Home » සිනමා ලෝලීන්ගේ නගරය ත්‍රි‘මලේ
නඩරාජලා, සෝමරත්නලා එකම රටකජු ගොට්ට කකා පික්චර් බලපු

සිනමා ලෝලීන්ගේ නගරය ත්‍රි‘මලේ

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment
හැත්තෑව දශකයේ අග භාගයේ ත්‍රීකුණාමලය නෙල්සන් සිනමාශාලාව ඉදිරිපිට දිස්වූයේ මෙසේය

මේ සිනමා ලෝලීන්ගේ අතීත මතක පිළිබඳ රසාලිප්ත අවලෝකනයකි. ජනවර්ග තුනකට අයත් මිනිසුන් කලා රසය ද ප්‍රේමය ද සහෝදරත්වය ද අත්විඳිමින් එකම නගරයක දිවි ගෙවූ නුදුරු අතීතයක සොඳුරු මතක එහි අදටත් ඉතිරිව ඇත.

යුද්ධය පැමිණීමට පෙර සිනමාලෝලීන්ගේ නගරය, ත්‍රිකුණාමලයයි. ශ්‍රී ලංකාවේ වැඩිම සිනමාශාලා ප්‍රමාණයක් පිහිටි නගරය ලෙස ත්‍රිකුණාමලය හිමිකර ගෙන සිටි වාර්තාව අදටත් බිඳ හෙලිය නොහැකි වාර්තාවකි. අතීතයේ ත්‍රිකුණාමලය, විනෝදකාමීන්ගේ නගරයක් බවට ප්‍රචලිතය. ඊට ත්‍රිකුණාමලයේ පිහිටි සිනමාශාලා ද මනා පිටිවහලක් වූ බව නොරහසකි.

එකල ත්‍රිකුණාමලය නගරයේ පමණක් පිහිටි සිනමාශාලා ප්‍රමාණය හතකි. කන්තලේ සහ මූතුර් පිහිටි සිනමාශාලා හතරත්, කින්නියා සිනමාශාලාවත් සමඟින් ත්‍රිකුණාමලයේ පිහිටි මුළු සිනමා ශාලා ප්‍රමාණය දොළහක් බව අතීත මතක සටහන් තුළ ලියැවී තිබේ.ඊට අමතරව ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ සහ නාවික හමුදා කඳවුරේ පිහිටි සිනමාශාලා දෙකත් සමඟින් ත්‍රිකුණාමලයේ පිහිටි මුළු සිනමාශාලා ප්‍රමාණය දහ හතරක් වූ බව අතීත මතකයන් තුළ සටහන්ව ඇත.

අසහය ඉන්දිය දමිළ නළු සිවාජි ගනේෂ්ගේ, වසන්තමාලිගේ හා සිංහල සිනමාවේ සක්විති ගාමිණි ෆොන්සේකාගේ පෘතුගීසීකාරයාත් සිංහල දමිළ සිනමාලෝලීන් එදා නෙල්සන් තියටර් එකේ රස වින්දේ, කන් අඩි හිරිවට්ටන විසිල් හඬ මධ්‍යයේය. ඒ විසිල් හඬ සෙල්වම්ගේ ද එහෙමත් නැත්නම් රත්නසිරිගේ ද කියා කිසිවෙකුත් දැන සිටියේ නැතත්, හැත්තෑව දශකයේ සිංහල දමිළ සහජීවනය ගොඩනැඟීමට ත්‍රිකුණාමලය නගරයේ පිහිටි සිනමාශාලා කදිම අත්වැලක් වූ බව ත්‍රිකුණාමලයේ වෙසෙන පැරැන්නන්ගේ අදහසයි.

ත්‍රිකුණාමලයේ පදිංචි සිංහල ජනයා අතර එකල වඩාත් ප්‍රකට සිනමාශාලාව වූයේ නෙල්සන් සිනමා ශාලාවයි. සිලෝන් තියටර්ස් සමාගමට අයත් වූ නෙල්සන් සිනමාශාලාව, ත්‍රිකුණාමලයේ සිංහල චිත්‍රපටි වැඩිම ප්‍රමාණයක් තිරගත වූ සිනමාශාලාව වීම ඊට හේතුවයි.

නෙල්සන් සිනමාශාලාවේ හිමිකරු ශ්‍රී ස්කන්ද රාජා හෙවත් ශ්‍රී දමිළ ජාතිකයෙකි. දමිළ චිත්‍රපටි පෙන්වා වැඩි ලාභයක් උපැයීමට හැකියාව තිබියදීත්, සිංහල චිත්‍රපටි පෙන්වූයේ ඇයි දැයි විමසූ විට ඔහු ඊට ලබා දුන්නේ අපූරු උත්තරයකි.

“මම ඒ කාලේ ගාමිණිට, මාලනීට, විජයට පණ ඇරලා… ගාමිණිගේ පික්චර් එකක් ආවොත් ත්‍රිකුණාමලේ දෙමළ අයත් හරි හරියට බලනවා. එයාලට ගාමිණි සිවාජි වගේ. අනික ගාමිණි දෙමළ අයත් එක්ක හරි එකතුයි. මේ නිසා ඒ කාලේ අපි වැඩිපුරම සිංහල පික්චර් තමා දිව්වේ. වෙසක් කාලෙට මිඩ් නයිට් ෂෝ එකත් දුවනවා.

ගාමිණිගේ ශත පනහ, කලංගේ යස ඉසුරු, රක්තා, මොනරතැන්න, මුවන් පැලැස්ස හරි අගේට දිව්වා. ඒ කාලේ වෙසක් එකට, පොසොන් එකට බෞද්ධ චිත්‍රපටි ආවහම මිඩ් නයිට් ෂෝ එකත් දුවනවා. ගොඩක් වෙලාවට 2.30, 6.30 හවුස්ෆුල්… ඇත්තටම මේ තියටර් එක ඇතුළේ සිංහල දෙමළ සමගිය යස අගේට ගොඩනැඟුණා. ඒ කාලේ.. මනිරත්නම්ලා දෙමළ වුණාට හැදුවේ සිංහල පික්චර්. ඒවා දෙමළ අයටත් බලන්න පුළුවන් විදිහටයි හැදුවේ. නමුත් පස්සේ කාලේ හොඳ සිංහල පික්චර් හැදුනේ නැහැ. 83 කළු ජූලියෙන් පස්සේ ඒ සුන්දර වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ සුන්දර අතීතය දැන් මතකයන් විතරයි. නඩරාජලා සෝමරත්නලා එකම රටකජු ගොට්ට කකා ගැලරියේ විසිල් ගගහා පික්චර් බලපු කාලේ හරිම සුන්දරයි. ආයේ එහෙම කාලයක් එයි කියලා හිතා ගන්නත් බැහැ…”

මහනුවර සිට ත්‍රිකුණාමලයේ පදිංචියට පැමිණි මැලේ ජාතිකයෙකු වන තුවාන් මොහොමඩ් සිංහල චිත්‍රපටි සිනමා ලෝලියෙකි. ඔහුගේ ප්‍රියතම චිත්‍රපටිය ගාමිණි රඟන රන්මුතු දූව වුවද,රොබින් මාලනි රඟන රක්තාට ද හෙතෙම මහත් සේ ඇලුම් කළ බව කියයි. මහනුවරදී මැලේ භාෂාව හා දමිළ භාෂාව පමණක් හැසිරවූ තුවාන් සිංහල භාෂාව චතුර ලෙස කතා කිරීමට උගත්තේ, ත්‍රිකුණාමලයට පැමිණ සිංහල චිත්‍රපටි නැරඹීමෙන් බව කියන්නේ මහත් ආඩම්බරයෙනි.

“මම නුවර ඉඳන් ත්‍රිකුණාමලයට එනකොට සිංහල කතා කරන්න බැහැ. හැබැයි, මම ඒ කාලේ ඉඳන් සිංහල පික්චර් බලන්න හරි ආසයි. ඒ කාලේ සිංහල පික්චර්වල වැඩිපුර සිංදු කිව්වේ, මොහිදින් බෙග්..ඒ නිසා අපිට සිංහල දන්නේ නැතත්, හැඟීමක් තිබුණා.. ඔය රක්තා පික්චර් එක පටිගත කළේ ත්‍රිකුණාමලේ ආන්දන්කුලම වැවේ… මගේ මතකේ හැටියට 1977 වගේ… ඒ නිසාම අපි රක්කා පික්චර් එකට හරි ආසයි. මම හය පාරක් නෙල්සන් හෝල් එකේ රක්තා බැලුවා. ඒකේ දෙබස් තාමත් මට කට පාඩම්… එකම පික්චර් එක දෙතුන් වතාව බලද්දී මට නිකන්ම සිංහල පුරුදු වුණා… දැන් මට මැලේ භාෂාවටත් වඩා සිංහල කතා කරන්න පුළුවන්..”

එකල ත්‍රිකුණාමලයේ පිහිටි සිනමාශාලා වැඩිම ප්‍රමාණයක දමිළ චිත්‍රපටි තිරගතවීම හරහා සිංහල සමාජය තුළ දමිළ චිත්‍රපටි ලෝලීන් රැසක් බිහිවීම නොවැළැක්විය හැකි කාරණයකි. සරස්වතී, ලක්ෂ්මි, රාජු, ශ්‍රී ක්‍රීෂ්ණා වැනි චිත්‍රපටි ශාලා තුළට දමිළ සිනමා ලෝලීන් තරමටම සිංහල සිනමා ලෝලීන් ඇදී ඒම එකල සුලබ සිද්ධියක් වූ බව සිනමාශාලා හිමිකරුවන්ගේ අදහසයි.

වයස අවුරුදු 11 දී පමණ ගාල්ලේ සිට ත්‍රිකුණාමලයට පැමිණි ලාල් ආරියරත්ත එකල දෙමළ වචනයක් හෝ දැන නොසිටිය ද, හෙතෙම වැඩිපුරම නරඹා ඇත්තේ එම්.ජී.ආර්. රඟන දමිළ චිත්‍රපටි වීම විශේෂත්වයකි. ත්‍රිකුණාමලයේ පිහිටි බොහොමයක් චිත්‍රපට ශාලා හි එකල වැඩි වශයෙන් දමිළ චිත්‍රපට තිරගතවීම ඊට හේතුවයි.

“ඒ කාලේ ඔය නෙල්සන් හෝල් එකට තමා සිංහල චිත්‍රපටි වැඩිපුරම ආවේ. සිංහල පික්චර් නැති දවස්වලට අපි ගෙදරට හොරෙන් දෙමළ පික්චර් බලන්න යනවා. දෙමළ පික්චර් එකක් ආවහම 2.30 ෂෝ එකට හරි පෝලිම. සමහර දවස්වලට පාර ගාවට එනකම්ම පෝලිම. ඕ.ඩී.සී ටිකට් එකක් රුපියල් 2.50 යි.. අපි පොඩි කොල්ලෝ කාලේ,වැඩිපුරම යන්නේ, ගැලරි. ගැලරි ටිකට් එකක් ශත 60 යි. ඒත්, ගැලරි යන්න ලැජ්ජයි. ගැලරියේ තියෙන්නේ ලෑලි බංකු.. අපි කරන්නේ, පික්චර් එක පටන් ගන්න 3 වැනි බෙල් එක වදිද්දී තමයි, හෝල් එකට යන්නේ. ඉන්ටිවල් දෙන්න කලින් එළියට යනවා..’’

හැටේ දශකයේ මෙරට පැවති ද්වි පාසල් සංකල්පය ද සිංහල දමිළ සංහිඳියාවට කදිම සරු බිමක් විය. ඒ තුළින් ත්‍රිකුණාමලයේ සිංහල දමිළ සිනමා වසන්තය පෝෂණය වූ බව පැරැන්නන්ගේ අදහසයි.එකල ත්‍රිකුණාමලය නගරයේ පිහිටි හින්දු විද්‍යාලය, ශාන්ත ජෝෂප් විද්‍යාලය, ශාන්ත මරියා බාලිකාව, ශාන්ත සේවියර් විද්‍යාලය වැනි පාසල් හි සිංහල අංශයක් ද ක්‍රියාත්මක වූ අතර, බොහෝ සිංහල පාසල් හි දමිළ හා මුස්ලිම් සිසුන් ඉගෙනුම ලැබීම සුලබ සිද්ධියක් විය. මේ අපූරු සමාගම සිංහල දමිළ සංහිඳියාවට ලබා දුන්නේ මනා උත්තේජනයකි.

ත්‍රිකුණාමලයේ ප්‍රකට සමාජ සේවකයෙකු හා ව්‍යාපාරිකයකු වන දයානන්ද ජයවීර සිංහල දමිළ සහයෝගිතාවට ගරු කරන්නෙකි. හැත්තෑව දශකයේ මුල් අවධියේ සිනමාශාලා සහ චිත්‍රපට හරහා ත්‍රිකුණාමලයේ ගොඩනැඟුණු අපූරු සංහිඳියාව අදටත් ඔහු සිහි කරන්නේ මහත් වු තෘප්තියකිනි.

“ඒ කාලේ අපේ ඉස්කෝලේ දෙමළ ළමයි හතර පස් දෙනෙක් ඉන්නවමයි. එයාලා ඉතින් ඉස්කෝලේ ඇවිත් අපිට කියනවා ජෝති එකට එම්.ජී.ආර්ගේ නාවෝඩි මන්නම් ඇවිත් තියෙනවා.. අරකයි මේකයි කියලා. අපි ඉතින් ඉරිදා වෙනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නේ, ඉරිදට මැටනි ෂෝ එකට යන්න. ඒ කාලේ, ගැලරි ටිකට් එකක් ශත 60 යි. අපිට දෙමළ බැරි වුණාට ඉස්කෝලේ සිංහල සාහිත්‍ය සමිතියට කියන්නෙත් දෙමළ සිංදු .ඒ කාලේ ආවා දෙමළ පික්චර් එකක් “තේන් නිලවි” කියලා. එකේ තිබුණා පාට්ටු පාඩවා කියලා සිංදුවක්.. මේක තමා ඒ දවස්වල අපි හැමෝගෙම කටේ තියෙන්නේ…. වෙන එකක් තියා අපි කොන්ඩේ කපන්නෙත්, එක එක දෙමළ නළුවන්ගේ නම් කියලා.. ඒ කාලේ මෙහෙ තිබුණ සැලුන් වලට පවා ඉන්දිය දෙමළ නළුවන්ගේ නම් තමා දාලා තිබුණේ..”

දයානන්ද ජයවීරට අනුව අතීතයේ ගොඩනැඟුණු ඇතැම් සම්බන්ධතා අදටත් වලංගුය. එකම සිනමා ශාලාවේ එකම බංකුවේ එකට හිඳ දමිළ චිත්‍රපටි නැරඹු ඇතැම් මිතුරු සමාගම් මේ වන තුරුත් නොනැසී පවතින්නේ,එදා ඔවුනොවුන් අතර ගොඩ නැඟුණු අනෝන්‍ය අවබෝධය හා විශ්වාසය නිසාවෙන් බව ජයවීරගේ අදහසයි.මේ නිසාම එම මතකයන් ඉදිරි පරම්පරාව උදෙසා සංරක්ෂණය කර තැබීමට ද ඔහු අමතක කර නැත.

“ඒ වගේම තමා ඒ කාලේ හැම චිත්‍රපටියක් එක්කම සිංදු පොතකුත් පිට වෙනවා.ගොඩක් වෙලාවට පික්චර් හෝල් ගාව තියෙන පොඩි පෙට්ටි කඩවල මේ සිංදු පොත් විකුණන්න එල්ලලා තියෙනවා..ඒ කාලේ ගත්තු සිංහලෙන් පළ කරපු දෙමළ සිංදු පොත් තාමත් මා ගාව තියෙනවා. ඇත්තටම ඒ කාලේ කොයි තරම් සුන්දරද කියලා දැන් තමා දැනෙන්නේ. එදා අපි වින්ද සුන්දරත්වය 77 පස්සේ ආපු සමාජ වටපිටාවත් එක්ක නැති වෙලා ගියා. යුද්ධය හින්දා ඉතිරි ටික නැති වුණා.. අපි අතර තිබුණ සහෝදරත්වය නැති වුණා..එදා අපි දෙමළ යාළුවෝ එක්ක පික්චර් බලපු හෝල් දකිද්දී,හිතේ හීන් දුකක් වේදනාවක් උපදිනවා.අපේ මතකයන් මේවායේ තියෙනව නේද කියලා..’’

