– හැම දෙයක්ම නිරායාසයෙන් හිමිකර ගනී
– පිරිමියෙක් නම් කඩවසම් ගැහැනියක් නම් සුරූපිනියක්
පෞරුෂ අංකයට අදාළ පලාපල සඳහන් කිරීමට ප්‍රථම ඔබ පෞරුෂ අංකය සොයා ගන්නා ආකාරය දැනගත යුතුය. ඒ සඳහා මුලින්ම කොළයක ඉංග්‍රීසි භාෂාවෙන් ඔබගේ සම්පූර්ණ නම ලියාගත යුතුය. (ඊට වාසගම අවශ්‍ය නොවේ) ඉන්පසු රූප සටහනේ පෙන්නුම් කරන ආකාරයට ඔබගේ නමේ අකුරුවලට යෙදෙන අංක සටහන් කරගත යුතුය. මෙහිදී මතක තබා ගත යුතු කරුණ වන්නේ ඉංග්‍රීසි භාෂාවේ සඳහන් a e i o u යන ස්වර අකුරුවලට අදාළ අංක අතහැර අනිකුත් අක්ෂරවලට අදාළ අංක පමණක් සටහන් කර ගැනීමයි. ඉන්පසු එම අංක තනි අංකයක් වනතුරු එකට එකතු කරගත යුතුය.ඊට උදාහරණයක්ද පළ වේ.
ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි ඔබ පෞරුෂ අංක 3 නම් ඔබ පිළිබඳව මෙලෙස සඳහන් වේ. ඔබ උපතින්ම වාසනාව උරුම කරගෙන පැමිණි පුද්ගලයෙක් ලෙස සඳහන් කළ හැකිය. ජීවිතයේ බොහෝ දේවල් නිරායාසයෙන්ම හිමිවීමේ වාසනාව පවතී. වෙනත් කෙනෙක් දැඩි උත්සාහයක් දරා සතුකර ගන්නා දේ ඔබට එතරම් උත්සාහයක් නැතිව ලබා ගැනීමට වාසනාව තිබේ. ආගිය තැන කාගේත් පිළිගැනීමට ලක්වන ආකර්ෂණීය පුද්ගලයෙක් ලෙස පෞරුෂ අංක 3 හිමි ඔබ හැඳින්විය හැකිය. එසේම ඔබ පිරිමියෙක් නම් ඉතාම කඩවසම් නිරෝගී ශක්තිමත් සිරුරකට හිමිකම් කියයි. කාන්තාවක් නම් සිත්ගන්නාසුලු ආකර්ෂණීය රූප විලාසයක් උරුම වෙයි.
මෙම පෞරුෂ අංකයෙහි බලපෑම අනුව මුළු ජීවිත කාලයම ඔබට ඉතා සැහැල්ලුවෙන් සතුටින් විනෝදයෙන් ගෙවීමේ භාග්‍යය පවතී. කුමන ප්‍රශ්න කරදර බාධක පැමිණියද ඒ සියල්ල මැද ජීවිතයේ තෘප්තිමත්ව ගෙවීමේ අවස්ථා ඔබ උරුම කර ගනියි. සෑම විටම උත්සාහය සහ උනන්දුව ඉතා ඉහළ මට්ටමක තබා ගන්නා ඔබ කැපවීමෙන් යුතුව තම කටයුතු ඉටුකර ගැනීමට සෑම විටම උත්සාහ ගනියි. ජීවිතයේ බොහෝ සිහින සැබෑ කර ගන්නට ඔබට දක්ෂතාව තිබේ. ඔබේ හැකියාවත් කාලයත් මනා ලෙස කළමනාකරණය කර ගැනීම තුළ ඉහළ සාර්ථකත්වයක් ලැබීමට පෞරුෂ අංක 3 හිමි ඔබට අවස්ථාව තිබේ. ඔබ තුළ පවත්නා ආත්ම සංයමයත් දක්ෂ භාවයත් ඔබව ඉහළින්ම ඔසවා තැබීමට උපකාරී වෙයි. රටේ-තොටේ කතාබහට ලක්වන ප්‍රසිද්ධියක් ලැබිය හැකි ජනප්‍රිය පුද්ගලයෙක් ලෙස ඉහළට යෑමේ වාසනාවද ඔබ සතුව පවතී.
පෞරුෂ අංක 3 හිමි ඔබගේ සෑම කටයුත්තකම පිළිවෙළක් දැකිය හැකිය. ගෙදර දොර සහ වටපිටාව මනාලෙස පිළිවෙළට තබා ගැනීමට උනන්දු වෙයි. හොඳට ලස්සනට අඳින්නට පලඳින්නට ඔබ ප්‍රිය කරයි. එසේම ඔබ ඉතාම ආදරණීය හැඟීම්බර පුද්ගලයෙක් ලෙස ද හඳුන්වන්නට පුළුවනි. ඔබ ආදරයේදී ඉතා තදින් ආදරය කරන අතර එය ජීවිත කාලයටම පවත්වා ගැනීමටද දැඩි කැපවීමක් කරයි. ජීවිතය තුළ සිත් රිදීම් සහ කලකිරීම් ඇති කරන අවස්ථාවන්වලට ද බොහෝ විට මුහුණ දීමට සිදු වෙයි. සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට ඔබ හුරු විය යුතුය. ඔබ අභියෝගවලට බිය පුද්ගලයෙක්ද නොවේ. ශක්තිමත්ව සැලසුම් සහගතව ජීවිතයට මුහුණ දෙයි. සාමකාමී සන්සුන් ගතිද ඔබේ පෞරුෂය තුළ දැකිය හැකිය.
පෞරුෂ අංක 3 හිමියන් කාටත් වරදක් නොකරන සාධාරණව ජීවත්වීමට උත්සාහ දරයි. ඔබේ අධ්‍යාත්මික ශක්තිය හඳුනා ගැනීමට උත්සාහ කරන්න. ඔබේ සාර්ථකත්වය ඒ තුළින් උදාකර ගැනීම අපහසු නොවේ.
පෞරුෂ අංක හතර පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක