– විවාහයට කේන්දර පරික්ෂාවේදී අඟහරුගේ බලපෑම සොයා බැලීම වැදගත්
– කුජ භෞම දෝෂය මකා දැමිය යුතුමයි
– විවාහයකදී කුජ 7 ස්ත්‍රී කේන්දරයකට කුජ 7 පිරිමි කේන්දරයක්ම සෙවීම අත්‍යවශ්‍යම නෑ
‘මංගල’ නමින් හැඳින්වෙන්නේ අඟහරු ග්‍රහයාය. කිසියම් කේන්ද්‍රයක අඟහරුගේ පිහිටීම ඇති වෙන දෝෂය ‘මංගල දෝෂය’ යැයි කියනු ලැබේ. විවාහ පරික්ෂාවේදී මෙයට ‘භෞම දෝෂය’ යැයි ව්‍යවහාර වේ.
‘භෞම’ යනු අඟහරුට කියන තවත් නමකි. ‘අඟහරු දෝෂය’ විවාහ පරික්ෂාවේදී ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබෙන්නේ කුමක් නිසා දැයි අප දැන් සොයා බලමු. ග්‍රහ මණ්ඩලයේ අඟහරු හඳුන්වන්නේ “හැබිචෝල් කාරයා, චණ්ඩියා, යන නම්වලිනි. අඟහරු කිසිවකුගේ කේන්දරයේ කිසියම් තැනක නරකට සිටියොත් එම ස්ථානය විපතක් කරයි. අටවැන්නේ අඟහරු නරකට සිටියොත් ඔහු ලිංගික ආබාධවලින් පෙළෙන්නෙකි. ලග්නයේ සිටියොත් ඔහු නිතර නිතර කැරලි කෝලාහලවලට සම්බන්ධ වන අයෙකි. දේශපාලනයට ගියොත් විප්ලවවාද වේගවත් කථිකයෙක් වේ. අඟහරු නරකට සිටීම යන්නෙන් අදහස් කරන්නේ සිකුරු මුඨ රාශිගතව දුෂ්ට සහිතව සිටීමයි. ලග්නයේ සිටින අඟහරුට සෙනසුරුගේ දෘෂ්ටිය වැටුණොත් ගම හැරදා යන්නට සිදු වේ.
මේ අනුව විවාහ පරික්ෂාවේදී අඟහරුගේ බලපෑම සොයා බැලීම ඉතාම වැදගත්ය. විවාහ වන දෙදෙනාගෙන් එක් අයෙකුගේ කේන්දරයක 12, 4, 7, 12 යන ස්ථානවලින් එකක කුජ හෙවත් අඟහරු බලවත්ව සිටීනම් අනිත් කේන්ද්‍රයේ එම ස්ථානවල අඟහරු බලවත්ව සිටිය යුතුයි. එම ස්ථානවල අඟහරු දුර්වලව සිටීමත් ඊට ගැළපෙන රවි/ශනි/ රාහු වැනි පාප ග්‍රහයින් එකී ස්ථානවල සිටීමත් නිසා එම දෝෂය මැකී යෑමට හේතු වේ. මේ නිසා කුජ හතේය. කුජට හත පේනවා කියා සිටීම විවාහය ප්‍රමාද කිරීම සුදුසු නොවේ. වැදගත් වන්නේ එම දෝෂය මා කියන යෝග අනෙක් කේන්දරයේ තිබේදැයි සොයා බැලීමයි.
ලග්නයෙන් අටේ හෝ චන්ද්‍රයාගෙන් අටේ කුජ සිටීමෙන් කුජාෂ්ටම දෝෂය යෙදේ. නමුත් එම ස්ථානවල කුජ දුර්වල වීම හෝ ගුරුට පෙනීම හේතුවෙන් එහි දෝෂය මැකී යයි. ‘කුජ්ජටම යෝගය’ වැන්දඹු යෝගයක් යැයි ජ්‍යොතිෂයේ සඳහන් වේ. අනෙක් කේන්දරයේ එවැනි දෝෂයක් තිබේ නම් එය මකා දැමිය හැකි බව පොරොන්දම් පරික්ෂාවේදී පෙන්වා දිය යුතුය. මේ අයුරින් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කේන්දර සුදුසු පරිදි පරික්ෂා කිරීමෙන් විවාහ ජීවිතය සාර්ථක වන බව අප දැක තිබේ.
විවාහ පරික්ෂාවේදී මේ ‘අඟහරු දෝෂය’ නැතහොත් කුජ භෞම දෝෂය මකා දැමිය යුතුමය. එසේ නොබලා විවාහ වුවහොත් විවාහ අසාර්ථක වේ. ස්ත්‍රී කේන්ද්‍රයක හත් වැන්නෙන් තම පුරුෂයා ගැනත් පිරිමි කේන්දරයේ හත්වැන්නෙන් තමාට ලැබෙන ස්ත්‍රිය ගැනත් සඳහන් වේ. කුජ/ සිකුරු යෝගය හත්වැන්නේ යෙදීම අධික කාමුක යෝගයක් බැවින් එයට ගැළපෙන යෝගයක් අනෙක් කේන්දරයේ තිබේදැයි විශේෂයෙන් පරීක්ෂා කරගත යුතුය. නැතිනම් එය අසාර්ථක වේ.