දෙමළ වචනයක්වත් නොදැන ගන්දර සිට ධීවර රැකියාව සඳහා ත්‍රිකුණාමලයට පැමිණි රත්නසිරි පසු කලෙක විවාහ වෙන්නේ,දමිළ තරුණියක් වන ජෙනීටා සමඟිනි. ඒ දමිළ චිත්‍රපටිවලට පින්සිදු වන්නටය. එකම වත්තක විසූ රත්තසිරි සහ ජෙනීටාගේ දෙහදේ ආදර හැඟුම් උපදින්නේ කාටත් හොර රහසේ සිනමාශාලා අඩ අඳුරේය. එදා හොර රහසේ අඩ අඳුරේ ආදර බස් තෙපලු රත්නසිරි හා ජෙනීටා අද දරු මුනුපුරන් රැසක් සමඟින් ජීවන ගමන ගත කරති.

“මම ගන්දර ඉඳන් ත්‍රිකුණාමලේට ආවේ ඉලන්දාරි වයසෙදී.. මම ඇවිත් නැවතිලා හිටියේ තෙලීනා වත්තේ තිබ්බ අපේ මද්දු නැන්දලැයි ගෙදර..ජෙනීටත් ඒ වත්තෙමයි. ඒ කාලේ ජෙනීටා හරියට ජය ලලිතා වගේ..වත්තෙම කොල්ලෝ ජෙනීටට වහ වැටිලා.අපි ඉස්සෙල්ලාම කතා කෙළ් සරස්වතී එකේ දෙමළ පික්චර් එකක් බලන්න ගිහිල්ලා. මට ඒ කාලේ දෙමළ බැරි වුණත්, ජෙනීටා නිසා හැම දෙමළ පික්චර් එකක්ම අරින්නේ නෑ. පස්සේ පස්සේ ජෙනීටා මට කියනවා හෙට අහවල් එක බලන්න යනවා නීංග වන්දයා කියලා.. ඉතින් මමත් බොරු ලෙඩක් දාලා රස්සාවේ නොගිහින් හවසට පික්චර් එක බලන්න යනවා….”‍ රත්නසිරි අතීත මතකයන් සිහිගන්වන්නේ එදා සිංහල දමිළ සංහිඳියාවට නිරායාසව එක්වූ භාවපූර්ණ මතතයන් හදවතින් ස්පර්ශ කරමිනි.

මීට දශක දෙක තුනකට පෙර ත්‍රිකුණාමලයේ ජාතීන් අතර සාමය හා සංහිඳියාවට අපූරු තෝනැන්නක් වූ සිනමා ශාලා බොහොමයක් අද වෙන විට වැසී ගොස් හමාරය. මේ වන විට යම් තරමකින් හෝ පවත්වාගෙන යනු ලබන්නේ, ත්‍රිකුණාමලයේ සරස්වතී හා නෙල්සන් සිනමාශාලා දෙකත්, කන්තලේ වෙලින්ටන් සිනමා ශාලාවත් පමණි. නිරුමලකාන්ත් සිනමාශාලාව 83 කළු ජූලියෙන් ගිනිබත් වූ අතර, ලක්ෂ්මි සිනමාශාලාව සුපිරි වෙළද සැලකි.

එදා සිංහල දමිළ සංහිඳියාවට නිරායාසව උරදුන් ත්‍රිකුණාමලයේ සිනමාශාලා බොහොමයක් අද දිනයේ මහා යෝධයන් සේ නිහඬව නිසලව විරාජමානව බලා හිදින්නේ, ජාතික සමගිය උදෙසා මහා මෙහෙවරක් ඉටු කොට විශ්‍රාම ගත්තවුන් සේය.

 

ත්‍රිකුණාමලයමංගලනාත් ලියනආරච්චි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division