමුත් මෙම රත්නමාලා බන්ධන යන්ත්‍රයේ සුවිශේෂ ලක්ෂණය නම් එය මුළුමනින්ම ත්‍රිවිධ රත්නයේ ගුණ අනුව ප්‍රස්තාර කර තිබීමයි. එමෙන්ම සියලුම අක්ෂර ෂාකරන මුල්කර තිබීම තවත් විශේෂයකි.

රත්නමාලා බන්ධන යන්ත්‍රයේ ඇති සුවිශේෂ ගුණ හා රත්නමාලා බන්ධන ගාථා මෙන්න

දැනට පරිහරණයේ පවතින බොහෝ යන්ත්‍රවලට බලි බිලි පුද පූජා ආදිය අවශ්‍ය වුවත් මෙම රත්නමාලා බන්ධන යන්ත්‍රයට එවැනි කිසිවක් අවශ්‍ය නොවේ. මෙම රත්නමාලා බන්ධන යන්ත්‍රය හා එම ගාථා තුන වර්තමානයේත් යමෙකු තිසරණ සහිත පංචශීලයෙහි පිහිටමින් සිය නිවසේ පූජනීයත්වයට පවත්වන ලෙස තබාගන්නේ නම් එම නිවසට සියලු රැකවරණය උදා වෙයි. සිතුම් පැතුම් සපල වේ. සියලු යසඉසුරු ලැබෙයි. දේවාශිර්වාදය උදා වෙයි.

මුළුමහත් ජනතාවගේත් යහපත පතා මෙතෙක් අප පාරම්පරිකව සුරැකගෙන ආ එම රත්නමාලා බන්ධන යන්ත්‍රය හා රත්නමාලා බන්ධන ගාථා තුන මෙවර අප ඔබ වෙත තිළිණ කරන්නෙමු. යමෙකු සියලු මස් මාංශයෙන් තොරව පංචශීලය සුරකිමින් වත්මනෙහිද මෙම ගාථා තුන නිතර සජ්ඣායනා කිරීමෙන් ඔබට සියලු ආරක්ෂාව උදා වෙයි.

යන්ත්‍රය සමඟ පරිහරණය කරන්නේ නම් සිල්වත්ව, ප්‍රතිපත්තිගරුකව මෙය සාදා රාමු කර නිවසේ, වෙළෙඳසලේ, කාර්යාලයේ තබා උදේ – සවස මල් පහන් පුදන්න. ලාභ ලැබෙයි. ලෙඩ දුක් නැති වෙයි. සතුරු බය, සොර බය, ගිනි බය, මරණ බය දුරු වේ.

දළඳා සමිඳු සරණින් සැමට සෙත් වේවා….

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී මාලිනී සතරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division