ස්ත්‍රී කේන්දරයක 7 – 8 දෙපළත් පුරුෂ කේන්දරයක 2 – 7 දෙපලත් මාරක ස්ථානවන නිසා අඟහරුගේ පිහිටීම නොගැළපේ නම් ස්ත්‍රී / පුරුෂ මාරක යෝග යෙදෙයි. මෙවැනි පිහිටීම්වලට වෛද්‍ය යෝග යැයි ව්‍යවහාර කරනු ලැබේ. නමුත් මෙකී රාශිවල අඟහරු සතුරු නීච වශයෙන් සිටින විට භෞම දෝෂය නැත. මේ නිසා භෞම දෝෂය ගැන බිය විය යුතු නොවේ.
අඟහරු අටේ සිටීම කුජාෂ්ටම දෝෂය වුවත් අඟහරු එම රාශියේ නීචව/ සතුරු රාශිගතව සිටීමෙන් එම දෝෂය මැකී යයි. මේ නිසා කුජ භෞම දෝෂය ගැන බිය නොවිය යුතුය. කුජ භෞම දෝෂ මැකීයන අවස්ථා කීපයක් මෙසේ දැක්විය හැකිය.
1. මේෂ ලග්නයෙන් ඉපිද (1) ලග්නයේ කුජ සිටීම
2. ධනු ලග්නයෙන් ඉපිද (12) දොළොස් වැන්නේ කුජ සිටීම
3. වෘශ්චික ලග්නයෙන් ඉපිද (4) සිව් වැන්නේ කුජ සිටීම
4. වෘෂභ ලග්නයෙන් ඉපිද (8) අටවැන්නේ කුජ සිටීම
මේ නිසා කුජ භෞම දෝෂයක් ගැන බියක් ඇතිකර නොගත යුතු බව සඳහන් කිරීමට පිළිවන.
අඟහරු නොහොත් කුජ ග්‍රහයා 1-2 – 4 – 7 – 8 -12 යන ස්ථානයක තැන්පත්ව සිටියදී අනෙක් කේන්ද්‍රයේ ශනි/කේතු/රාහු වැනි වෙනත් පාප ග්‍රහයෙක් සිටීමෙන්ද මේ මංගල දෝෂය නැතහොත් භෞම දෝෂය දුරු වන බව තවත් ආචාර්ය මතයකි. මේ නිසාද භෞම දෝෂය ගැන බිය ඇතිකර ගත යුතු නොවේ.
කේන්දරයක 1 – 4 – 7 – 10 යන ස්ථානවල ශුභ ග්‍රහයින්ද 3 – 6 – 11 යන ස්ථානවල පාපයින්ද ඇති විට කුජ දෝෂය නොමැති බවද සඳහන් කිරීමට පිළිවන. ගුරු නොහොත් බ්‍රහස්පති ග්‍රහයා විසින් කුජ ග්‍රහයා දැකීමෙන් හෝ සංයුක්තව සිටීමෙන්ද කුජ දෝෂය මැකී යයි. ඒ අනුව බලන විට මංගල දෝෂය ගැන බියක් නොවිය යුතුයි. නමුත් විවාහ පරීක්ෂාවේදී දෛවඥයා විසින් කළ යුතු ප්‍රථම කාර්ය වන්නේ කුජ භෞම දෝෂය තිබේද යන්න පරීක්ෂා කර බැලීමයි. එය මගහැරීමට හැකි වෙනත් යෝග කේන්ද්‍ර දෙකේ තිබේ නම් පමණක් පොරොන්දම් පරීක්ෂාව සිදු කිරීමයි.
“ශනිවන් රාහුඃ කුජවන් කේතු” යන කියමන අනුව ශනිට සමාන ගුණ රාහුටද කුජට සමාන ගුණ කේතුටද තිබෙන බව ප්‍රකාශ වේ. සිකුරු හතේ සිටීමත් අධික කාමුක බවද රාහු 3 – 6 -11 සිටීමෙන් අධික ලෙස ධනය ලැබෙන බවද සඳහන් කිරීමට පිළිවන. රාහු දුෂ්ටයෙකු හොත් ශුභ ඵල ළඟාකර ගත හැකි බව මේ අනුව පැහැදිලි වේ. එමෙන්ම කුජ දෝෂය මකා දැමීමට රාහුගේ සහයෝගය ඇතැම්විට අවශ්‍ය බව මේ අනුව සිතාගත යුතුය. උ.ච. කුජ 7 හෝ 8 සිටිනා කේන්දරයක රාහු 7 – 8 සිටීමෙන්ද එම දෝෂය මකාලිය හැකිය. මේ අනුව මංගල දෝෂය ගැන බිය ඇතිකර නොගත යුතුයි.
රවිගේ ආත්ම ශක්තිය සහ ක්‍රියාකාරී බලය ද සඳුගෙන් චරිතය සිත පිළිබඳ ගතිගුණද සිකුරුගෙන් කලාකාමීත්වය රාගාධික හැඟීම්ද බල පැවැත්වෙන බව සඳහන් වේ. මේ අනුව රවි/ සඳු/ සිකුරු ආදී ග්‍රහයින්ගේ බල දුබලකම්ද එමෙන්ම එම ග්‍රහයින්ගේ දෘෂ්ටි ආදියද සලකා බලා පොරොන්දම් පරීක්ෂාව සිදු කළ යුතුය. මේ අනුව කුජ 7 කේන්දරයකට කුජ 7ක්ම සොයමින් විවාහය ප්‍රමාද කිරීම නොකළ යුතුයි. භෞම දෝෂය ගැන සිතා තම දරුවන්ගේ විවාහ ජීවිතය කල් නොහැර ඉටු කරදීම උගත් බුද්ධිමත් මාපියන්ගේ වගකීමක් වේ.
විශ්‍රාමලත් විදුහල්පති, ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කේ.ඩී.ආර්.පී. රාජකරුණා