Home » වාස්තු විද්‍යානුකූලව සැලසුම් කළ යුතු නිවසේ ඇතුළු පැත්ත

වාස්තු විද්‍යානුකූලව සැලසුම් කළ යුතු නිවසේ ඇතුළු පැත්ත

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment

– නිදන කාමර බටහිර දකුණ සහ නිරිතට යහපත්
– ආගමික වතාවත්වලට උතුර නැගෙනහිර ඊසානය සුබයි
– කුකුළු, ඌරු කොටු ගෙදර බිත්තියට සම්බන්ධ කරනු එපා
– ඖෂධ වර්ග ඊසානයේ තැන්පත් කිරීමෙන් රසායනික ශක්තිය අධික වේ
– නැගෙනහිර සහ උතුරු පැත්තේ බිත්ති නිතරම හිස්ව තබන්න

වාස්තු විද්‍යාවේ අක්මුල් සොයා යෑමේදී පැරණි කාලයේ දැව සහ මැටි උපයෝගී කොටගෙන අපේ පූජනීය ගොඩනැඟිලි, පෞද්ගලික නිවාස (වලව්) මෙන්ම වෙනත් නිවාස හා ව්‍යාපාර ආදී ස්ථාන මුළුමනින්ම ඉපැරණි වාස්තු විද්‍යානුකූලව ඉදිකර ඇති බැව් පෙනේ. වර්තමානයේත් දැව සහ මැටි වෙනුවට වෙනත් ආදේශකයන් භාවිතයට ගැනේ.

විශාලතම ගැටලුවක් වී ඇත්තේ පුරාණයේ කෙනෙකුට අයත්ව තිබුණු අක්කර ගාණක් විශාල ඉඩම් ප්‍රමාණය මේ වන විට පර්චස් 15 – 10, 5 – 2 වැනි අඩුම පරිමාවකට පත්වීමයි. උපක්‍රමශීලීව සැලසුම් ඇඳ බිම් ප්‍රමාණයේ තරමට නිවසක් ගොඩනගා ගැනීමට මේ වන විට බොහෝ දෙනෙකුට සිදු වී ඇති බව නම් පෙනෙන්නට ඇත.

එය මූලික වාස්තු විද්‍යාවටත් එකඟ වීමද අනිවාර්යය වේ. අසුබ පැත්තට ගියහොත් එම නිවසින් අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබේ. නිවසේ බ්‍රහ්ම පාදය නිවැරදිව නොපෑඟෙන සේ තබා ගත යුතු වීම ද ප්‍රධානම කාරණයකි. හෙළයේ මහා ගත් කතු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ නිවසේ මධ්‍ය ලක්ෂ්‍ය අවහිර නොවන සේ ග්‍රන්ථකරණයේ යෙදී සිටී අයෙකි. එය වාස්තුවේ ප්‍රබලම සාක්ෂියකි. වාස්තු විද්‍යාවේදී දිසාවන්ට ඇතිවන බලපෑම් රැසකි. විද්යුත් චුම්භක ශක්තිය ආරෝපණය වන පෘථිවි චුම්භකය සමඟ මිශ්‍ර වීමේදී අපේ පියවි ඇසට නොපෙනෙන යම් යම් කිරණ ශක්ති සමූහයක් දෝලනය වේ. නිවසේ නිදන කාමර දකුණ, නිරිත, බටහිරට යහපත්ය. නිරිතදිග විශේෂයෙන් නව යොවුන් අයට යහපත් වනු ඇත. ‘බඹරෙකු ආවයි නිරිත දිගේයා’ යන ගීතයේ එකී අරුත මුසු වී තිබේ. ඊසාන, නිරිත, වයඹ දිසාව අමුත්තන්ට සෑහේ. වැසිකිළි අයහපත්ය. ගිනිකොන තිබිය යුත්තේ කුස්සිය හෙවත් මුළුතැන්ගෙයයි.

එසේ අපහසු නම් වයඹ ද යෝග්‍ය වේ. විදුලි උපකරණ ඊසානයට යෝග්‍ය නොවේ. ඖෂධ වර්ග ඊසාන දිසාවේ තැබීම රසායනික ශක්තිය අධික කරයි. ගෘහ භාණ්ඩ කබඩ්, රාක්ක වැනි ගණ බර ද්‍රව්‍ය බිත්තිවලට තදින් හේත්තු වන සේ තැබීම අසුබය. රූපවාහිනී, දුරකථන, විද්යුත් උපකරණ, විදුලි භාණ්ඩ ඊසාන ධනාත්මක පැත්තේ තැබීම සුදුසු නැත. නැගෙනහිර සහ උතුරු පැත්තේ බිත්ති නිතරම හිස්ව තැබීම සුදුසුයි. ආගමික වතාවත් කිරීමට, සෙත් පැතීම, ශාන්තිකර්ම කිරීම, සෙත්කවි ගායනය ආදී මානසික ශුද්ධ ක්‍රියාවන්ට ඉතාම සුදුසු ඊසාන දිශාවයි. බුද්ධ රූප, ප්‍රතිමා, දේව රූප, මුහුර්ති, ආගමික නායකයන්ගේ රූප සටහන් බිත්ති මුල්ලේ කොන්වලට තැබීම අයහපත්ය.

ඔබ ආගමික වතාවත් කරන විටදී දකුණ හැර ඊසාන උතුර නැගෙනහිර දිසාවන්ට මුහුණලා වැඩ කරන්න. පූජා කාමරය වැසිකිළි පද්ධතියට යාබදව හසුවන සේ තැබීම ඉතාම අසුබ දෝෂයකි. දෙමහල් නිවසක නම් වාස්තුව එකවරම බල නොපාන නිසා ආගමික වතාවත් උතුර, ඊසාන, නැගෙනහිර කිරීම සුබයි.

විශේෂයෙන්ම ලක්ෂ්මි රූපය ඊසාන දිසාවේ තබන්න. වාලම්පුරි ඇත්නම් සුබම දිසාව ඊසාන සහ උතුරය. උතුර ඊසාන සහ නැගෙනහිර දිසාවේ නිවසින් පිට වුවද කුකුළු කොටු, ගවහල්, ඌරු කොටු ආදිය ගෙයි බිත්තියට ද සම්බන්ධ කිරීම අයහපත්ය.

එය පිරිහීමට හේතුවකි. ඊසාන පැත්තේ තුල්සි පැළෑටියක් තැබීම යහපත්ය. පිහිඹියා ගස් වැවීමට නැගෙනහිර දිසාව සුබය. තවද කාමරයේ බාල්කයට යටට නිදන ඇඳක් තබා නිදා ගැනීම සුදුසු නොවේ. එය ගර්භිණි මවුවරුන්ට ඉතාම අශුභය. ආතති ඇති වේ.

අක්‍රමවත්ව අසුබ හැසිරීම් රටාව නිවස තුළට අයහපත්ය. එයින් වළකින්න. මේ අනුව සුබ දිසාවන් තෝරාගෙන ඔබේ නිවස තුළ හැසිරෙන්නේ නම් ධනාත්මක ප්‍රතිඵල වහා ළඟා වී සෞභාග්‍යය උදා වේ. මේ සියල්ලටම වඩා වාස්තු විද්‍යානුකූලව නිවස ප්‍රමිතිගතව ගොඩනගා ගෙන සිටීම ඉතාම වැදගත් වන්නේය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division